විරෝධතා යටපත් කිරීමට සරසවි වසා දමා තිබෙනවා – අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

148

සිසු ජන විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව විශ්වවිද්‍යාල විවෘත කරන්නේ නැතිව වසා දමා තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.හෙතෙම මේ බැව් පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (02 දා) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණි මොහොතේදීය.මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට පැමිණියත් සභාපතිවරයා නොසිටි බැවින් උප සභාපතිවරයා සමග සාකච්ඡාවක් කළ බවත් පැවසූ වසන්ත මුදලිගේ මහතා විශ්වවිද්‍යාල මෙලෙස වසා දමා තිබීමෙන් උපාධිය ලබා ගැනීම සඳහා සිසුන්ට වසර 05කට වැඩි කාලයක් ගතකිරීමට සිදුව ඇතැයි ද කීවේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.විශ්වවිද්‍යාල පද්ධතිය මේ වනවිට දින නියමයක් නොමැතිව වසා දමලා. කිසිදු විශ්වවිද්‍යාලයක් සියලු සිසුන්ට විවෘත කර නැහැ.අවුරුදු 13ක් දුක් මහන්සියෙන් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාලයට එන සිසුන්ට දැන් වසර 5-6 කට වැඩි කාලයක් එහි ගතකරන්න වෙලා. 2018, 2019 සහ 2020 අධ්‍යාපන වර්ෂ සඳහා සිසුන් ගත්තට පස්සේ තවම හරියට විශ්වවිද්‍යාලයේ පස් පාගන්නවත් ලැබිලා නැහැ. අපි ආවේ ඒ ගැන කතා කරන්නයි.ආණ්ඩුව බයයි විශ්වවිද්‍යාල විවෘත කළාම. ආණ්ඩුව හිතනවා ජනතා විරෝධය යටපත් කරන්න සිසු ජන විරෝධතා යට ගහන්න තියෙන හොඳම ක්‍රමය විශ්වවිද්‍යාල වහලා අධ්‍යාපන පද්ධතිය අඩපණ කිරීම කියා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව මුදල් හොයන්න පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. ආණ්ඩුවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත තඹ සතේකට වැඩක් නැහැ. එනිසා මේ දුර්ජන ආණ්ඩුව වෙනස් කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment