ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය

1012

ග්‍රීසියේ ඇතෑන්ස්, ස්පාටා වැනි පෞර රාජ්‍යන් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සෘජුව ක්‍රියාත්මක කෙරුණි. පක්ෂ දේශපාලනයක් එහිදී නොතිබුණි. ග්‍රීක යුගයේ විසූ ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයා ප්‍රකාශ කළ ආකාරයට බහුතරයේ කැමැත්ත ඇතිව පාලකයා සෘජුව පත්කිරීම ආදී හේතුකොටගෙන ක්ෂුද්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුවද, පාලකයාද නීතියේ රැහැනට හසුවිය යුතු බව පොලිටි (Polity) හෙවත් “ව්‍යවස්ථානුකූල පාලනය” යන විග්‍රහයෙන් අදහස් කර ඇත. එයින් ප්‍රකාශ කරන්නේ පාලකයන් ඡන්දයෙන් තෝරාගෙන ඔවුන්වද නීතියේ ආධිපත්‍යට යටත්විය යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතාකරන විට එහි වර්ග ගණනාවක් ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විමසන විටදී දේශපාලන පක්ෂ සුවිශේෂී වේ.

පොළවේ ඇති දේශපාලන බලය පාලන තන්ත්‍රය වෙත යවන සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම අද වනවිට සීමිත රටවල් ප්‍රමාණයක් අවස්ථානුකූලව ක්‍රියාත්මක වුවද, වර්තමානයේ දේශපාලන කටයුතු හා ආණ්ඩුකරණ ක්‍රියාදාමය සංකීර්ණ ස්වභාවයක් ගැනීම මත වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම භාවිතා කරයි. එහිදී “දේශපාලන පක්ෂ” සුවිශේෂී කාර්යභාර්යයක් ඉටුකරයි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂ සලකනු ලබන්නේ පුරවැසියන්ගේ ජනජීවිතයේ සහ ආණ්ඩුකරණ ක්‍රියාවලියේ අතරමැදි අංගයක් ලෙසිනි. ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පක්ෂ අතර ඇත්තේ සෘජු ධන අන්තර් සම්බන්ධතාවයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවතීම හෝ නොපැවතීම එක් මිනුම් දණ්ඩක් වනුයේ දේශපාලන පක්ෂවල පැවතීම හෝ නොපැවතීමයි.

කෙසේ නමුත් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තිබූ පමණින් ප්‍රජාතන්ත්‍රවාදයට ධනාත්මක බලපෑමක් වන්නේ නැත. දේශපාලන පක්ෂවල ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව වැඩි පක්ෂ ජාතික දේශපාලනය තුළ තරගකාරී මට්ටමින් ක්‍රියාත්මක වීම වැදගත් වේ. ලංකාව සම්බන්ධයෙන් මෙම කාරණය විමසා බැලුවහොත් පක්ෂ ගණනාවක් ගුණාත්මක අතින් පිරිහුණු බව දැකගත හැක. ලංකාවේ තට්ටුමාරු දේශපාලන ක්‍රියාදාමය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ද ඒ වාට හවුල්කාර වූ අනෙකුත් පක්ෂ ද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට අක්මුල් සපයා ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල පරිහානිය 1978න් ආර්ම්භ විය. මෙම පරිහානිය ඇතිවීමට බලපෑ මූලික හේතුවක් වන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම, ගජමිතුරු ධනවාදයේ ව්‍යාප්තිය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, ජනවාර්ගික අර්බුදය, දේශපාලන ගැටුම් හා ප්‍රචණ්ඩත්වය, ජනාධිපති ධුරයේ බලතල වැඩිවීම ආදී සෘජු කාරණායි. මෙම කරුණු නිසා දේශපාලන පක්ෂ මගින් බලාපොරොත්තු වන උසස් අංගයන්වලට සමුදී, පුරවැසියන් නියෝජනය කරනු ලබන පක්ෂ වෙනුවට සමාජ ව්‍යුහය තුළ නව කල්ලිවාදී ගජමිතුරු සන්ධාන බිහිවීම සිදුවිය. මේ සඳහා සෘජුව මුහුණ දුන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. කුඩා පක්ෂ මෙම ස්වරූපය තුළ ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානවීම මත බලහත්කාරී ලෙස සමාග්‍රහණය වී ඇත.

මුල් යුගයේ දේශපාලන පක්ෂ ක්‍රියාදාමය අධ්‍යයනය කරන විට පක්ෂ මාරු කිරීම ඉතාම සරල සිදුවීමක් වී නොමැත. කෙසේ නමුත් දේශපාලඥයන් හිතුමනාපය පරිදි පක්ෂ මාරු කළ විට පුරවැසියන්ගේ ඡන්ද බලය, මහජන මතය හෑල්ලුවකට ලක්වීම වැළැක්විය නොහැකිය. මෙම සිදුවීම් මත පක්ෂ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ආර්ථික, ද්‍රව්‍යමය, තනතුරු, ලාභ, ලබාගැනීම මුල්කොට ගන්නා ස්ථාන බවට දේශපාලන පක්ෂ ලක්වී ඇත. මෙවැනි ඵල ප්‍රයෝජන ලබාගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂ නායකවරු, ඇමැතිවරු ආදී මහජන නියෝජිතයන්ගේ දුෂ්චර්යාවන් නිරූපණය වීම මත පාර්ලිමේන්තුවේ ද ආයතනික පරිහානියක් සිදුවේ. පාර්ලිමේන්තුවේ චර්යාවන් හා ක්‍රියාකාරකම් නිරීක්ෂණයේදී පුරවැසියන් මෙවැනි අයලුවන් මහජන නියෝජිතයන් ලෙස පත්කිරීම පිළිබඳව පුරවැසියන්ගේ බලාපොරොත්තු විරහිතවී ඇත.

කෙසේ වෙතත් ලංකාවේ මන්ත්‍රීවරු අතරින් මෙම ගුණාත්මක පරිහානියට වැඩි ප්‍රමාණයක් ලක්වී තිබෙන්නේ සාමාන්‍ය සහ නිර්ප්‍රභූ සමාජ ස්තරවලින් දේශපාලනයට පැමිණි අයයි. නමුත් දූෂණය, බලය අයථා ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම, ආයතනික වශයෙන් පාර්ලිමෙන්තුවේ උසස් සම්ප්‍රදායික අංගයන් හානිවීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රභූ දේශපාලන පන්තියේ දේශපාලකයන්ගෙන් වෙනස් වන්නේ නැත. ලංකාවේ දේශපාලන පක්ෂවල සැබෑ පාක්ෂික අපේක්ෂා ඉටුවේද? පක්ෂවල නියෝජිතයන්වී සිටින්නේ ඒවාට ආධාර කරන ව්‍යාපාරික ප්‍රජාවද? ඒවායේ අරමුණු නායකයන්ට අයත් වන ධනපති, ඉඩම් හිමි සහ ප්‍රභූ පන්තියේ අවශ්‍යතාද? යන්න පුරවැසියන් විසින් සොයාබැලිය යුතුය. එහිදී නිරීක්ෂණය කළ හැකි කරුණක් වන්නේ දේශපාලන පක්ෂ පුරවැසියන්ගෙන් ඈත්වීමයි.

දේශපාලන පක්ෂ පුරවැසියන් සමඟ සම්බන්ධතා පැවැත්විය යුතු වන්නේ මහජන සුබ සාධනය සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රජාතාන්ත්‍රික දායකත්වයක් ලබාදීමට වියයුතුය. නමුත් අද වනවිට සිදුවී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ගජමිතුරු කල්ලිවාදී සහ සේවාදායක -සේවා යෝජක සම්බන්ධයකි. මෙම සිදුවීම් මත අද වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දේශපාලන දූෂණයේ ප්‍රමුඛ අංගයක් වී ඇත.

එමෙන්ම දේශපාලන පක්ෂවල “නායක ආධිපත්‍ය” ගැන විමසා බැලීමද වැදගත් වේ. පක්ෂ නායකත්ව ආධිපත්‍ය පිළිබඳ න්‍යායාත්මක කරුණු දේශපාලන විද්‍යාවේ විග්‍රහකර ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා මෙන්ම එහි ක්‍රියාකාරීත්වය සඳහා ද දේශපාලන පක්ෂ අවශ්‍යම දෙයක් වුවද, දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට ක්‍රියාත්මක වන්නේද? මෙය දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැනනැඟී ඇති වැදගත්ම ප්‍රශ්නය වේ. මේ සම්බන්ධයෙන් දියහැකි පිළිතුර වන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේම නැති තරම් බවය. හේතුව කුමක්ද? හේතුව දේශපාලන පක්ෂ තුළ ක්‍රියාත්මක වන පක්ෂ නායකත්වයේ ආධිපතීත්ව බලයයි. මෙය හඳුන්වන්නේ දේශපාලන පක්ෂ නායකත්වයේ “කථිපයාධිකාරී බලය පිළිබඳ අයෝමය නීතිය” ලෙසයි. මෙම න්‍යාය ඉදිරිපත් කළේ 1911 වර්ෂයේ දී රොබට් මිචෙල් නමැති ඉතාලි ජාතික දේශපාලන විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත්කළ ”Political parties˜ (දේශපාලන පක්ෂ) යන කෘතිය තුළිනි.

එයින් ප්‍රකාශවන අදහස නම් බහුතරයේ කැමැත්ත මත තේරී පත් වූ සුළුතර නායකත්වය විසින් එසේ තේරී පත් වූවාට පසුව නායකයන් වීම හේතුවෙන් අයත් කර ගන්නා “ආධිපතීත්ව බලය” බහුතර සාමාන්‍ය සාමාජිකයන්ගේ හිසමත පතිත කරමින්, ඔවුන් වහලුන්ගේ තත්ත්වයට පත් කරමින්, ආඥාදායක පාලනයකට යටත් කොට පාලනය කරන බවය.

ඒ අනුව නායකයා කොතරම් ආඥාදායක වූවද, කොතරම් අත්තනෝමතික වූවද ඔහුට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වනවා පමණක් නොව සමාව දිය නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්ද වේ. එම වරදට ඇති එකම දඬුවම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමයි. එසේ නොමැතිව සාමාන්‍ය සාමාජිකයන් තමන්ට විරුද්ධ වන්නේ ඇයිද යන්න සොයා බලා තමන් නිවැරදි වීමට නායකයා උත්සාහ ගැනීම නොවේ. මෙය ඕනෑම දේශපාලන පක්ෂයක නායකත්වය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක්ෂණයක් වේ. දේශපාලන පක්ෂ නායකත්වය හා සම්බන්ධ “අයෝමය නීතිය” මගින් ප්‍රකාශ වන්නේ එයයි.

මේ අනුව සලකා බලනවිට ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෙක් ලෙස සලකන දේශපාලන පක්ෂය නම්වූ අංගය ප්‍රජාතන්ත්‍රවාදයේම ප්‍රතිවිරෝදයක්ද? යන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් පැනනැඟේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය

ශානිකා ප්‍රසාදිනී
දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment