‘ස්නේහයේ කඳු හිස’ මනරම් පද්‍ය ලාවණ්‍යයක්

246

යම් කලක් සමාජ මාධ්‍යය තුළ හා පුවත්පත් කවි පිටු මත සිය කවිකම් උරගා බැලූ ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය, සිය මංගල නිර්මාණ එකතුව “ස්නේහයේ කඳු හිස කරා” නමින් පළ කර ඇත. එය කියවූ මට, ඇති වූ ප්‍රථම හැඟුම නම්, ඈ පමා වූවා වැඩි බවත් ඒ පමාව අපේ කවියට මඳ හෝ පාඩුවක් කරන්නට ඇති බවත්ය.

ඉන්ද්‍රා “ස්නේහයේ කඳු හිස කරා” සමග වෙසෙස්ම ලක්ෂ්‍යයක ස්ථානගත වන්නේ, නූතන කවියේ 99% ක්ම නිදහස් ආරේ නිර්මාණ වෙත්දී ඇය 100% ක්ම සඳැස් ආරේ (එළිසම රකින) කිවිඳියක වීමෙනි. හුදෙක් එළිසමය රැකීමෙන් ඇය මුදුන් වෙනවා යැයි වරදවා නොගත යුතුය. නූතන නිර්මාණකරුවන් බොහොමයකට නොමැති අර්ථ සම්පන්නව එළිසම රැක්මේ නෛපුණ්‍යය ඇය සතුවීම, සිව්පද ශෛලිය එය අන්ධව බදාගෙන සිටින ගතානුගතික කවි-කිවිඳියන් අත මස්තබාල්දු වුවද, පරිකල්පනයෙන් පෝෂිත නිර්මාණකරුවකුට ඕනෑම නවීන අනුභූතියක් වුව සාර්ථකව කවි කරන්නට එය සරසක් නොවන බව ඇය සනාථ කර තිබීම, එනයින් සඳැස් – නිදහස් බේදය සිංහල කවියට හා කෙනකුගේ කවිකමට අදාළ නොවන බව ඇය ප්‍රත්‍යක්ෂව තහවුරු කර තිබීම යන සහේතු මතය, ඉන්ද්‍රා කිවිඳිය අද්‍යතන කවි – කිවිඳියන් අතරේ වෙනස්, වැදගත් ස්ථානයක් අත් පත් කරගනුයේ.

ඉන්ද්‍රාගේ කවිකමේ අනෙක් මහඟු ලකුණ නම් නිරායාස, උචිත, අසීමිත වදන් උල්පතය. ඇගේ කවි බසේ ඇත්තේ නැවුම්, විස්මිත රහකි, සෞන්දර්යයකි. කවියන් ලබන පාරිතෝෂිකයක් බඳු කාව්‍යාක්ති ඇගේ කෘතිය පුරා උතුරා යයි. එක් අතකින්, එළිසම රකින්නකුට සිය වදන් ගොනුවේ පෘථූලත්වය අත්‍යවශ්‍ය බැවින් එළිසම රැක්මේදී කිවිඳිය දක්වන සූරත්වයට ඇගේ වදන් උල්පත මහා සවියක් වන්නේය. ඇගේ රහ ඇති කවිබසට නිදසුන් දෙකක් පමණක් දෙමි.

“දෙපැයක් හිටියොතින් මිදුලේ ගල් පඩියේ
සුළඟක් ඇවිත් විමසයි “ඇයි මේ එළියේ?”
විහඟෙක් පවා නෑ කිසි දින මඟ හැරියේ
ගීයක් ගෙනැත් කන ළඟමයි අත ඇරියේ”

(සහජීවනය)

“වැස්සක් අරන් යනවා හදිසියක්’ කියා
කළු වැහි වළාවක් දුර අඩි තියා ගියා
පිපුරුණු දෙතොල් මත පැන් ඉහ ඉහා ගියා
මේ සෙනෙහසට තාමත් නෑ නමක් තියා”

(“සිසිලස අවැසි අය ඇය අමතනු මැනව”)

ඉන්ද්‍රාගේ නිර්මාණ සමුච්චිය තුළ දී ඈ හුදෙක් රසය, සෞන්දර්යය තුළම ගිලෙනවාද, කවියකුගේ වගකීම සේ සැලකෙන මානව දිවිය, සමාජය හා ලෝකය විනිවිදීම සහ සහකම්පනය දැරීම යන සමත්කම් පාන්නේද යන ප්‍රශ්නය විචාරයේදී පැන නඟී. ඇය සම්බන්ධයෙන් එයට “ඔව්” යන පිළිතුර දිය හැකි යැයි කියමි. සිය ජීවිත පරිඥානයත් සමග නිර්මාණකරණයට අවැසි දෘෂ්ටිය සකස් කර ගන්නා ඇය ප්‍රේමය, දෙමාපිය – දාරක බන්ධනය, සමාජ දරිද්‍රතාවයේ අනිටු පල, ව්‍යාභිචාරය, දුෂ්කර පෙදෙස්වල අධ්‍යාපනය, රණවිරු සංකල්පය, වල් අලින් ගම්වැදීම, ඉන්දීය සම්භවය සහිත වතු කම්කරුවන්, ගුරු භූමිකාව ආදි වස්තු විෂයයන් මත නිමැවෙන අගනා පද්‍ය පන්තින් රැසක් අපට පිරිනමන්නීය. නිර්මාණ විවරණයන්ට නොගොස්, කීපයක උද්දීප්ත කොටසක් කීපයක් ඔබගේ අවධානයට දක්වමි. කිවිඳියගේ පරිකල්පන පරිමාව, කාව්‍යොක්ති නිමැවුමෙහි බුහුටිබව, අනන්‍ය බසක් ඉපදවීමට ඈ දක්වන සුරුව මගේ හුවා දැක්වීම් නැතිවත් රසික ඔබටම මේ නිදසුන් වෙතින් මිනිය හැකි යැයි සිතමි.

අරන් දුෂ්කර සේවයේ මුල් පඩිය
ගිහින් දුන් දා තාත්තට අලුත් කණ්ණාඩිය
ඇහෙන් ගැලු කඳුළකින්, මා දිහා බැලු විදිය
මතක් වෙන කෙට රිදන්නෙම පපුවෙ මැද හරිය

(තාත්තගේ කණ්ණාඩිය)

පුරුද්දන්නට නොහැකි හිඩැස් ඇති මුත් ලොවේ
උරිස්සක් සොයාගැනුමම වැරැද්දක් නොවේ
වැරැද්දක් වෙන්නෙ පෙම් නොකර හිඳුමයි දුවේ
පුරුද්දට සළු ඉරන බමරු හට නම් නොවේ

(ගොදුරු පිණිස නම් මල් නොපිපුණද කම් නැත.)

මේ හැර තවත් නිර්මාණ දෙකක් ගැන සඳහන් කළ යුතු වන්නේ වෙසෙස් හේතු දෙකක් මතය. කන්ථක අසු අමතමින් “මේ පිදුම කන්ථකට” නමින් ලියැවී ඇති සංවේදී පබැඳුම අනුභූති තෝරාගැනීම අතින් ඉතා විරල අවස්ථාවක් නිසාය. බිලිඳුන් දරුකමට විදේශිකයන්ට පැවරීම පදනම් කර ගැනුණු “අත් වැරදුමක පසුවදන” රචනයට සිත යන්නේ එබඳු දරුවකු සැබෑ මව සොයාගෙන පැමිණි කල මව සතුටින් දරුවාට මුහුණ දීම සාමාන්‍ය තත්ත්වය නමුත්, මේ කවියේ මව යම් හේතුවක් මත ශෝකයෙන් නමුත් සැඟවීම නිසාය. කිවිඳිය, රසිකයන් නොපැතූ නව සංවේදී තලයකට තල්ලු කර නිර්මාණය හමාර කරන්නේ මහාර්ඝ පද සතරකිනි.

වියපත් ගසට මුල් දෙදරන හඬ ඇසිණ
සිය අත්වලින් ගෙල සිඳ ගන්නට සිතිණ
ලියතත් කවුරු, ඉරණම එලෙසින් තිබිණ
සියපත් තියේ පුදසුනකට ගොඩ නොවන

ඉහත දිග හැරුණු නිදසුන් හා ඒ තලයේම තවත් නිර්මාණ කීපයක්ද හැර, යම් ආකාරයක වෙනස් ස්වරූපයක් දරන තවත් පැදි පෙළ ගණනාවක් කෘතියේ එයි. එම පද්‍යයන්හිදී ඉන්ද්‍රා කිවිඳිය අවිඥානිකව හෝ සවිඥානිකව යථා ලොවින් බැහැර වී, සෞන්දර්ය පක්‍ෂයට නැඹුරු වී, කොළඹ කවියේ වූ දුර්වල ලක්‍ෂණවලට ඇදී යන අයුරක් පෙනේ. රසාලිප්ත බසකින් පබැඳුණු ඒ කව් නොවටිනා, නිසරු ගණයට නොයතත් තේමාත්මක ඒකාග්‍රතාව නොපැවතීම හෙවත් අරමුණ විසිර යෑම, සංක්ෂිප්ත බව ගිලිහීම, මනඃකල්පන හා උපදේශනාත්මක ලක්ෂණ දැරීම, වදන් සංදර්ශන නොඉක්මවීම හා කලාතුරකින් තැනක එළිවැටට යටවීමෙන් දෝ අරුත් නොගෙනෙන හෝ දුරවබෝධ හෝ යෙදුම් පවා ඇතුළුවීම ආදිය නිසා අගයෙන් හීන වී ඇත. ස්නේහයේ කඳු හිස කරා, සසර මඟ සිතියම, ලොවම කවියක්ය මට, ශෝක දිනයකි මේක, ඇගේ සුසානය අබියස, කුඩලිගම කිවිඳුනේ මාත් හිටියා එතැන, තරු රටා පර වුණත්, පෙම් කළ පොළවට, නමක් නැති පෙමක් නිදසුන් කීපයක් පමණි.

සමාප්ති වශයෙන් කිව යුත්තේ, ඉතා විරල ලාවණ්‍යයක් සහිත සජීවී කවි බසක් සන්තකයේ දරමින් ශිල්ප දක්වන ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය, අප යහ සිතින් ඉහත දැක්වූ සාධකානුසාරයෙන් තමන් යා යුතු මඟ අවබෝධ කරගෙන පීලී පැනීම්, ලිස්සා යෑම්වලට හසු නොවන්නට කල්පනාකාරී වුවහොත්, අපේ කවියට හෙට දවසේ ඇගෙන් හිමි විය හැකි දායකත්වය සුළු පටු නොවනු ඇති බවයි.

● දේ. වි. ගාල්ලගේ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment