විදුලිය-ජලය-ආහාර සැපයීම නවතී – ඊශ්‍රායල හමුදාවේ ලක්ෂ 3ක් ගාසා තීරයට කැඳවයි

450

හමාස් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කතකුත් මරුට

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට යුද නැව් – ගුවන් යානා හා ආධාර

හමුදා මෙහෙයුම් මිනිස් තිරිසනුන්ට එරෙහිවයි – ඊශ්‍රායල ආරක්‍ෂක ඇමති

ගාසා තීරයේ සම්පූර්ණ වැටලීමක් සඳහා ඊශ්‍රායල් හමුදා භටයන් ලක්ෂ 3 ක් කැඳවීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ගාසා තීරයට සැපයෙන විදුලිය, ජලය, ආහාරපාන යන සියලු සැපයුම් නවතා දමා ඇත. ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති යොවුගැලන්ට් පවසන්නේ තම හමුදා මෙහෙයුම් සිදුකරන්නේ මනුෂ්‍ය තිරිසනුන්ට එරෙහිව බවයි. එම නිසා සියලු සැපයුම් නතරකර ඇතැයි ද හෙතෙම පැවසීය.

හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් පෙරේදා (09 දා) පලස්තීනයට අයත් ගාසා තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ කඳවුරු 200 කට පමණ ප්‍රහාර එල්ලකර ඇති අතර එම ප්‍රහාරවලින් මියගිය අන්තවාදීන් 1500 කගේ පමණ මළ සිරුරු ගාසා තීරයේ තිබී සොයාගත් බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර ඇත.

ගාසා තීරයට ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාර නතර නොකරන්නේ නම් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තමන් රඳවාගෙන සිටින ඊශ්‍රායල හමුදා භටයන් ඇතුළු 100 කට අධික පිරිස මරා දමන බව හමාස් සංවිධානය විසින් පෙරේදා සවස නිවේදනය කර තිබේ.

ඉකුත් සෙනසුරාදා ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් අනපේක්ෂිත අයුරින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ හමාස් අන්තවාදීන් ඊශ්‍රායලයට කඩා වැදීම සඳහා භාවිතා කර ඇත්තේ පලස්තීන – ඊශ්‍රායල දේශ සීමාවේ පිහිටි ගාසා තීරය වන අතර ඊශ්‍රායලය විසින් නැවත එම දේශ සීමාවේ බලය තහවුරුකර ගැනීමෙන් පසු කිසිදු අන්තවාදියෙකු ඒ හරහා ඊශ්‍රායලයට පැමිණ නැති බව ඊශ්‍රායල හමුදා පවසයි. ගාසා තීරයේ හමාස් අන්තවාදීන්ගේ කඳවුරුවලට පහරදීමේදී එම තීරයට සපයන ඉන්ධන, ජලය හා විදුලිය නතර කිරීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන තිබූ අතර එම ප්‍රහාරයන් සිදු කෙරෙන අතරතුර ගාසා තීරයේ වෙසෙන ජනතාවට ඊජිප්තුවට අයත් දේශසීමාව හරහා ඉවත්ව යන ලෙස දැනුම් දී තිබිණි. එහෙත් පසුව ගාසාතීර දේශ සීමාවේ බලය තහවුරු කරගත් පසු එසේ ගාසා තීරයෙන් ජනතාව පිටවීම නතර කිරීමට ඊශ්‍රායල හමුදාව විසින් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

විදුලිය-ජලය-ආහාර සැපයීම නවතී - ඊශ්‍රායල හමුදාවේ ලක්ෂ 3ක් ගාසා තීරයට කැඳවයි

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් වූ අනුලා ජයතිලක මහත්මියද හමාස් ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇත. මේ බව ඇය සේවය කළ නිවසේ අයිතිකරුවන් විසින් සමාජ මධ්‍යයේ සටහන් කර තිබේ. නමුත් මේ මරණය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල තොරතුරු ලැබී නොතිබිණි.

එසේම තවත් ශ්‍රී ලාංකිකයකු ද අතුරුදන්ව ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසන බව විදේශ ඇමැති අලි සබ්රි මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයෝ 8300 ක් එරට සේවය කරති. මේ අතර ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියකු පවසා ඇත්තේ ප්‍රබල ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බව තමන් ඊශ්‍රායල ආණ්ඩුවට දැනුම් දුන් නමුත් මේ ගැන ඊශ්‍රායල් ආණ්ඩුව තැකීමක් කර නැති බවයි.

ඊශ්‍රායල් ආණ්ඩුව බටහිර ඉවුර ගැන අවධානයෙන් සිටියද ගාසා තීරයෙන් එල්ලවන අනතුරු ගැන උනන්දු නොවූ බව ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර ඇත.

මේ අතර සෙනසුරාදා සිට ගාසා තීරයට එල්ලවන ගුවන් ප්‍රහාරවලින් පලස්තීනයේ 700කට අධික ප්‍රමාණයක් මරණයට පත්ව ඇත.

තම සිවිල් වැසියන්ට අනතුරු හැඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කරන සෑම අවස්ථාවකම ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවකු බැගින් මරාදමන බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය හා ජර්මනිය එක්ව හමාස් ප්‍රහාරය හෙළා දකිමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

එසේම ඊශ්‍රායලයට සහයෝගය පිණිස ඇමෙරිකාව යුද නැව් හා ගුවන් යානා එම කලාපයට යවා ඇති අතර ඩොලර් මිලියන ගණනක යුද ආධාර ඉක්මනින් ලබාදීමට පොරොන්දුවී ඇත. හමාස් ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයන් 11 දෙනෙකු ද මරුමුවට පත්ව තිබේ.

විදුලිය-ජලය-ආහාර සැපයීම නවතී - ඊශ්‍රායල හමුදාවේ ලක්ෂ 3ක් ගාසා තීරයට කැඳවයි

සෙනසුරාදා සිට ඇතිවූ ගැටුම්වලින් මියගිය ඊශ්‍රායල් හමුදා භටයන් ප්‍රමාණය 123 කි.

එසේම, ඊශ්‍රායල් මාධ්‍ය පවසන්නේ හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය තම රටවැසියන් හා හමුදා භටයන් ප්‍රමාණය 150 ක් විය හැකි බවයි.

මේ අතර පවතින යුද වාතාවරණය හේතුවෙන් ගාසා තීරයට යෑමට හා ඉන් පිටවීම සඳහා මානුෂීය මාවතක් සකස්කර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනසෙෆ්) බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබිණි.

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment