ශ්‍රී ලාංකිකයන් දිනකට කෝටි 52ක දුම්බොනවා

164

සිගරට් ෆිල්ටරයේ පරිසරයට හානිකරන රසායනික ද්‍රව්‍ය 7000ක්
බහුජාතික සමාගම්වලට යටනොවී සෞඛ්‍ය සහ පාරිසරික හානි අවම කිරීමට රජය මැදිහත්විය යුතුයි
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

බහුජාතික දුම්කොළ සමාගම්වල බලපෑම්වලට යට නොවී දුම්වැටිවලින් සිදුවන සෞඛ්‍ය සහ පාරිසරික හානි අවම කිරීමට රජය වහා මැදිහත්ව ක්‍රියා කළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි. දුම්වැටි භාවිතය සඳහා දිනකට මෙරට පුද්ගලයන් රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වැය කරන බවත්, දුම්පානය හේතුවෙන් එක් දිනකට මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ලොව සිදුවන මරණ අතුරින් බෝනොවෙන රෝගවලින් සිදුවන මරණ ප්‍රමුඛ වන අතර ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසා ඇති වන බවත්, මෙරට ද බෝ නොවන රෝගඇති කරන ප්‍රධානතම සාධක හතර අතුරින් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙරට අලෙවි කරන දුම්වැටිවලින් 93.6ක්ම මිලදී ගනු ලබන්නේ දුම්වැටි එක දෙක වශයෙන් බවත්, මෙම තත්ත්වය දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන අතර ලෝකයේ රටවල් 107ක් ඒකල වශයෙන් (එක දෙක බැගින්) සිදුකරන දුම්වැටි අලෙවිය තහනම් කර ඇතැයි ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මෙරට අඩුවෙමින් පවතින දුම්වැටි භාවිතය තවදුරටත් අඩු කිරීම සඳහා දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් රජයට යෝජනාකර ඇතත්, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම කනගාටුවට කරුණක් වී ඇතැයිද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. සිගරට් ෆිල්ටර් පරිසරයට රසායනික ද්‍රව්‍ය 7000කට වැඩි ප්‍රමාණයක් මුදාහරින අතර ගොඩබිම සහ සාගර ඇතුළු සියලු පරිසර පද්ධතිවලට මින් ඉතා දැඩි පාරිසරික බලපෑමක් ඇති කරන බවත් ශ්‍රී ලංකාවේ දිනකට සිගරට් ෆිල්ටර මිලියන 6.3ක්, වසරකට සිගරට් ෆිල්ටර බිලියන 2300ක් පරිසරයට මුදා හැරෙන බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment