රිවර්ස්ටන් හි පරිසර චමත්කාරය විඳින්න මම වඩාත් කැමතියි

262

ස්වභාවික පරිසරයට මගේ ලොකු ඇල්මක් තියෙනවා

ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය මෙරට සිනමාව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ වානිජ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්‍ෂ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් ලෙසයි. ඔහු ක්‍ෂේත්‍රයට පිවිස මේ වනවිට වසර 25 ක් සම්පූර්ණ වී ඇත. එම කාලය තුළ සිනමා නිර්මාණ 25 ක් පමණ ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. මෙවර ඵහ ත්‍්ඩදමරසඑැ ඛදජ්එසදබ වෙන්වන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය මෙරට දුටු සුන්දරම ස්ථානය පිළිබඳ කතාබහක් පිණිසය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙස නිර්මාණාත්මක කටයුතු පිණිස මෙරට ඔබ බෙහෙවින් ප්‍රිය කරන ස්ථානය ලෙස නම් කරන්නේ කුමන ප්‍රදේශයද?

මගේ සිනමා නිර්මාණ කීපයක්ම රිවර්ස්ටන් ප්‍රදේශය පසුබිම්කර ගනිමින් රූගත කිරීම් සිද්ධ කරල තිබෙනව. ඒ අතරින් සිරිපොද වැස්ස, ආසයි මං පියාඹන්න යන සිනමා නිර්මාණ සහ තවත් කීපයක් ඇතුළත් වෙනවා. සිනමා නිර්මාණවේදියකු ලෙසත්, ස්වභාවික පරිසර පද්ධතීන් කෙරෙහි සිත් ඇත්තකු ලෙසත් ඒ ප්‍රදේශයට මගේ ලොකු ඇල්මක් සහ කැමැත්තක් පවතිනවා. විශේෂයෙන්ම රිවර්ස්ටන් සහ ඒ අවට දකින්නට ලැබෙන වෙන් වෙන්ව ඇති උස් කඳු පන්ති, ඒ වගේම කඳු අතර පිහිටි තැනිබිම් ආදියේ පුදුමාකාර ලස්සනක් පවතිනවා. විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන් කරන ප්‍රදේශයක් ලෙස, ගොයම පූදින්න පෙර බණ්ඩි ගොයම් කාලය කියන්නේ ඒ ප්‍රදේශයට සැබෑම ලස්සනක් එක් කරන කාලයක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ කියන ලස්සන එහෙමත් නැත්නම් චමත්කාරය රිසි සේ විඳගන්න නම් වැසි සහිත කාලගුණයෙන් තොර කාලපරිච්ජේදයක් තෝරාගන්න ඕන.

රිවර්ස්ටන් හි පරිසර චමත්කාරය විඳින්න මම වඩාත් කැමතියි

නමුත් නිර්මාණ කටයුත්තක් පිණිස එවැනි ප්‍රදේශ තෝරා ගැනීමේදී මූල්‍යමය වශයෙන් අධික පිරිවැයක් දැරිය යුතුයි නේද?

ඔව්.. ගමනාගමනය වගේ දේවල් ගත්තොත් එකල නම් යම් යම් දුෂ්කරතා තිබුණා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. එවැනි ප්‍රදේශයක යම් නිර්මාණ කටයුත්තක් රූගත කරද්දී අමතර පිරිවැයක් දරන්න වෙනවා. නමුත් නිර්මාණාත්මක පැත්ත ගත්තොත් ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ පරිසරයේ කරන රූගත කිරීම්වල පුදුමාකාර පැහැදිලි බවක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම උදෑසන කාලයේ කරන රූගත කිරීමක් නම් එහි වචනයෙන් විස්තර කළ නොහැකි ජීවමය බවක් පවතිනවා.

චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස රිවර්සටන් ප්‍රදේශය පසුබිම් කර ගනිමින් මෑතකදී ඔබ විසින් යම් නිර්මාණ කටයුත්තක් සිද්ධ කළා ද?

මේ වනවිට රටේ පවතින ආර්ථික, සමාජ වටපිටාව තුළ මෑතකාලීනව රිවර්ස්ටන් ප්‍රදේශය පසුබිම් කර ගනිමින් සිනමා නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. නමුත් මගේ අලුත්ම නිර්මාණ කටයුත්ත වන “රිදී සීනු” සිනමා නිර්මාණයේ රූගත කිරීම් මේ වනවිට අවසන් වෙමින් පවතිනවා. ඒ නිර්මාණ කටයුත්තෙ රූගත කිරීම් සඳහා තෝරාගත් ප්‍රදේශයත් පරිසර සුන්දරත්වයෙන් ඉතාමත් පොහොසත් තැනක් ලෙස නම් කරන්න පුළුවන්. කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් තුනක හතරක දුරක් ගියපසු මුණගැසෙන ඉබ්බාගමුව කියන ප්‍රදේශයේ තමයි ඒ රූගත කිරීම් සිද්ධ කළේ. විශේෂයෙන්ම ඉබ්බාගමුව මධ්‍ය විiාලයේ රූගත කිරීම් රැසක්ම සිදු කළා. ඊට අමතරව ඒ අවට පිහිටි ගැමි පරිසරය පසුබිම් කර ගනිමින් අනිකුත් රූගත කිරීම් සිද්ධ කළා.

ඒ පරිසරය තුළ ඔබ දකින විශේෂතා මොනවාද?

ඒ ප්‍රදේශය කියන්නෙ ඓතිහාසික පසුබිමක් සහිත ප්‍රදේශයක්. ඉතාමත් සුන්දර වැවක් ආශ්‍රිතව තමයි ඒ ගම්මාන පිහිටලා තිබෙන්නේ. ඒ වැව ආශ්‍රිතව රූගත කිරීම් රැසක් සිද්ධ කළා. ගොවිතැන රැකියාව විදිහට කරන ගැමියන් ඒ ප්‍රදේශයේ බහුලයි. ඒ වගේම පිටිසර සිරියාව හොඳින් දැකගන්න පුළුවන් ප්‍රදේශයක් ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සිනමා නිර්මාණයක් රූගත කරද්දී වැදගත්ම දෙයක් තමයි හොඳින් හිරු පායන අවකාශයක් තුළ දර්ශන තලය පැවතීම. ඉබ්බාගමුවේ රූගත කළ රිදී සීනු සිනමා නිර්මාණයේදී ඒ විසල් අවකාශය ඉතා හොඳින් කැමරා ඇසට හසුකරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ළමා චිත්‍රපටයක් වන රිදී සීනු රූපගත කරද්දී සොබාදහම ඒ ආකාරයෙන්ම කැමරාවට ගන්න ඒ හරහා පුළුවන්කම ලැබුණා.

ඒ සිනමා නිර්මාණය පිළිබද වැඩිදුර යමක් පවසන්න පුළුවන්ද?

ඔව්.. රිදී සීනු චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව පවතිනවා. ඒ වගේම එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙපළ ලෙස කටයුත් කරන්නේ දක්‍ෂ දරුවන් දෙදෙනෙක්. ඒ දරුවො දෙන්න ඔරුවක් පදින ගමන් රූගත කළ දර්ශන කීපයකුත් ඊට ඇතුළත්. එය තරමක් සංකීර්ණ රූපගත කිරීමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කුඩා ළමයින් හැරුනකොට මේ චිත්‍රපටය සඳහා ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය, උපේක්‍ෂා ස්වර්ණමාලි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි යන අය රංගනයෙන් දායකත්වය සපයනවා. එහි කැමරා ශිල්පියා ලෙස නිශාන්ත ප්‍රදීප් කුමාර සහ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස ඩොනල්ඩ් ජයන්ත කටයුතු කරනවා.

ඔබ මේ වෙද්දී ක්‍ෂේත්‍රයට පිවිසලා කොපමණ කාලයක් වෙනවද?

වසර 25 ක් පමණ මේ වනවිට සම්පූර්ණ වෙලා තිබෙනවා. එතැන පවතින තවත් විශේෂත්වයක් තමයි මේ වසර 25 ඇතුළත සිනමා නිර්මාණ 25 ක් පමණ අධ්‍යක්‍ෂණය කරන්නත් මට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම වාණිජ සිනමාව පැත්තෙන් ගත්විට එවැනි සමත්කමක් කළ එකම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා මම වෙන්න ඇති ‘රිදී සීනු’ චිත්‍රපටය තිරගතවීමට නියමිතව පවතින්නේ මගේ 26 වැනි සිනමා නිර්මාණය ලෙසයි.

රිදී සීනු හැරුණකොට ඉදිරියේදී තිරගත වීමට නියමිත ඔබගේ වෙනත් නිර්මාණ මොනවාද?

ඉදිරියේදී “ගින්දරී ෂෂ” චිත්‍රපටය එන්න තිබෙනවා. ඒ වගේම ‘ගිනි අවි සහ ගිනි කෙළි ෂෂ’ ‘බහු භාර්යා ෂෂ’ ඔය ආදී වශයෙන් නිර්මාණ ගණනාවක් තිරගත වීමට නියමිතයි. නමුත් රට තුළ පවතින දේශපාලන, ආර්ථික, සමාජයීය පසුබිම තුළ මේ වනවිට රටේ ජනතාව ගේ රසවින්දන පරාසය පවතින්නේ ඉතාමත් පටු තැනක හින්දා ඒ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේදී දෙවරක් සිතන්න වෙනවා. එය මට පමණක් සීමාවූ තත්ත්වයක් නොවෙයි. මේ වෙලාව කියන්නෙ සිනමා කර්මාන්තය ඇතුළු බොහෝ දේ බරපතළ කඩාවැටීමකට ලක්වෙමින් පවතින අවස්ථාවක්.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment