මහජනතාව මුළා කරන ජනතා නායකයෝ මණ්ඩලය කොටස් 15කට කඩන්න යනවා- ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්

173

ලබන 21 දා සියලු විදුලි සේවකයෝ විහාර මහාදේවි උද්‍යානයට රොද බඳිනවා

හතරට පහට බෙදී ඉන්නා බවට ජනතාව මුළාකරමින් පෙන්නන ජනතා නියෝජිතයන් විදුලිය බල මණ්ඩලය කොටස් 15කට බෙදා විකුණන්න පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම ඇතුළේ සම්මත කරගත්තත්, බිමේ ඒ අපරාධය වෙන්න නොදෙන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

කුලියාපිටිය විද්‍යා විනෝද පිරිවෙනෙහි කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ඉකුත් 14 දා ඒ බැව් පැවසීය. එහිදී මාධ්‍ය අමතමින් ජයලාල් මහතා මෙසේද පැවසීය. “විදුලිබල මණ්ඩලය ඇතුළත් ආයතන 52ක් අයි.එම්.එෆ්. නිර්දේශ අනුව විකුණන්න මේ ආණ්ඩුව දැනටමත් පිඹුරුපත් සකසා අවසන්. ඇතැම් ආයතන අධික ලෙස ලාබ උපයන ආයතන. අපි තවමත් නොදැක්ක, ඇමැති කියන පනත සම්මත වුවහොත් සමාගම් 15ක් මාස 5ක් ඇතුළත මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ආදී රාජ්‍ය ආයතන සම්බන්ධව බද්ධ වෛරයක් ජනතාව තුළ කෘතිමව ගොඩනඟලා තියෙනවා. එහෙත් ජනතාව තේරුම්ගත යුත්තේ විදුලි සේවකයා වන්දි අරගෙන ගෙදර ගියත්, ඒත් මේ රජයේ පාරිභෝගිකයෙක්. මේ ක්‍රියාවලිය සමගින් ලක්‍ෂ 70ක් වෙච්ච විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වැළලෙන එක නවත්වන්න බැරිවේවි.

ආණ්ඩුවෙන් පළිගන්න බැරි තැන ජනතාව පළි ගත්තෙ අපේ මනු කියවන්නාට තඩිබාලා. හැබැයි ඩිජිටල් මීටර් සවි කරන බව කියැවෙන නිසා ඒකවත් කරගන්න ලැබෙන්නේ නෑ. තමන්ම විදුලියට ගෙවලා තමන්ම විසන්ධි කරගන්න වැඩපිළිවෙලක් තමයි ඒ හරහා එන්නෙ. ලක්‍ෂපාන බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවන්න යන්නෙ ශත 60යි. ඒක දෙන්න යනවා කොරියන් සමාගමකට. අදානිට මහවැලි බලාගාර ටික දෙන ගමන් නොරොච්චෝලෙ චීනට දෙන්න හදන්නෙ. දැන් හාමුදුරුවො ඉල්ලන විදුලි සහනය තබා, ලබාදී ඇති සහනවත් ලැබෙන්නේ නැහැ එදාට. සිරිපාදයට ලබාදී තිබෙන්නෙ විදුලිය නොමිලයේ.

අන්න ඒවා සියල්ල අහෝසියි විකුණපුදාට. අපි මේ වෙනුවෙන් පක්‍ෂ පාට ජාති වශයෙන් සියලු දෙනා එකතුවෙලා ඉන්නෙ. අපිට මේ වැඩේදි දේශපාලනය වැදගත් නෑ. ලබන 21 දා මර්දන අණ පනත්, නිවාඩු අවලංගු කිරීම් සියල්ල අහෝසි

කරගෙන, රොද බැඳගෙන විහාරමහා දේවි උද්‍යානයට අපි සියලු විදුලි සේවකයෝ එකතු වෙනවා. හදිසි බිඳවැටීම්වලදී ජනතාවට එදාට අපහසුතා ඒවි. ඒත් අපි එදාට එකතු වෙනවා.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment