විසඳුම් නෑ – සාකච්ඡා නෑ – දුම්රිය වර්ජනය නොනවතී

358

ඊයේත් දුම්රිය ගමන් වාර 128ක් අවලංගුයි
වර්ජනය මැද දුම්රිය ගමන්වාර 139ක් යයි

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කළ ද දුම්රිය රියැදුරන් 84 දෙනෙකුගෙන් යුතු වෘත්තීය සමිතියක් විසින් සිදු කරනු ලබන වැඩ වර්ජනය ඊයේ (13 දා) දිනයේදී ද ක්‍රියාත්මක කිරීමෙන් දුම්රිය ගමන් වාර 128ක් අවලංගු වූ අතර දුම්රිය ප්‍රමාදයන් රැසක් ද සිදු වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් ඊයේ දිනයේ උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40 ක් සහ සවස් වරුවේ 37ක් බැගින් දුම්රිය ගමන් වාර 77ක් ධාවනයට එකතු කර තිබුණි.

එහිදී ඊයේ උදෑසන ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15 ක්ද, පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04 ක් ද, කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17 ක් ද වශයෙන් දුම්රිය ගමන් වාර 40ක් ධාවනයට එක් කර තිබිණි. ඊට අමතරව දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්යාල සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත දුම්රිය යෙදවීමට කටයුතු යොදා ඇත.

ඊයේ සවස කාර්යාල දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව, ගමන් වාර 37ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබිණ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද, පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් හා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් එයට ඇතුළත් කර තිබිණ.

මේ අතර වර්ජනය හේතුවෙන් දුම්රියක වහලය මත නැගී ගමන් ගෙන හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර සූදානම් කර තිබේ.

මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවත්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්ගේ දැනුවත් කිරීම පරිදි, කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල පිරිනමන බව දුම්රිය බලධාරීහු කියති.

එම වන්දි මුදල ඊයේ දිනයේ හෝ අද දිනයේ කඩිනමින් එම පවුල වෙත ලබා දෙන බව දුම්රිය වාණිජ අධිකාරි බණ්ඩාර චන්ද්‍රසේන මහතා ‘දිවයින’ට පැවසීය.

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීමට ඊයේ (13දා) දිනයේ සවස් වරුව වනතෙක්ම කිසිදු බලධාරියකු හෝ ඇමැතිවරයා සාකච්ඡාවක් නොදුන් බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා ‘දිවයින’ට පැවසීය.

එබැවින් තම සංගමයේ නියෝජිතයන් ඊයේ සවස් වනතුරුත් වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි බව ද හෙතෙම කීය.
අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment