ශ්‍රී ලංකාව මූල්‍ය විශ්වාසය තහවුරු කරගත් රටක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

49

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදු කළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකඟත්වයත් සමග ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ලබාදීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම සමග ඔවුන් සමග ඇති කරගත් එකඟතා රැකගැනීම රජයේ වගකීම බවත්, දිළිඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා අතර පවතින බවත් ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට අධික මුදලක් ලැබීමට නියමිතය. එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වෙයි. එම මුදල් මගින් අයවැය හිඟය පියවා ගැනීමට හැකිවීම ද විශේෂත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment