ශ්‍රී ලංකා ක්‍රිකට් අනිද්දා ගොඩඑයිද

569

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වා ගෙන යනවාද යන්න පිළිබඳව තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් අනිද්දා (21 වැනිදා ) ගනු ලැබීමට නියමිතය.

එම ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අනිද්දා පැවැත්වෙන අදාළ හමුවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර අදාළ තීරණය ගැනීමට නියමිත අතර තහනම ඉවත් කරන්නේ නම් කුමන කොන්දේසි මත එය සිදු කරනවාද යන්න ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයකු ලෙස සහභාගි වීමට එහි සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ඇතත් ක්‍රියාකාරී මට්ටමෙන් ඊට සහභාගි වීමේ හැකියාව අදාළ තහනම හේතුවෙන් ඔහුට අහිමි වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පසුගිය 10 වැනිදා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට්, අයිසීසී සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවට තීරණය කරමින් ඔවුහු එම තීරණය ගත්හ.

එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට බාහිර බලපෑම් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපාන කාරණා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සාමාජිකයන් 108 කින් යුතු වන අතර පූර්ණකාලීන (ටෙස්ට් වරම් ලැබූ) සාමාජික රටවල් ගණන ඉන් 12කි. එහෙත් පසුගිය 10 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමෙන් අනතුරුව එම පූර්ණකාලීන සාමාජික සංඛ්‍යාව 11 දක්වා පහළ බැස ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment