ශ්‍රී ලංකාව තරගාවලි පරාජයෙන් බේරීමේ සටන අද අරඹයි

196

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය මෙන්ම මෙම වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණය දී අද (24 වැනිදා) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.

පාකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය ලෙස මෙම තරගය පැවැත්වෙන අතර පළමු තරගය ජයග්‍රහණය කළ පාකිස්තානය මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණේ පසුවේ.

පසුගිය වසරේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග දෙකකින් යුතු තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර එම තරගාවලියේ ද පළමු තරගය පාකිස්තානය ජයග්‍රහණය කළේය.

මේ තරගාවලිය පරාජය නොවී සිටීමට නම් ශ්‍රී ලංකාව අද ඇරඹෙන තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු වේ.

තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය 2023-2025 ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මුහුණ දෙන පළමු තරගාවලියයි.

අද ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වෙනස්කම් දෙකක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කිරීමට අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඊයේ (23 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එම වෙනස්කම් කවරේද යන්න ප්‍රධාන පුහුණුකරුවා නිශ්චිත වශයෙන් ප්‍රකාශ නොකළද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බවයි.

පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැති අතර, ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එහිදී සඳහන් කළේය.

“පළමු තරගයේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතුණා. රැකගත යුතු උඩපන්දු කිහිපයක් අපේ අතින් ගිලිහී ගියා. ඒවා තරගයේ පරාජයට බලපෑවා. ඒ අඩුපාඩු අපි හදාගන්න ඕන. ඒ වගේම පළමු ඉනිමේදී අපි තව ලකුණු රැස් කර ගත යුතුව තිබුණා”

advertistmentadvertistment
advertistmentadvertistment