විදුලිය බිඳවැටීම පිටුපස මාෆියාවක්: හදිසි විදුලිය මිලදී ගැනීමේ අදිසි හස්තයක් ඒ අතර

305

දින පහකදී රට පුරා දෙවරක්ම විදුලිය බිඳවැටීමේ සිද්ධිය පිටුපස විදුලි මාෆියාවට සම්බන්ධ සූක්‍ෂම කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වී ඇතැයි දැන් සැක පහළ වී තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධව දැනටමත් ලංවිම සභාපති එම්. සී. සී. ෆර්ඩිනැන්ඩු මහතා පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන අතර එමගින් යළි විදුලිය ජනනය ආරම්භ කිරීමට දින තුන හතරක් ගතවනු ඇතැයි ද ලංවිම කියා සිටී. බිඳවැටුණු විදුලිබලය යළි සාමාන්‍ය අතට පත් කළත් අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත්තේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් ලබාගන්නා මෙගාවොට් 900 ක්ම නොලැබී ඇති නිසාය.

එනිසා වරින් වර විදුලිය කපා හැරීමක් සිදු කිරීමට සිදුවන බව පාලනාධිකාරිය කියා සිටී. කුමන්ත‍්‍රණයෙහි ප‍්‍රතිඵල මත මේ වනවිටත් රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා පුද්ගලික ඞීසල් බලාගාරවලින් අධික මිල ගණන් යටතේ විදුලිය ලබා ගැනීමට සිදුවී ඇතැයි ද පාලනාධිකාරිය සඳහන් කළේය. මේ අතර විදුලිබල අවශ්‍යතා අත්‍යවශ්‍ය සේවාවක් බැවින් හමුදා සහාය ලබා ගැනීමට අදාළව වැඩපිළිවෙළක්ද ක‍්‍රියාවට නංවමින් තිබේ.

සිකුරාදා (03 වැනිදා) රට පුරාම විදුලිය විසන්ධි වන්නට ඉඩ හැරීම නිසා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන් නතරවීම නිසා රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකිවී ඇත. රටට අඛණ්ඩව විදුලි බලය ලබාදීමට නම් අධික මිල ගණන්වලට පුද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුව ඇතැයිද මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියාව පිටුපස සිටින්නේ විදුලි මාෆියාව යැයිද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙළිකර සිටිති.

විදුලිය බිඳවැටීමෙන් පසු යළි විදුලිය සාමාන්‍ය අතට පත් කිරීමේදී නොරොච්චෝල බලාගාරයේ විදුලි සැපයුම පිළිබඳ වඩා සැළකිලිමත් විය යුතු වුවත් එය අක‍්‍රීය වනතුරු අදාළ පියවර නොගැනීමද බරපතළ කාරණාවක් බව විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති. නොරොච්චෝල ගල්අඟුරු බලාගාර පරිශ‍්‍රයේ ‘හයිට‍්‍රජන්’ ගබඩාකර තිබෙන බවත් යම් හෙයකින් එය පුපුරා ගියේ නම් පරමාණු බෝම්බයකින් වන විනාශයක් සිදුවන්නට ඉඩ තිබූ බව ද ලංවිම පාලනාධිකාරියේ නිලධාරීහු හෙළි කළහ.

තත්ත්වය එසේ තිබියදී අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භවී තිබෙන මොහොතක මෙලෙස දින පහක පමණ කාලයක් තුළදී දෙවැනි වරටත් රට පුරාම විදුලිය විසන්ධි කිරීම බරපතළ කුමන්ත‍්‍රණයක් යැයි ලංවිම සභාපති එම්. සී. සී. ෆර්ඩිනැන්ඩු මහතා ද සඳහන් කළේය. ඒ අනුව ඉකුත් 29 වැනිදා රටෙන් ප‍්‍රදේශ අඩකටම විදුලිය විසන්ධිවීමත් සිකුරාදා (03 වැනිදා) මුළු රටම අකර්මණ්‍ය කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසු ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා දැනුම් දී ඇත.

ඉකුත් 29 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරමින් තිබියදී සිකුරාදා (03 වැනිදා) පැය අටක පමණ කාලයක් විදුලි බලය අහිමිවී තිබිණි.

විදුලිබලය යළි ලබාදීම පියවරෙන් පියවර සිදුකළත් නොරොච්චෝල සහ තවත් විදුලි බලාගාර කිහිපයක් අක‍්‍රීයවීම මත ඉදිරි දිනවල වරින් වර විදුලිය විසන්ධි කිරීමට මණ්ඩලයට සිදුව ඇත.

එසේ කිරීමේදී පවා පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා මණ්ඩලයට අතිවිශාල පාඩුවක් සිදුවන අතර එමගින් කඩාකප්පල්කාරීන්ට රුපියල් මිලියන ගණනින් කොමිස් ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කියා සිටිති.

එනිසා විදුලි මාෆියාව සමග එක්වී කුමන්ත‍්‍රණය කළ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් කළ යුතු බව ද ඔවුහු ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment