වෛද්‍ය අර්බුදය දිග්ගැසේ කරාපිටියේ වෛද්‍යවරුන් 100ක හිඟයක්

104

වෛද්‍ය හිඟය එතරම් බලපෑමක් නෑ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යාමේ දී ගැටලු රැසක් ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකරණු ලැබූ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දී ගැටලු ඇතිවී තිබෙන අතර මෙම තත්ත්වය නිසා රෝගීහු දැඩි දුෂ්කරතාවන්ට හා අපහසුතාවන්ට මුහුණ දෙති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා, වෛද්‍යවරුන් 100 දෙනකුගේ පමණ හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම තමයි මෙම තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ. ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යංශය මගින් ලබා දෙන්නේ නැහැ.

එමෙන්ම විභාග සමත්වෙලා ඇතැම් වෛද්‍යවරු විදේශගත වීමත් මේ සඳහා තවත් හේතුවක්. වෛද්‍යවරුන් නොමැතිකම නිසා අලුතෙන් ඉදිකොට ඇති ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීමට නොහැකි වෙලා තියෙනවා. ඇතැම් අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. නමුත් එය එතරම් බලපෑමක් නැහැ.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment