සාගර කඩුල්ල පනීද? කැටගොඩගේ පනත කොට උඩද?

575

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවාදයට අලුත් මෙන්ම වැදගත් තේමාවක් එක් වී තිබේ. ඒ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී (6 දා) පත් කරන ලද මෙරටේ ආර්ථික බංකොලොත් භාවයට තුඩුදුන් හේතු සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කරන ලද විශේෂ කමිටුව එහි සංයුතිය ආදී කරුණු අරභයා උද්ගත වූවකි. මෙරටේ සිදුවී තිබෙන ආර්ථික බංකොලොත් භාවයට පමණක් නොව සමාජ දේශපාලන හා සංස්කෘතික ආදී බොහෝ ක්‍ෂෙත්‍රවල තිබෙන විනාශයට ඉඳුරා වගකිව යුත්තෝ නිදහසින් පසු ගෙවී ගිය හැත්තෑපස් වසරක තරම් කාල වකවානුවක් තුළ රට පාලනය කළ නායකයෝ වෙති. එහෙත් මේ සියලු ක්‍ෂෙත්‍රවල බිඳ වැටීම, සදාචාර පරිහානිය මෙන්ම දරිද්‍රතාව හෙවත් දුගීභාවය වැඩිවීම හා නීතියේ ආධිපත්‍ය බිඳවැටීම සම්බන්ධයෙන් වඩාත් චෝදනාවට ලක්වන්නේ හැත්තෑව දසකයෙන් පසු පාලන කාල වකවානු බව ද කිව යුතුය. මෙරටේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී. ඇස් ට නිදහසේ පියා යන විරුදාවලිය එක් කළත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධ බොහෝ විවේචන ද ඇත. ඔහු ඉංග්‍රීසි පාලකයන්ට නතු වූ වඩාත් බටහිරට නැඹුරු වූ නායකයකු ලෙස පොදු විවේචනයක්ද ඇත. ඔහු ජාතික කෘෂිකර්ම ආර්ථිකයක් කෙරෙහි විශ්වාසය පළ කළ අයෙක් ලෙස ද පිළිගනු ලැබේ. ඔහු විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්‍ෂය තුළද නොයෙක් මත වාදී ගැටුම් විය. (ඒවා වෙනම සාකච්ඡා කළ යුතුය.)

එ. ජා. ප. දොරටුවෙන් පිටතට පැමිණි මෙරටේ සංස්කෘතික සමාජ හා දේශපාලන පරිවර්තනයක් සිදු කළ නායකයා ලෙස 1956 දී බලයට පත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හැඳින්විය යුතුය. ඔහු කිසියම් දේශපාලන හා ආර්ථික දැක්මක් සහිත නායකයකු වුවත් ඔහුගේ පාලන යුගයද සංකීර්ණ වූවකි. එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතය සාධනීය දේවල් සමග ඉදිරියට ගමන් කළ එකක් බවද පෙනේ. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, ජනසතු ව්‍යාපාර හඳුන්වා දීම මෙන්ම අධිරාජ්‍ය විරෝධී ජාතික හා සංස්කෘතික වර්ධනයන් සමාජගත වූයේද බණ්ඩාරනායක පාලන සමයේදීය. ඒ බොහෝ දේවල්වල සාධනීය මෙන්ම නිෂේධනීය ප්‍රතිඵලද වේ. දේශපාලන කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක්වූ බණ්ඩාරනායකට පසු ඔහුගේ පක්‍ෂය වූ ශ්‍රී. ල. නි. පය අවුල් ජාලයකට මැදි වුවත් අවසානයේදී ඔහුගේම බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක එම පක්‍ෂයේ නායකත්වයට පත් වූවාය.

ඩී ඇස්ගේ සිට සිරිමා බණ්ඩාරනායක තෙක් වූ කාලය අතර තුර සර් ජෝන් කොතලාවල මෙන්ම ඩඩ්ලි සේනානායකද මෙරටේ අගමැතිවරු ලෙස ක්‍රියා කළහ. බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු ඩබ්ලිව්. දහනායකටද අගමැතිවීමට අවස්ථාව හිමි විය. මේ දේශපාලන ඉතිහාසය විමර්ශනය මෙබඳු ලිපියක තේමාවෙන් බාහිර වූවකි. කුමක් වුවත් ලංකාව පූර්ණ යටත් විජිත පාලනයෙන් මිදී ස්වදේශීය නායකයන් අතට පත් වුවද ඒ නායකයන්ට රටට වුවමනා සමාජ ආර්ථික හා දේශපාලන පරිවර්තන සිදු කිරීමට නොහැකි වූ බව විචාරකයන්ගේ අදහසකි. එසේ වුවද 1956 බණ්ඩාරනායක යුගයේ අලුත් ඇරඹුමක් දැකගත හැකි වූ බව ද ඔව්හු සඳහන් කරති.

කෙසේ වුවද 1970 දී ඓතිහාසික ජනවරමක් ලබාගත් සමගි පෙරමුණ (ශ්‍රි.ල.නි.ප සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ ඇතුළත් වූවකි.) මෙරටේ සමාජ දේශපාලන නිදහස සුරැකීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සුවිශේෂී පියවරකි. 1972 මෙරට ජනරජයක් බවට පත් වූ අතර බ්‍රිතාන්‍යය පාලනයෙන් ද සම්පූර්ණයෙන් නිදහස් විය. එහෙත් ඊට පෙර පැවති විදේශ ණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මත යැපීම වැනි ආර්ථික පිළිවෙත් බැහැර කිරීමට සමගි පෙරමුණු පාලනයට ද නොහැකි විය. විදේශ විනිමය වංචා හා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම ගැන පියවර ගන්නා බව ප්‍රකාශ වුවත් සමගි පෙරමුණට වුවද සාධනීය ආර්ථික සැලසුම් නොවීය. එසේම නිලධාරිවාදය, දූෂණය, දේශපාලන පළිගැනීම් ආදී ක්‍රියාකාරකම් නිසා සමගි පෙරමුණු පාලනයට විවිධ චෝදනා මෙන්ම විවේචන ද එල්ල විය. සමගි පෙරමුණට කතිරය ගැසූ ජනතාව තුළ වැඩුණු අපේක්‍ෂා භංගත්වය කෙතරම්ද යත් 1977 පැවැති මහ මැතිවරණයෙන් සමගි පෙරමුණේ බලකණු සියල්ලම බිඳ වැටුණි. එ. ජා. ප. නායකයා ලෙස ජේ. ආර්. ජයවර්ධනට අති විශාල මහජන වරමක්ද ලැබුණි.

1977 මහ මැතිවරණයේදී තම ආසන දිනාගත හැකි වූයේ සිරිමාවන්ට හා මෛත්‍රිපාල සේනානායකට පමණි. විපක්‍ෂ නායක ධුරය හිමි වූයේද ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ඒ අමිර්තලිංගම්ටය. ජයවර්ධනට 5/6 ක බලයක් ලැබුණි. 70 පෙරළියේ ප්‍රබලයන්වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මෙන්ම පීටර් කෙනමක් වැනි වමේ සියල්ලෝම පාහේ පරාජයට පත් වූහ. ජයවර්ධනගේ ජයග්‍රහණය නිසා ඇතැම් පාක්ෂිකයන් විසින් ඇති කරන ලද දේශපාලන බලහත්කාරකම්ද රට පුරා පැතිර ගියේය. පසුකාලීනව වැඩුණු ග්‍රාම්‍ය දේශපාලන ක්‍රියාකාරකම්වල සමාරම්භය එය බවට විවේචනයක්ද ඇත. මේ සියල්ල සිදු වූයේ සමගි පෙරමුණු පාලනයේ දුබලතා මෙන්ම ආර්ථික කඩා වැටීම් නිසාය. සිරිමාවන්ගේ පාලන සමය අවසන් වනවිට රට බරපතළ අර්බුද කීපයකටම මැදිවී තිබීමත් විශේෂයෙන් එවක තිබුණු පෝලිම් යුගයත් ජයවර්ධනගේ ජයග්‍රහණය ප්‍රබල කිරීමට හේතු විය.

සාගර කඩුල්ල පනීද? කැටගොඩගේ පනත කොට උඩද?

ජයවර්ධන පොරොන්දු වූ ධර්මිෂ්ඨ සමාජය හා ධාන්‍ය රාත්තල් අටේ සහනය ජනතාව දැඩිව ආකර්ෂණය කළ තේමාවකි. මෙරටේ සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වූ ජයවර්ධන සිය සමාජ ආර්ථික දේශපාලන සැලසුම්වලට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සියල්ලද තම අභිමතය පරිදි ගලපා ගැනීමට තරම් දේශපාලන කෞටිල්‍යයකු වූ ආකාරය රටම දනී. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක්‍රමය ඇතුළු බොහෝ සමාජ දේශපාලන සම්මුතීන්ද උඩු යටිකුරු කළ ඔහු වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමය කෙරෙහි දැඩි විශ්වාසය තැබූ අයෙකි. එහෙත් ජයවර්ධන පාලන සමය තුළ අප දුටුවේ පාරිභෝගික ධනවාදී ආර්ථිකය හිස එසවීම පමණි. ඔහුගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන විවේචනවලට අනුව සාධනීය ප්‍රතිඵල ඉතා අඩු බව පෙනේ. 1978 ව්‍යවස්ථාව එ. ජා. පයේ ප්‍රතිපත්ති සුරකමින් ජයවර්ධනගේ මිම්මට මසන ලද ඇඳුමක් බව විවේචකයෝ කීහ. ඔහුගේ මනාප ක්‍රමය, ජාතික ලැයිස්තු මෙන්ම ජනමත විචාරණ අතිශය විවාදාත්මක සංකල්ප විය.

ජයවර්ධන විධායක පුටුවෙන් බැස යද්දී වුවද ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් රටට නොතිබුණි. ඉන්පසු ජනාධිපති වූ ප්‍රේමදාස වඩාත් උනන්දු වූයේ දුගී බවට විසඳුම් සෙවීමටත්, ග්‍රාමීය ආර්ථික වර්ධනයන් කෙරෙහිය. එහෙත් ඔහුට ජයවර්ධන ලබාදුන්නේ දෙකොන ගිනිගත් විලක්කුවක් වැනි රටක් බව ද ඔහු කීවේ ඒ වනවිට උත්සන්න වූ කොටි ත්‍රස්තවාදය නිසාය. ජනාධිපති ප්‍රේමදාස කොටින්ගේ ගොදුරක් බවට පත්වන විට රට තිබුණේ හැම අතින්ම ව්‍යාකූලත්වයක ගිලෙමින්ය. මේ වනවිට සමස්තයක් ලෙස රටම සමාජ ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන්ද බිඳ වැටෙමින් තිබුණි. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙමින්ද තිබුණි.

චන්ද්‍රිකා කුමාරතුංග බලයට එන්නේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීමේ හා ත්‍රස්තවාදයට විසඳුමක් ලබාදෙන සාමයක බලාපොරොත්තු ද ජනතාවට පොරොන්දු වෙමින්ය. එහෙත් ඒ කිසිවකට උචිත සමාජ දේශපාලන වාතාවරණයක් හෝ ඇතිකරලීමට ඇය අසමත් වූවාය. ඇය කොටි ප්‍රහාරයකට ලක්ව යාන්තම් දිවි ගලවා ගත්ත ද ඉන් ඇගේ ඇසක්ද අහිමි විය.

මහින්ද රාජපක්‍ෂගෙන් රටම අපේක්‍ෂා කළේ බියෙන් තොර සමාජ ආරක්‍ෂාවකි. සැබැවින්ම ඔහුට ප්‍රබල දේශපාලන පෞරුෂයක් සහිත ජාතික නායකත්වයක් තිබුණි. එක වැකියකින් කිවහොත් මහින්ද රට කොටි ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයා විය. ඔහුගේ දේශපාලන කීර්තියද රඳා පැවතුනේද ඒ දේශප්‍රේමිත්වය මතය. එහෙත් රට එක්සත් කළ මහින්දට ද රටට වුවමනා ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සැලැසුම් නොවීය. මේ වනවිට සමස්ත දේශපාලනය කෙරෙහිම ජනතා විශ්වාසයද බිඳ වැටී තිබුණි. එපමණක් නොව මහින්දගේ පාලනය දූෂිත හා පවුල් කේන්ද්‍රීය එකක් ලෙස ද චෝදනාවලට ලක්ව තිබුණි.

මහින්ද සමග ජනාධිපති තරගයට පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් වූයේද ඒ පසුබිම තුළය. රනිල් මෛත්‍රී සුසංයෝගයෙන් බිහිවූ යහ පාලනයට ද ජනතාව අපේක්‍ෂා කළ ආර්ථික සමාජ දේශපාලන වෙනස ලබාදීමට හෝ දූෂණ වංචා දුරලීමට හෝ සැලසුම් නොවීය. මෛත්‍රී – රනිල් එකම ආණ්ඩුවක දෙපැත්තකට අදින නායකයෝ බවට පත්ව සිටියහ. ආර්ථික ප්‍රතිපත්තිවල ගැටුම් බොහෝවිය. වඩාත් උත්සන්න වූ දූෂණ වංචා නිසා යහපාලනයද ජනතාවට තිත්ත විය. දේශපාලනිකව පමණක් නොව ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද වූ අවිනිශ්චිත භාවය කෙතරම්ද යත් ජනතාව යළිත් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද රාජපක්‍ෂවරුන් වෙතම හැරුණි.

ගෝඨාභය පෙරට දැමූ මහින්ද ප්‍රමුඛ රාජපක්‍ෂ කඳවුර පොදු ජන පෙරමුණ නමින් පක්‍ෂයක්ද ගොඩනගා යළි විධායක හා ව්‍යවස්ථාදායක බලය ලේසියෙන්ම ලබා ගැනීමට ද සමත් විය. ගෝඨාභයට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණි. මහින්දට තුනෙන් දෙකකට ආසන්න ආසන සංඛ්‍යාවක් ලැබුණි. රට යළිත් සැණකෙළියක සිරිගත් අතර ජනතාව දහසක් අපේක්‍ෂා ඇතිව රාජපක්‍ෂ කඳවුරේ අලුත් ජනාධිපති දෙස බලා සිටියහ. එහෙත් ගෝඨාභය කොටි සංවිධානය පරාජය කිරීමේදී දැක්වූ යුද කළමනාකරණයට අමතරව දේශපාලන ආර්ථික දැක්මක් නොමැති නායකයෙක් විනා විචක්ෂණ දේශපාලන පෞරුෂයක් නොවන බව ද හෙළිවෙමින් තිබුණි.

ජනතාව ගෝඨාභයගෙන් අපේක්‍ෂා කළේ දූෂණයෙන්, වංචාවෙන්, අල්ලස් හා දුරාචාරවලින් තොර රටකි. එහෙත් රාජපක්‍ෂ පාලනයේ ජනතා විවේචනයට ලක්වූ හැම දෙයක්ම නිර්බාධිතව ගලා යන අත්තනෝමතික අහංකාර විධායකයක් රටට ලැබී තිබුණි. ආර්ථික ඝාතකයන් හා රාජපක්‍ෂවරුන්ගේ හුරතලුන් බවට පත්ව සිටි අවිධිමත් නිල බල සහිත චෞර වළල්ලක් ගැනද චෝදනා නැගුණි. රාජපක්‍ෂ කඳවුර සමග සිටි කණ්ඩායම් දෙකක් ඔවුන්ගේ සතුරු බලවේග බවට පත්වූහ. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති යන ප්‍රබල ධුරවලට අමතරව තවත් ඇමැතිවරුන් සහිත කැබිනට් මණ්ඩලය ගැන ද විවේචන නැගුණි. ආර්ථික කළමනාකරණයෙන් තොර දූෂිත පාලනයක අමිහිර නොඉවසූ ජනතාව වීදි බසින්ටද වූහ. ගාලුමුවදොර විරෝධතාව ලෙස නැගුණු ඒ බලවේගයට හසු වූ

ගෝඨාභයට ජනාධිපති ධුරය ද හැරයෑමට සිදු වූ අතර මහින්දට අගමැති පදවිය ද අහිමි විය. ආර්ථික වසයෙන් මෙන්ම දේශපාලනිකවද උද්ගතවූ කැළඹීම් සමනය වූයේ රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය.

කෙසේ හෝ මෙහිදී ඉතා සැකෙවින් දක්වන ලද මෙරටේ දේශපාලනයේ මෙතෙක් කතාව තුළින් අපට ලැබෙන සමාජ ආර්ථික හා දේශපාලන චිත්‍රය බෙහෙවින් දුර්වරණය වූද සකල විධ අගතිගාමී දුෂ්ට ලකුණින් පිරී ගියා වූද එකකි. ආසන්න දසක තුනක හතරක පමණ කාලය තුළ එය කුණුවී ඕජස් ගලන කුෂ්ටයක් බවට පත්ව ඇත. අද දේශපාලන නිරයක් බවට පත්ව තිබෙන එහි සියලු ආකාරයේ දුසිරිත් ද දුර්ගුණ ද දුශ්චරිත ද බහුලව දැකගත හැකිය. රට මුහුණදී තිබෙන උග්‍ර දරිද්‍රතාවෙහි මෙන්ම ආර්ථික අසාධාරණයෙහිද සැබෑ හේතු ඒවාය. ඇත්තටම කියනවා නම් බලයට පත් වූ හැම කෙනෙකුටම තමන්ට අනන්‍යවූ න්‍යායපත්‍රයක් විනා රටට අවශ්‍ය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අල්ප මාත්‍ර වූ හැඟීමක් හෝ තිබී නැත. හොරා කන එකා හොරා කෑවේය. නීතිය අතට ගත් එකා ගම් දනව් පාලු කළේය. හැම එකාටම වැදගත් වූයේ තමන්ගේ කොටස හා තමන්ගේ වත් පොහොසත්කම් වැඩි දියුණු කරගෙන ප්‍රභූවරුන් ලෙස වැජඹීමය. කට ඇරියොත් මඩ වැස්සකි. සංවරයක් සදාචාරයක් නැති තරම්ය.

රටේ මූල්‍ය බංකොලොත් බවට හැම කෙනෙක්ම වගකිව යුතු බව විදේශ ඇමැති අලි සබ්‍රිගේ හුණු කිල්ලෝට උපහැරණයෙන්ම තහවුරු වේ. ඒ සම්බන්ධ නිල වගකීම් භාර ගැනීමට ස. ජ. බ හා ජවිපෙ එකඟ නැත. ඔවුන්ගේ විවේචනවලද ඇත්තක් තිබේ. සාගර කාරියවසම්ගේ පක්‍ෂය වන පොහොට්ටුව සම්බන්ධයෙන් විවේචන බොහෝය. චෝදනාද කෙළවරක් නැත. එහෙව් පසුබිමක නිලබල සහිත පොහොට්ටු කණ්ඩායමක් කෙසේ ක්‍රියා කරත්දැයි අනාවැකි කීම ද දුෂ්කරය. අපරාධකරුවකුට ගල් ගසා මැරීමට යෝජනා කළ විට කිතු සමිඳුන් ප්‍රකාශ කළේ පළමු ගල ගැසීමට පිරිසිදු චරිතවත් කෙනෙකුට ඉදිරියට එන ලෙසය. ගල් බිම වැටුණි. ඒ කතාව දූෂණ, අල්ලස්, වංචා, මැරකම් ඇතුළු සියලු අපචාර නඩත්තු කරන දේශපාලනයකටද කදිමට ගැලපේ.

මේ අනුව ආර්ථික බංකොලොත්භාවය විමසා බැලීමේදී එබඳු දූෂිත, වංචා, අල්ලස් නැති පක්‍ෂ තිබේද? දේශපාලන චරිත කොපමණ තිබේද? යන්න ජනතාව තුළ නැගෙන ප්‍රශ්න වේ. අනෙක් අතට ආණ්ඩුව විපක්‍ෂය ආදී භේද කුමක් වුවත් ජනතාවට අප්‍රසන්න චෞරයන්, මැරයන් ඒ හැම පිලකම සිටින බව ද රහසක් නොවේ. ආසන්න අතීතයේ මෙරටේ සිදුවූ මහා පරිමාණ වංචා, බැංකු මගඩි, බදු සහනදීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කෙරෙන චෝදනා කොපමණද? එහෙව් චූදිතයන් සිටින පක්‍ෂවලින් ඉටුවිය හැකි යුක්තිය ගැන සැක කිරීම වරදක් නොවේ. විපක්‍ෂය චෝදනා කරන්නේ මේ කොමිසම පොහොට්ටුවට සුදුහුණු ගෑමට ඇටවූ කෙමනක් බවය. අද රට කරන එජාපය හා පොහොට්ටුව දේශපාලන වේදිකාවලදී කර තිබෙන විවේචනත් දෝෂාරෝපණත් අපේ දේශපාලන සංස්කෘතියේ අධම හා දුෂ්ට ලක්‍ෂණයක් වුවත් ඒ කව්රුත් එක්ව එකට සිටීම රට වෙනුවෙන් නොව තම කඳවුර වෙනුවෙන් බව ද බහුතර ජනතාව කල්පනා කරති.

මෙම කමිටුව රැස්වීමටත් පෙර බරපතළ බෙදීමක් ඇතිවී තිබේ. විශ්වසනීයත්වය ගැටලු සහගතව ඇත. සත්‍ය හා යුක්තිය අපේක්‍ෂා කළ හැක්කේ යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ පමණි. මේ වනවිටත් පොහොට්ටුවේ ප්‍රබලයන් කීප දෙනෙකුට එරෙහිව අධිකරණ කටයුත්තක්ද ඇත. පොහොට්ටුවට ගැති නිලධාරීන්ටද එහිදී චෝදනා එල්ල වී තිබේ. එහෙව් පසුබිමක මෙබඳු කාර්යක් සඳහා බැලු බැල්මටම සදාචාරාත්මක ප්‍රශ්න පැන නැගීම ද සාධාරණය.

අද මේ රටේ සිදුවන බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් ආන්දෝලනාත්මකය.

මහජන අපේක්‍ෂා නොතකා සිය පැවැත්ම සඳහා නීතිය පොලිසිය භාවිත කරන බවට ද චෝදනා තිබේ. පළාත් පාලන ඡන්දය කල් දමා යළිත් ඒ අයම කැඳවා දේශපාලන බලය පවත්වාගෙන ඒමට නීතිය අතට ගන්නා පොහොට්ටුකාරයන්ගෙන් අප බලාපොරොත්තු වන දේශපාලන සංයමය, විනය, සදාචාරය කුමක්ද? එබඳු අධම පනතක් ගෙන ඒමට අනුමැතිය දුන් කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ සරල වටිනාකම් හෝ නොපෙනීම අප තේරුම් ගන්නේ කෙසේද? මෙබඳු පිරිසක් දේශපාලනයෙන් ගෙදර යැවීමට හැර වෙනත් විකල්පයක් තිබේද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment