ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අතරමං වූ මෙකෝ නෝනා දින 5කට පසු හමු වේ

57

මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයන් සමග ඉකුත් මස (23දා) හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අතරමං වී සිටි ජී.මෙකෝ නෝනා (79) ඉකුත් මස (29) දින රත්නපුර එරත්න මාර්ගයේදී එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට හමු වී තිබුණි.

ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට (23දා) හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීම හේතුවෙන් ඉදිකටුපාන ප්‍රදේශයේදී සිය ඥාතීන්ට ජී. මෙකෝ නෝනා නමැති කාන්තාව අතහැරී ඇත.

පසුව ඥාතීන් විසින් අතුරුදන් වූ කාන්තාව සොයා ඇතත් ඇය හමු නොවූ නිසා යළිත් මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳව මැල්සිරිපුර පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු මැල්සිරිපුර පොලිසිය විසින් ඒ පිළිබඳව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඒ. පී. එස්. වීරසේකර මහතා විසින් නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩමළුව දක්වා සහ ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගයේ පිහිටා ඇති සියලුම පොලිස් මුරපළවල් වෙත දැනුම් දී තිබුණි.

එදින ශ්‍රී පාදය කරුණා කිරීමට පැමිණ සිටි විශාල වන්දනාකරුවන් පිරිස හමුවේ ඉදිකටුපාණෙන් රත්නපුර ශ්‍රී පාද මාර්ගයට පිවිසීමට ඇති මාර්ගය ඔස්සේ ගමන් කර ඇති ජි. මෙකෝ නෝනා ශ්‍රී පාද මළුව වෙත නොගොස් යළිත් රත්නපුර එරත්න මාර්ගය ඔස්සේ (29දා) වන තෙක් දින පහක කාලයක් පහළට බැස ඇති බවයි මෙකෝ නෝනා මහත්මියගේ ඥාති දියණියක් වන මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි නාලිකා දමයන්ති මහත්මිය කියා සිටියේය.

මගේ පුංචි අම්මා රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියල අපට පණිවිඩය ලැබුණු ගමන් මම රෝහලට ගිහිල්ලා පුංචි අම්මට ආවතේව කටයුතු කළා. පුංචි අම්මා ශ්‍රී පාදයේ ගිය තත්ත්වයෙන් නෙවෙයි හිටියේ, බෝහෝම අසාධ්‍ය තත්ත්වයෙන් තමයි හිටියේ.

ඒකට හේතුව තමයි දින ගණනාවක් පුංචි අම්මා නිරාහාරව ඉඳලා තියෙනවා. එරත්න මාර්ගය රක්ෂිතයක් හරහා පිහිටා තිබෙන නිසා ඒ මාර්ගයෙන් ශ්‍රී පාදයේ යන අය අඩුයි. මට ඒ බව රෝහලේදී දැන ගන්න ලැබුණා.

එරත්න මාර්ගයේ පහළට පුංචි අම්මා බහිනකොට එරත්න පන්සලේ හාමුදුරු නමක් භාවනා කරන්න යනකොට පුංචි අම්මව දැකලා ඒ පිළිබඳව ගම්වාසීන්ට කියල තියෙනවා, පස්සේ ගම්වාසීන් එකතු වෙලා පුංචි අම්මව රත්නපුර පොලිසියට දැනුම් දීලා රත්නපුර රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

පුංචි අම්මගේ නළල සහ කකුල තුවාල වෙලා තියෙනවා. ශ්‍රී පාද මාර්ගයේ පහළට බහිනකොට ඇළක වැටුණා කියලා තමයි පුංචි අම්මා මට කිව්වේ.

දැන් නම් පුංචි අම්මා තරමක් සුවෙන් සිටිනවා. පුංචි අම්මා අතරමං වුණාට පස්සේ ජාතික පුවත් පත් කිහිපයකම ඒ පිළිබඳව පුංචි අම්මාගේ ඡායාරූප සහිතව පුවත් පළ වී තිබුණා.

අතරමං වූ පුංචි අම්මව සොයලා දෙන්න උදව් කරපු එරත්න පන්සලේ හාමුදුරුවන්ට සහ ගම්වාසීන්ට, රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට, පොලිස් නිලධාරින්ට මම ස්තුතිය පුද කරනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් අතරමංව සිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජී.මෙකෝ නෝනාව දුරකථනය ඔස්සේ අප සම්බන්ධ කර ගනිමින් කරුණු විමසා සිටි විට ඇය කියා සිටියේ මගෙත් එක්ක ශ්‍රී පාදේ ගියපු අයගෙන් මං මග හැරුණු අවස්ථාවේ ඒ අය සොයාගෙන මම ශ්‍රී පාද මළුවට යන්න හිතාගෙන ගියා.

නමුත් මට යන්න බැරි වුණා. මම එහෙම්මම පහළට බැස්සා. කවුරුත් හම්බ වුණේ නැහැ. කොහොම හරි මට පාර වැරදිලා දවස් ගාණක් මම පහළට බැස්සා කුසගින්නේ.

ඊට පස්සේ මම ඉස්පිරිතාලේ හිටියා එච්චරයි මට මතක යනුවෙන් ඇය දැඩි අසිරුතාවයෙන් අප සමග අදහස් දැක්වූවාය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment