ශ්‍රී ලංකාව තීරණාත්මක තරගාවලියකට අද මුලපුරයි

181

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අද (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ට ආරම්භ වනු ඇත.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විටත් රටවල් 7 ක් සුදුසුකම් ලබා සිටියි. ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ලබන්නේ කණ්ඩායම් 8 ක් පමණක් බැවින් අවසන් කණ්ඩායම අතරට තේරී පත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පවතින්නේ ප්‍රසාද ලකුණක පරතයක් වන අතර දකුණ අප්‍රිකානු පිල ප්‍රසාද ලකුණු 78 ක් ලබා 9 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77 ක් ලබා 10 වැනි ස්ථානයේත් රැඳී සිටී. ශ්‍රී ලංකාවට තරග 3 ක් ඉතිරිව ඇතත් දකුණු අප්‍රිකානු පිලට තවත් තරග 5 කට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීම ශ්‍රී ලංකා පිල මුහුණ දෙන උග්‍රම ගැටලුව බවට පත්ව තිබේ.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග ජය ගත්තද ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබාගත හැකි වන්නේ ප්‍රසාද ලකුණු 107 කි. එහෙත් දකුණු අප්‍රිකානු පිලට නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 2 ට අමතරව තවත් තරග 3 කට සහභාගිවීමේ අවස්ථාව උදාවී තිබේ. එහෙයින් නෙදර්ලන්තයට එරෙහි තරගයට අමතරව තවත් එක් තරගයක් ජය ගතහොත් 8 වැනි කණ්ඩායම ලෙසින් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව උදාවනු ඇත. මේ කරුණු දිහා පැහැදිළිව බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම ලබා ගැනීමට ඇත්තේ ඉතාම අල්ප අවස්ථාවකි.

“පීඩනය සෑම තරගයකටම තියෙනවා. මං හිතන්නේ අපි හරි දේවල් කරන්න ඕන. විශේෂයෙන්ම මම හැම වෙලේම කතා කරන්නේ හරි දේ කරන එක ගැන. ඉතිං මේ තරගාවලිය ජය ගන්න නම් කිසිම තරගයක් ලේසියට ගන්න බෑ. මුල ඉඳලම හරියට ක්‍රීඩා කරලා හරි විදියකට ගියොත් අපිට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්”.

“ඇත්තටම කල් තියා දිනනවා කියන්න අමාරුයි. ඒක දිනයේ හැසිරීම අනුව වෙන දෙයක්. නවසීලන්තය කියන්නේ හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. අපි කිසිම දෙයක් සුළුවට ගන්නේ නෑ. අපි මේ තරගාවලිය ජය ගන්න අපේ උපරිමය යොදවන්න ඕනෑ” යැයි හෙටින් ආරම්භ වන එක්දින තරගාවලිය පිළිබඳව මාධ්‍යයෙන් සිදුකරන ලද විමසීමකදී ශ්‍රී ලංකා සුදු පන්දු නායකයා සඳහන් කර සිටියේය.

පාලනය කළ නොහැකි දේවල් ගැන සිතනවාට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වන්නේ ලැබෙන තරගය හොඳින් ක්‍රීඩා කොට අවදානම් තත්ත්වයන් හැකිතාක් අවම කර ගැනීම වේ. එබැවින් අද ආරම්භ වන පළමු තරගයට හොඳින් තරග වැදීම ශ්‍රී ලංකා කණ්ඩායම වග බලා ගත යුතු වේ. මෙම තරගය පීඩනයකින් තොරව ජය ගැනීමට හැකියාවක් ලැබුණහොත් ඉතිරි තරග සඳහා වඩාත් යහපත් මානසිකත්වයකින් යුක්තව තරග වැදීමේ අවස්ථාව දසුන් ඇතුළු පිරිසට උදාවනු ඇත. ඒ පිළිබඳව දසුන්ට ඇත්තේ මෙවැනි අදහසකි.

“ඇත්තටම පළවැනි තරගය තමයි ඉතාමත් වැදගත්. විශේෂයෙන් කියන්න ඕන මේක අපි තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන්න ඕන තමයි. නමුත් මම හිතන්නේ මේක අද ඉඳන් පටන්ගත්ත තරගාවලියක් නොවෙයි. අවුරුදු දෙකහමාරක පමණ කාලයේ ඉඳන් පටන් ගත්ත තරගාවලියක්. මම හිතන්නේ අපිට ගොඩක් තරග තිබ්බා ජයග්‍රහණය කරන්න තිබ්බ තරග. ඒ වගේම ගොඩක් තරග හොඳට සෙල්ලම් කළා. නමුත් පැරදුණා. ඉතිං අවසානයේ මේ තරග 3 ට අපි ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ සියලුම ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතා දක්වන්න හොඳ සූදනමකින් සිටිනවා” යැයි දසුන් සඳහන් කර සිටියි.

අවසන් කාල සීමාවේ කණ්ඩායමට වැඩි දායකත්වයක් දැක්වීමට සමත් ක්‍රීඩකයන් අතුරින් කණ්ඩායමට අහිමිව ඇත්තේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර පමනි.

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර එය කණ්ඩායමට ධනාත්මක චින්තයක් එක් කරවන්නක් වී තිබෙන බව ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියි. “ඇත්තටම කණ්ඩායම තුළ හොඳ සංයුතියක් තියෙනවා. විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස්. එයා කණ්ඩායමට ඇවිල්ලා තියෙන එක කණ්ඩායමට ධනාත්මක ආකල්පයක් එක් කරවන්නක්. ඒ වගේම අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් සිටිනවා. මොකද පසුගිය අවුරුදු දෙක පුරාවටම ක්‍රීඩා කරපු කණ්ඩායමේ සාමාජිකයන් සමග තමයි මේ තරගාවලියට ක්‍රීඩා කරන්න ඇවිල්ලා තියෙන්නේ. එතැනින් අපිට නැතිවෙලා ඉන්නේ දුෂ්මන්ත චමීර විතරයි. මම හිතන්නේ හොඳ තරගාවලියකට ලෑස්ති වෙලා ඉන්නවා අපේ කණ්ඩායම” යැයි කණ්ඩායමේ ශක්තිය පිළිබඳව දසුන් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව නවසීලන්තයට ගොස් තරග කොට ඉතිහාසයේදී අවසන් වතාවට එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2001 වසරේ පැවැති තරගාවලිය වේ. එම තරගාවලිය 4-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. නුවනිඳු ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. චරිත් අසලංක, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. දසුන් ශානක (නායක), 8. වනිඳු හසරංග, 9. ළහිරු කුමාර, 10. කසුන් රාජිත, 11. මහීෂ් තීක්ෂණ හෝ මතීෂ පතිරණ.

නවසීලන්තය – 1. ෆින් ඇලන්, 2. චැඩ් බෝව්ස්, 3. විල් යංග්, 4. ඩැරල් මිචෙල්, 5. ටොම් ලේතම්, 6. ග්ලෙන් පිලිප්ස්, 7. රාෂින් රවින්ද්‍ර, 8. බ්ලෙයාර් තික්නර්, 9. හෙන්රි ශිප්ලි, 10. මැට් හෙන්රි, 11. ඉෂ් සෝධි.

advertistmentadvertistment
advertistmentadvertistment