විධායක මුවහම සහ දේශපාලන නාට්ටාමිලා!

781

මේ දිනවල අපේ සමාජ දේශපාලන අංශවල අවධානයට මෙන්ම සංවාදයට ද ලක්වූ මාතෘකා කීපයක්ම ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔසට්‍රේලියාවේ පර්ත්හි පැවැති 7 වන සාගර සමුළුව ඇමැතීමට ගොස් එහිදී ඉන්දියානු මාධ්‍යවේදියකු සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාව ද බොහෝ දෙනකුගේ මාතෘකාවක් බවට පත්ව තිබෙන්නෙකි. ඊටත් වඩා ප්‍රමුඛ දේශපාලන අවධානයක් යොමු වූ අනෙක් මාතෘකාව වූයේ ජා. ජ. බ. නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම දේශපාලන ව්‍යාපාරයේ කීපදෙනෙක් විසින් සිදු කරන ලද ඉන්දීය සංචාරයයි. මේවාට අමතරව යළිත් කරළියට පැමිණ තිබෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් ද ඇත. ඒ සමඟම ඉදිරි මැතිවරණ සඳහා ලහි ලහියේ ගොඩනැඟෙන දේශපාලන පක්ෂවල සන්ධාන ගැන ද වාර්තා ඇසෙයි. එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ආන්දෝලනාත්මක ‘ඔන්ලයින් පනත’ට අලුත් සංශෝධන ගණනාවක්ම ඉදිරිපත් කිරීමේ ආණ්ඩුවේ සූදානමක් ගැන ද වාර්තා වේ. මේවාට අමතරව සමාජයම කැළඹීමකට පත්කර තිබෙන බෙහෙත් ජාවාරම හා සම්බන්ධ පුවතක් හා ජනතාව පීඩාවට පත් කර තිබෙන විදුලි බිල හා බැඳුණු අතිශය සංවේදී පුවත් කීපයක් ද ජනගත වී තිබේ.

මේ සියලුම සිදුවීම්වලින් තහවුරු කරනු ලැබ ඇත්තේ රටක් වශයෙන් අප පත්ව සිටින අනිශ්චිතභාවයත්, දේශපාලන ව්‍යාකූලත්වයත් බව නිසැකය. ඉහත සඳහන් කළ ජා. ජ. බ. නායකයන්ගේ ඉන්දීයව සංචාරය හැරුණු විට අනෙක් සියල්ලම මේ ආණ්ඩුව සමඟ සෘජුවම සම්බන්ධවී තිබෙන සිදුවීම් බව ද පැහැදිලිය. අපි පළමුවෙන්ම ජා. ජ. බ. ඉන්දීය සංචාරය හා ඉන් කරළියට ගෙන එනු ලබන දේශපාලන සංවාදය වෙත යොමු වෙමු. මෙහිදී අපට පැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් මේ වනවිට ලාංකික දේශපාලනයේ වඩාත් අවධානයට මෙන්ම ආකර්ෂණයට ද ලක්ව තිබෙන ජා. ජ. බ. දේශපාලන ව්‍යාපාරය කෙරෙහි සාම්ප්‍රදායික හා පැරණි දේශපාලන අධිපත්‍ය හිමිවූ කණ්ඩායම් දැඩි ලෙස විරෝධය දක්වන බවය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන ව්‍යාපාරයක් තාර්කිකව විවේචනය කිරීමට තිබෙන අවකාශයට කිසිවෙක් බාධා කළ යුතු නැත. එහෙත් තමන්ගේ දේශපාලන න්‍යාය හා එහි පැවැත්ම වෙනුවෙන් අවලාද නැඟීම, අක්‍රෝශ පරිභව කිරීම දේශපාලන විඥානයක් සහිත කිසිවකුට අනුමත කළ නොහැක.

කෙසේ වුවද ජා. ජ. බයේ ඉන්දියානු සංචාරය පිළිබඳව එම පක්ෂය විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී විජිත හේරත් කළ විග්‍රහය ඒ සම්බන්ධ නිල ප්‍රකාශය ලෙස සැලකීම වඩාත් උචිතය. එය අවධානයෙන් කියවන විට පැහැදිලි වන්නේ. ජ. වි. පෙට දේශපාලන ව්‍යාපාරයක් ලෙස කලාපීය හා ගෝලීය දේශපාලන ප්‍රවණතා අනුව විවෘත වන ප්‍රබුද්ධ දේශපාලන ගමනක අවශ්‍යතාවන් නොතකා හැරීමට නොහැකි බව ඔවුන් තේරුම් ගෙන සිටින බවය. කලාපීය වශයෙන් ඉන්දියාවේ භූමිකාවට උඩින් පැන හෝ එයට ප්‍රතිචාර නොදක්වා සිටීමට අපට නොහැකි බව නිසැකය. ජනාධිපති රනිල් දින කිහිපයකට පෙරත් ප්‍රකාශ කර තිබුණේ අප රටක් ලෙස කිසි විටෙක ඉන්දියාවේ ආරක්ෂාව නොතකා ක්‍රියා කර නොමැති බවය. මෙරටේ ආයෝජනය සඳහා ඉන්දියාව පැමිණිය යුතු බව ද ජනාධිපති රනිල් පිළිගන්නා කරුණකි. ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අතර ඉකුත් 09 වැනිදා පර්ත් නුවරදී විශේෂ හමුවක් ද සිදුවී ඇත. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බවත් ජනාධිපති රනිල් ඔසට්‍රේලියාවේදී ප්‍රකාශ කර තිබුණි.

කුමක් වුවත් ජා. ජ. බ. දේශපාලනය සම්බන්ධයෙන් අදත් ඇතැම් අය විවේචනය කරන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් හා ප්‍රතිපත්ති දෙස බලාගෙනය. 1971 දී හා 1988 දී මෙරටේ සිදුවූ සාහසික ක්‍රියා මෙන්ම විනාශකාරී සිදුවීම් හා ඝාතන සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන අපකීර්තිමත් වාර්තාව ප්‍රකටය. ඒවා මතුපිටින් බලා කෙරෙන ළාමක විවේචන ද බොහෝය. මෙම තරුණ නැගිටීම් පිළිබඳ ප්‍රමාණික සමාජ දේශපාලන විශ්ලේෂණ පිළිබඳ නොදැන කෙරෙන අවලාද සමග අපට එකඟවීමට ද නොහැක. කුමන හේතුවක් යටතේ වුවද ඝාතනය යනු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අධම හා ම්ලේච්ඡ ප්‍රතිචාරයක් බව අපගේ දැඩි අවධානය යොමුවන කරුණකි. ඇත්ත වශයෙන්ම දකුණේ හා උතුරේ තරුණයන් ඇතුළු වටිනා ජීවිත බිලිගත් මහා ජන සංහාරයක් සිදුවූ බව කිසි විටෙක වසන් කළ නොහැක. එසේම දේශපාලනයේදී ඝාතනය යොදා නොගත් පක්ෂ කීයක් මෙරටේ තිබේ ද යන්නත් බොහෝදෙනෙක් නොදනිති. එසේම 1971 කැරැල්ලේදී එවක පාලනය භාරව සිටි මැතිනිය එයට දැක්වූ ප්‍රතිචාරය මෙන්ම 1988 – 89 භීෂණ සමයේ ද එවක පැවැති රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ වාර්තා, විශ්ලේෂණ ද විමසා බලා දේශපාලනය ගැන කතා කළ යුතු බව ද අපගේ අදහසය. මේ කිසිවක් නොදැන ජා. ජ. බ. දේශපාලනය විනාශකාරී ව්‍යාපාරයක් ලෙස හැඳින්වීම ද සාධාරණ නොවේ. එදා අප්‍රේල් කැරැල්ලට එක්වූ ඇතැම් අය පසුව සමාජ ප්‍රවාහයට එක්වූ ආකාරයත්, ඒ අයගෙන් සමහරුන්ට විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය වැනි විවිධ ක්‍ෂේත්‍රවල පවා ප්‍රවීණයන් ලෙස සමාජ අවධානයක් දිනා ගැනීමට හැකිවූ බව ද සඳහන් කළ යුතුය. එහෙත් 88-89 භීෂණයට චූදිතයන් වූ සියල්ලන්ටම පාහේ අත්වූයේ මරණය බව ද රහසක් නොවේ.

අද ජා. ජ. බයේ ඉන්දියානු සංචාරය පිළිබඳ විමසන කෙනෙක් සිහිපත් කරන්නේ එදා ජ. වි. පෙ. නායක රෝහණ විජේවීරගේ සුප්‍රකට පන්ති පහට ද ඇතුළත් වූ ඉන්දියානු ව්‍යාප්තවාදය’ ගැනය. මේ විජේවීර විසින් ඒ සම්බන්ධයෙන් දක්වන ලද අදහසකි.

“කෙසේ වෙතත් ඉන්දීය විරෝධය ලාංකීය ජනතාව හෝ ඉන්දීය ජනතාව වෙනුවෙන් නොවන බව ද ඉන්දීය පාලක පන්තියේ කලාපීය අවශ්‍යතාවන් සඳහාම පමණක් බව ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. දකුණු ආසියා කලාපයට අතපොවන්නේ එක්සත් ජනපදය වුව ද ඉන්දියාව වුව ද මොනයම් ලොකු අයියා කෙනකු වුව ද ලාංකීය නිර්ධනීන් එයට එරෙහි විය යුතුය. ඉන්දියාවේ නිර්ධනීන් එයට එරෙහි විය යුතුය.”

මෙයින් පෙනී යන්නේ විජේවීරගේ ඉන්දියානු විරෝධය දේශපාලනික පතිචාරයක් බවය. විජේවීරගේ දේශපාලන භාවිතය හැසිරීම් සියල්ල ඒ අයුරින්ම පවත්වාගෙන යන අනුකාරක පක්ෂයක් ලෙස ජ. වි. පෙට පැවතිය නොහැකිය. ඔවූහු ද කාලීනව හා ගෝලීය මෙන්ම කලාපීය දේශපාලන ප්‍රවණතාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙති. විජිත හේරත් විසින් එම පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේත් ඉහත දැක්වූ අදහස බව පැහැදිලිය. ඔහුගේ වචන වෙනස්ය. එහෙත් ඒ ප්‍රකාශිතයේ හරය වූයේ ජනතා ව්‍යාපාරයක් වන දේශපාලනය ගමන් කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රබුද්ධ කියවීමක් නොමැති පක්ෂයකට පැවැත්මක් නොමැති බවය. ජා. ජ. බ. විරෝධීන්ට මෙන්ම ඔවුන් පිළිබඳ වෛරයකින් ද සිටින අය මේ ඉන්දියානු සංචාරය දකින ආකාරය ගැන කතා කිරීම පවා නිෂ්ඵලය. මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් කියා සිටියේ ජා. ජ. බ. අනුර කුමාර කලිසම් කෝට් ඇඳීම වැනි ළාමක කරුණුය. එහෙත් වෙනස්වීම නැතහොත් අලුතින් සිතීමට අසමත් දේශපාලන ව්‍යාපාරයකට අද ගමනක් නැත. බුද්ධිමත් මෙන්ම කිසියම් දේශපාලන විඥානයක් සහිත පුරවැසියන් ද පක්ෂ, පාටවල වහලුන් නොවන අය ද විමසා බලන්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙළක් පක්ෂවලට තිබේද යන්න පිළිබඳවය.

විධායක මුවහම සහ දේශපාලන නාට්ටාමිලා!

මෙහිදී කිවයුතු තවත් කරුණක් ද ඇත. එනම් 88 – 89 භීෂණයට, මෙරටේ තරුණ කොටස් තල්ලු වී ගිය සුවිශේෂ කරුණක් ද වූ බවය. ඒ වූ කලී 1987 දී ජයවර්ධන පාලනය විසින් පිළිගන්නා ලද ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව නැඟුණු ජනතා විරෝධයයි. ඒ ගිවිසුම පාවාදීමක් බව සෝභිත හිමියෝ නොපැකිළිව පැවසූහ. සිරිමාවෝ මැතිනිය පමණක් නොව දේශප්‍රේමී කඳවුරු නියෝජනය කළ ශ්‍රී. ල. නි. පයේ නායකයෝ ද ඒ ගිවිසුමට එරෙහි වූහ. පිටකොටුවේ බෝ ගස අසල වූ විරෝධතා ව්‍යාපාරය ඉන්දියාවේ ඒ මැදිහත්වීමට එරෙහිවය. මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ද එහි ඵලයකි. එසේම ඒ ඉන්දියානු විරෝධය ජ. වි. පෙ. නාකයන්ගේ මනස තුළ තැන්පත් කරන ලද්දේ, එදා සිටි නායකයන් බව මගේ අදහසය. ඒ සාහසිකත්වය මම අනුමත නොකරමි.

එහෙත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත අඹරවා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරවූ බවට තිබෙන විවේචනය බැහැර කළ නොහැකිය. ශ්‍රීලනිපය හා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ද ඒ ගිවිසුමට එකඟ නොවූහ. එදා ජනාධිපති මැඳුරේදී පැවැති නිල උත්සවයට පවා ප්‍රබල ඇමැතිවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි එක් නොවීම ද කැපී පෙනුණි. අගමැතිව සිටි ප්‍රේමදාස ද ඒවාට දායක වූයේ නැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ද නාවුක භටයකුගේ ප්‍රහාරයක් එල්ල විය. මේ සියලු දේවලින් ඇවිළී ගිය ජවිපෙ විරෝධය හුදු ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් පමණක් යැයි කිව හැකිද? පොහොට්ටුවේ පසුපෙළ සිටින දේශපාලන නාට්ටාමිලා මේ ඉතිහාසය දනිත්දැයි සැකයකි. එසේම එදා පළාත් සභාවලට තරග කිරීම ශ්‍රීලනිපය පවා ප්‍රතික්‍ෂේප කර තිබුණි.

මේ දේශපාලනය අද වෙනස්වී තිබේ. පළාත් සභා වර්ජනය කළ අය පවා ඒවාට තරග කළහ. කිසිම නායකයෙක් 13 වැනි සංශෝධනය ඉවත් කිරීමට වෑයම් කළේ ද නැත. එහෙත් ජයවර්ධනට පවා ඒ බලතල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකි විය. ජනාධිපති රනිල්ට වුව ද තවමත් ඒ 13 ගැන ඉදිරි පියවරක් තැබීමට ද නොහැකි වී තිබේ. ඒ නිසා ඉන්දියන් විරෝධය තුළ වූ දේශපාලනය නිසි ලෙස වටහා නොගෙන දක්වන උඩුබුරලීම්, ප්‍රබුද්ධ ප්‍රතිචාර ලෙස පිළිගත නොහැක. ජා.ජ.බ. සංචාරයේදී ප්‍රකට ව්‍යාපාරික අදානි හමුවීම ද උභතෝකෝටිකයක් නොව දේශපාලනිකව බැලිය යුත්තකි. අදානි සමූහ ව්‍යාපාරය විසින් කරන ලද ආයෝජන මෙන්ම මතුවට කෙරෙන ව්‍යාපාර කටයුතු ද විවාදයට තුඩුදී තිබේ. ජා.ජ.බයට ද සිය ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතාවට ඉදිරිපත් කළ හැකිය. ඔවූහු අදානිගේ හෝ අන් කවරකුගේ හෝ සාක්කුවලට වැටෙත්නම් එය ද වසන් කළ නොහැක. දේශපාලන ඩීල් හෝ කොමිස් කුට්ටි කඩා ගැනීම් හෝ ඔවුන්ගෙන් ද සිදුවේ නම් ඒවා ද සැඟවිය නොහැක. එනිසා ජා.ජ.බය නූතන සමාජ දේශපාලන දැක්මක් සහිතව ඉදිරියට යන්නේ නම් එදා ඔවුන් විසින් පිළිගත් න්‍යායන් මෙන්ම සම්මුතීන් ද කාලීනව හා ජනතාවාදීව වෙනස් කර තිබේ නම් ඒ වෙනස ද ජනතාවට වටහා ගත හැකිය. දේශපාලන පවුල්වාදය, ඥාති සංග්‍රහය මෙන්ම ජාතික සම්පත් ද කොල්ලකෑ බවට චෝදනා නැඟෙන පක්‍ෂ හා දේශපාලන ව්‍යාපාර හඳුනා ගැනීමේ සියුම් ඉවක් ද අද බහුතර ජනතාව සතුව තිබේ. ඒ ජනමනස වටහා ගත් ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ද අද කැළඹීමට පත්ව සිටිති. ගෙවී ගිය දශක තුන හතරක සිට සිදුවූ දේශපාලන රැවටිලි, ඇස්බැන්දුම් වෙනුවෙන් පෙනී සිටියෝ කවරහුදැයි ජනතාව ද දනිති.

මේ දේශපාලනය ද විකෘතියක් බව ඔවූහු දිනිති. දේශපාලන නිලබල හා ඔවුන්ගේ අනුගාමිකයන් සමාජ මතුමහලට නැඟ සිටිද්දී වෘත්තිකයෝ ද, විද්වත්හු ද, ගොවියෝ ද වෙනත් සුළු ව්‍යවසාකයෝ ද, ගෘහණියෝ ද වීදි බැස සිටිති. මධ්‍යම පන්තිය ලෙස සිටි සමහරු දුගියෝය. දුගියන්, යාචකයන් ලෙස ජීවිත, අඳුරක විඳවීමට රටේ සෑහෙන පිරිසකට අද සිදුවී තිබේ. තුන්වේලක් කෑ අය එය දෙවේලෙකට ද, දෙවේල එක්වේලකට ද සීමා කරන සමාජයක දුක් අඳෝනා ජනමාධ්‍ය ඔස්සේ ද ගලා යයි. ඉන්ධන, විදුලිය, ජලය පමණක් නොව එදිනෙදාට වුවමනා එළවළුවක් පවා අධික මිලක් ගෙවා ලබාගත යුතුව තිබේ. බිත්තරයට ගිය කල හා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ගැන ද කතා කළ යුතු නැත. අපට සිනාසීමට නොහැකි, විහිළු කරන වෙළෙඳ අධිපතීහු පාන්ගෙඩිය කිරා බැලීමට තරාදියක් අවශ්‍ය බවට නීතියක් ද සම්මත කළහ.

මේ රටේ විදුලි බිල අධික බව සමීක්‍ෂණවලින් තහවුරු කර ප්‍රකාශ කරන ආයතනවලට විදුලි නිලබල හා දේශපාලන බලධාරීහු ද ඔරවති. එහෙත් ලක්‍ෂ ගණනකගේ විදුලිය කපා දමනු ලැබ ඇත. හේතුව අධික විදුලි බිලක් ගෙවීමට වත්මක් නැති වීමය. විදුලිය හා සම්බන්ධ වෘත්තීය සංගම් නායකයන් විසින් විදුලි බිලට පොලු තැබූ ආයතන හා නම් ගම් ද ප්‍රසිද්ධ කළහ. ඒත් ඒ බිල් ගෙවූ බවක් නම් වාර්තා වී නැත. එහෙත් විදුලි, පෞද්ගලික සමාගමක් විසින් සත දහඅටක හිඟයක් නිසා විදුලි සබඳතාව අහිමි කළ බවක් ද වාර්තා විය. පසුව එය නිවැරදි කළත්, ඒ මේ රටේ හැටිය. කවුරුත් බැට දෙන්නේ පොඩි මිනිසාටය. නීතිය අපටය. හිරගෙවල් නැති බැරි උන්ටය. තම නිවසේ විදුලිය කපා දැමීම නිසා යාබද නිවසින් විදුලි ලාම්පුවක් දල්වා ගැනීමට ගිය පියකුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ දුක්මුසු පුවතක් සමාජය කම්පා කරද්දී ඒ ගැන ‘හ්ම්’ හඬක් නොනැඟූ බලධාරීහු ද සිටිති. තම දරුවන්ට පොතක් කියවීමට ගත් ඒ උත්සාහය මරණයකින් කෙළවර විය. විදුලිය නැති නිසා ඉටිපහන් දල්වා පාසල් කටයුතු කරන දරුවෝ ද සිටිති. විදුලිය නැත්නම් ඉටිපන්දම් පත්තු කර ගනිල්ලායි කීමට වුවත් පසුබට නොවන විදුලි මාෆියාවක් ද මෙරටේ තිබේ. සුව සේවයේ කුණුවීම, නිලබලවල අවිධිමත් හා වගකීම් විරහිත ක්‍රියාකාරකම් සියල්ලටම තවමත් පොදු ජනයා වන්දි ගෙවමින් සිටිති. බෙහෙත් ජාවාරම්කාරයෝ තවමත් ඒ දූෂිත මෙහෙයුම් කරතියි ද කියති. ජනතාව රෝහල්වල හූල්ලමින් සිටිද්දී කාර්ය මණ්ඩල වර්ජනවල නිරතව සිටිති.

මේ ජරමර අස්සේ අපේ දේශපාලන නායකයන්ට හදිසියේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ද මතක් වී තිබේ. අප විසින් මෙයට පෙර අවස්ථා කීපයකදීම සඳහන් කරන ලද පරිදිම චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සිට ගෝඨාභය ජනාධිපති දක්වාම දේශපාලන වේදිකාවලදී හොඳට තැළුෑ මුවහම් දෙකක් විය. එකක් විධායක ක්‍රමයයි. අනෙක මනාප ඡන්දයයි. පුදුමයකට මෙන් මේ ඡන්ද පැවැත්වීමට නියමිතව තිබෙද්දී යළිත් මේ විධායක ක්‍රමය අහෝසි කිරීමේ හදිසි උනන්දුවක් ඇතිවී තිබෙනු පෙනේ. බොහෝ දේශපාලන පක්‍ෂ මේ දෙස බලන්නේ සැකමුසුවය. මේ නම් ඡන්ද කල්දැමීමේ උප්පරවැටියක්දැයි ඔවූහු විමසති. ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද මෙම විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වනවිට සංශෝධන 21 ක් එකතුවී තිබේ. රටක ව්‍යවස්ථාවක් දේශපාලන පක්‍ෂවල අභිලාෂයන් හා අපේක්‍ෂාවන් සපුරා ගැනීමට බාල්දු කළ අශ්ලීල දේශපාලන මෙහෙයුමකට දිය හැකි එක් නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම ව්‍යවස්ථාව හැඳින්විය හැකිය.

අදත් ඒ ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් බලය තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයන් ද අපට දැකගත හැකිය. එනිසා මේ අලුත් හදිස්සිය ගැන ජනතාව සැක කිරීම ද පුදුමයක් නොවේ. මේ වනවිටත් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර ගැටුමකි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දිනෙක (05 දා) මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි. කුමක් වුවත් මේ යෝජනාව ප්‍රවේශමින් විමසා බැලිය යුත්තකි. හොඳම දෙය එළැඹෙන මැතිවරණවලදී ඒ සඳහා පැහැදිලි ජනවරමක් ලබාගැනීමය. ජනතාව අපේක්‍ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හිමිවන මැතිවරණය උපයෝගී කර ගනිමින් දේශපාලන අධිපතිවාදී කඳවුර බලයෙන් ඉවත් කිරීම බව පාලකයෝ ද දනිති. බියට පත් ඔවූහු තම ආරක්‍ෂාව වෙනුවෙන් කුමක් හෝ අංචියක් අදිතියි කෙරෙන ප්‍රකාශය ද බැහැර කළ නොහැකිය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment