ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 55ක් අන්ත දිළින්දෝ වෙලා

129

ඇති වූ ආර්ථික අර්බුදයත් සමග බදු බර ජනතාව මත පතිත කිරීම නිසා දැඩි දිළිඳුභාවයට පත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස් පන් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වී තිබේ. 2019 වන විට දරිද්‍රතා රේඛාවට යටින් සිටි දිළිඳුම පිරිස මුළු ජනගහනයෙන් ලක්‍ෂ විසිපහක් ලෙස සටහන් වී තිබුණත් මේ වනවිට දිළිඳුම ජන කොටසට අලුතින්ම ලක්‍ෂ තිහක් එක්වී ඇත.

මෙරට මුළු ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයක් පමණ වේ. එම ජනගහනයෙන් 2019 වනවිට සියයට 11.9ක් දිළිඳුම පිරිස ලෙස සටහන් වී තිබුණත් මේ වනවිට එම ප්‍රතිශතය සියයට විසිපහක මට්ටමට පත්ව ඇත.

ජනසවිය, සමෘද්ධිය හා අස්වැසුම යන දිළිඳු සහන ලබාදිය යුතු පිරිස ඒ අනුව සියයට 11.9 සිට සියයට විසිපහක මට්ටමට ඉහළ නැග තිබේ.

මෙම වසරේ (2024) ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාවට නැංවූ වැට් බදු ප්‍රතිශතය සියයට දහඅට දක්වා වැඩි කිරීමට පෙරාතුව ලෝක බැංකුව පුරෝකථනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 27.9ක් 2024 වසරේදී දිළින්දන් බවට පත්වනු ඇති බවයි. මෙතෙක් කලක් වැට් බදු පනවා නොතිබූ ඉන්ධන, ගෑස් ආදී භාණ්ඩ හැත්තෑනවයකට අලුතින්ම සියයට 18ක වැට් බදු පැනවීම නිසා මෙරට අන්ත දිළිඳු ජනතාවගේ ප්‍රමාණය තව තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටිති.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා මත මෙම ගණන් හිලව් ප්‍රකාශ වී තිබුණත් රටේ සැබෑ දිළිඳු ජනතාවගේ ප්‍රමාණය තවත් දරුණු විය හැකි බව ද ඔව්හු කියා සිටිති.

කොරෝනා වසංගතය හා 2019 දී ඇති වූ ආර්ථික අර්බුදය නිසා වසර තුනක කෙටි කාලයක් තුළ මෙරට දුප්පතුන්ගේ ප්‍රතිශතය දෙගුණයක් දක්වා වැඩි වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment