වැලිකඩ හිරගෙදර බදු ගන්න කොරියන් ආයෝජකයෙක් එයි

728

ඇමරිකන් ඩොලර් බිලියන හයක් අවම වශයෙන් උපයා ගැනීම සඳහා රජය විසින් පෞද්ගලික අංශයට බදු දීම සඳහා ඉදිරිපත් කර ඇති ප‍්‍රමුඛ ඉඩම් කැබලි පනහක් මේ වන විටත් විකිණී අවසන් වී නැති වුවද වැලිකඩ හිර ගෙදර සහ එම සුවිශාල භූමිය බදු ගැනීම සඳහා කොරියන් ආයෝජකයකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

 ඉහත සඳහන් ඉඩම් බදු දෙනු ලබන්නේ අවුරුදු 33, අවුරුදු 50 සහ අවුරුදු 99 යන කාල සීමාවන් සඳහාය. බදුදෙන සෑම ඉඩමකින්ම 51% ක කොටසක් රජයේ අයිතිය යටතේ පවතින අතර ඉතිරිය එම ඉඩම බදු ගන්නා පාර්ශ්වයට හිමිවෙයි. මෙම ඉඩම් සියල්ලම් බදු දීමේ කටයුතු භාරවී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටය.

 වැලිකඩ හිරගෙදර බදු ගැනීම සඳහා යෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කර ඇති කොරියන් ආයෝජකයාගේ සැලසුම වන්නේ ඒ වෙනුවට හොරණ පිහිටි රජයේ ඉඩමක සකලාංග සම්පූර්ණ බන්ධනාගාර ගොඩනැගිලි සමූහයක් ඉදිකර දීමය. එහිදී බදුකරය වශයෙන් කොරියන් ආයෝජකයා ගෙවිය යුතු වටිනාකම වන්නේ හොරණ කරන ඉදිකිරීමය. ඉන්පසු වැලිකඩ පිහිටි බන්ධනාගාර භූමියෙන් 51% ක් රජය යටතේද 49% ක් කොරියානු යෝජකයා යටතේද පවතින අතර ඉඩමේ සංවර්ධන කටයුතු කොරියන් ජාතිකයා විසින් කළ යුතුය. කොළඹ චාමස් ධාන්‍යාගාර භූමිය සහ කොළඹ ගුවන් හමුදා මූලස්ථාන භූමියද මෙසේ බදු දීමට නියමිත ඉඩම් වූ අතර ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමට ඕමානයේ ආයෝජන ආයතනයක් ඉදිරිපත් විය. එහෙත් එම ගනුදෙනුව තවමත් සිදුවී නැත. මීට අමතරව කොළඹ පහේ සමිට් තට්ටු නිවාස පවත්නා අක්කර දහයක භූමිය බදු ගැනීමට ඩුබායි රාජ්‍යයේ යෝජනා ආයතනයක් කැමැත්ත පළකර තිබේ. එම භූමියෙහි සුඛෝපභෝගී තට්ටු නිවාස සමූහයක් ඉදිකිරීමට නියමිතය. ඊට අමතරව කොළඹ වොක්ෂෝල් වීදියේ අක්කර හයක්, ඞී. ආර්. විජයවර්ධන මාවතේ අක්කර හයක්, කොල්ලූපිටියේ මාර්කට් භූමිය, නුගේගොඩ සුපර් මාර්කට් භූමිය සහ එම ගොඩනැගිල්ල, කොළඹ වර්ල්ඞ් මාර්කට් භූමිය, රාජගිරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල යන ප‍්‍රදේශවල පිහිටි අක්කර තුන බැගින් වූ රජයේ ඉඩම් තුනක්ද නුවරඑළියේ සහ මහනුවර පිහිටි රජයේ ඉඩම් කිහිපයක් ද ඒකල පිහිටි අක්කර 55 ක් ද බදු දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment