විවාහයේදී ගැලපිය යුතුම පොරොන්දම්

5079

පොරොන්දම් බැලීමේදී මුලින්ම අරමුණු කරන්නේ විවාහ ජීවිතයෙන් පසු එම විවාහක යුවළට එම දෙපළගේ විවාහ ජීවිතයට අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් එම පවුල් ජීවිතය ගෙන යා හැකිද යන්නයි.

පුරාණයේ සිට පවතින විවාහ පරීක්‍ෂා ක‍්‍රම කීපයක් සඳහන් කළ යුතුයි. මෙයින් ප‍්‍රධානම ක‍්‍රමය වන්නේ විසි පොරොන්දම් පරීක්‍ෂාවයි. තවද අට පොරොන්දම්, සුදර්ශී චක‍්‍රය, අෂ්ඨකූට දස පොරොන්දම් ආදී වශයෙන් පරීක්‍ෂා කර බලා ශුභ අශුභ නිගමනය කිරීම සිදුවේ.

නමුත් මෙම ඉහත කරුණුවලට අමතරව තවත් බැලිය යුතු කරුණු තිබේ. ඉහතකී කරුණුවලින්ම විවාහය සාර්ථක වෙන බවක් විශ්වාස කළ නොහැක. මීට අමතරව මෙම විවාහක දෙපළගේ කේන්දර පරීක්‍ෂාකොට මෙම විවාහයෙන් පසු මෙම දෙපළ රෝගී වේද, අකල් මරණ ඇතිවේද, වැන්දඹු වෙයිද, විවාහය දෙදරා යාද, අන් සැමියන් අන් බිරින්දෑවරුන් පසුපස යාද, විවාහය දෙදෙනාගේ ලිංගික සතුට ඇතිවේද-නැති වේද යන්න පිළිබඳවත් දරුවන් පිළිබඳවත් දීර්ඝ ලෙස පරීක්‍ෂාකර බැලිය යුතුයි.

මීට අමතරව මෙම දෙපළගේ කේන්දර පරීක්‍ෂා කරන ජ්‍යොතිෂවේදියාගේ අත්දැකීම්ද පළපුරුද්දත් වැදගත්. මේ සියලූම කරුණු ඒකරාශී කරගෙන විවාහ පරීක්‍ෂාව සිදුකළ යුතුයි.

දැන් බලමු මීට අමතරව බැලිය යුතු වෙනත් කරුණු ග‍්‍රහයන් පිළිබඳව,

  • කේන්දර දෙකේ විවාහ දෝෂ පවතියිද? එනම් අඟහරු හෙවත් කුජගේ භෞමදෝෂ කුජ යම්කිසි විවාහකාර කේන්දරයක 1, 4, 7, 8, 12 යන රාශියක සිටීමෙන් ඉහත කී දෝෂය ඇතිවේ.
  • තවද ශනි, කේතු, රාහු කුජ, කුජ කේතු යෝගවී සිටීමද විවාහ දෝෂයකි.
  • 05 අධිපති හා 07 අධිපති නාශාංශක වීමද විවාහ දෝෂයකි.
  • ශනි, කුජ යෝග වීමත් ඔවුන් එකිනෙකට දැකීමත් විවාහ දෝෂයකි.

මේ සඳහන් කළේ කේන්දරවල පවතින විවාහය සම්බන්ධයෙන් වූ ප‍්‍රධාන දෝෂ කීපයකි.

මීට අමතරව තවත් බලන තරමට ශුභ වන විවාහය නිසා මේ ගැනත් පරීක්‍ෂාකර බැලිය යුතුයි. විෂ කන්‍යා දෝෂය, සිකුරු පාපකති‍්‍ර දෝෂය, සිකුරු 4, 8, පාප දෝෂය, වඳ දෝෂ, කාම චණ්ඩාල යෝග, සරාගි යෝග, බහු විවාහ යෝග, චන්ද්‍ර මංගල යෝග, අවිවාහක යෝග, කළුකුමාර දෝෂ, තුන් කුළුඳුල් දෝෂ, ලේ නෑකම් දෝෂ ඉහත සඳහන් කළ දෝෂ ගැනද බලන්න සිදුවේ.

තවත් විශේෂයෙන් කිවයුතු කාරණයක් වන්නේ ඔබ විවාහ වන තැනැත්තා හෝ තැනැත්තියගේ කේන්දරයේ බහු විවාහ දෝෂ තිබේද යන්නයි. උදා: ලෙස මීන ලග්න හිමියෙකුගේ උපන් කේන්දරයේ නවාංශකය වෘශ්චික වූ විට එම වෘශ්චිකයෙන් 07 වැන්නේ සඳු හෝ සිකුරු සිටින විට බහු විවාහ සිදුවේ. 07 අධිපති 02 සිටින විටද බහු විවාහ සිදුවේ. තවද ස්තී‍්‍ර කේන්දරයක රවි සිටින රාශියේම පුරුෂ කේන්දරයේ සඳු සිටීනම් එම පුරුෂ කේන්ද්‍රයේ එම රාශියේම සඳු සිටී නම් සංසාරේ පතාගෙන ආ යුවළක් වෙයි. ඔවුන්ගේ ආත්ම බැඳීම ඉතාම උසස්ය. මෙම දෙදෙනා හොඳින් ගැලපේ.

තවදුරටත් යම් පැහැදිලි කිරීමක් සිදුකළොත් ස්තී‍්‍ර කේන්ද්‍රයේ කුජ 1, 4, 7, 8, 12 යන භාවස්ථානයක සිටීමෙන් පුරුෂයාගේ විනාශයද පුරුෂ කේන්දරයේ එම ස්ථානයේ කුජ සිටීමෙන් ස්ති‍්‍රයගේ විනාශයද සිදුවේ. මෙය එක්තරා ආකාරයකට වැන්දඹු යෝගයකි. මෙම යෝගය ඔබට ඇද්දැයි බලන්න. මෙන්න එම දෝෂය භංග කරවන ක‍්‍රමය 1, 4, 7, 8, 12 යන තැනක ඔබේ කේන්දරයේ කුජ ඇත්නම් බලන්න එම රාශිය කුමක්ද කියා. උදා: ලෙස 4 වන රාශිය මකර යැයි සිතන්න. මකරයේ කුජ සිටින අතර අනිත් කෙනාගෙත් මකාරයේ කුජ සිටීනම් එම දෝෂය භංග වෙයි. තවද මෙකී කුජ එම රාශි අධිපතියාත් සමග සංයෝග වී සිටියි නම් ද එම දෝෂය භංගවෙයි. තවද කුජ දෝෂය ඇති විට අනිත් කේන්දරයේ ශනි 1, 4, 7, 8, 9, 12 යන තැනක (භාවයක) සිටින විටද දෝෂය භංග වෙයි.

විවාහ පරීක්‍ෂාවේදී හොඳින් සිතා බලා මෙම පරීක්‍ෂාව සිදුකළ යුතුයි. එසේ නොවුණොත් විවාහය විවාහ වූ අයට අවුල් කර ගන්නටත්, විවාහ වීමට සිටින අයට මෙම කුජ දෝෂය ගැනම පවසමින් මුලාවී සිටින අයටත් කරන ලොකුම අසාධාරණයකි. මන්ද ජ්‍යොතිෂවේදියා පවසන දේම පිළිගන්නා අයත් අපට හමුවී ඇත. ඔවුන් අදටත් විවාහ වී නැත. මන්ද ඔවුන්ගේ මනසට කා වද්දා ඇත්තේ ඔබට කුජ දෝෂය නිසා දුක් විඳින්නට, බහු විවාහ සිදුවීමට පුරුෂයා හෝ ස්ති‍්‍රය මැරෙනවා යන්නයි. ඉතිං මෙම දෝෂ භංගය තිබේ නම් බය නැතුව විවාහ වන්න. දුක් විඳින්නට එපා විඳින්නට මිස විඳවන්නට කිසිවක් නොපවසමි.

ඉවෝන් දිසානායක
ඉටුමිණ මංගල ආයතනය.

advertistmentadvertistment
advertistmentadvertistment