සිරප් විෂ වීමෙන් මියගිය ගැම්බියානු ළමයින් සංඛ්‍යාව 69ක් දක්වා ඉහළට

194

ඉන්දීය බෙහෙත් සමාගමක් විසින් නිපදවා බෙදා හැර තිබූ කැස්ස සඳහා ලබාදෙන ළමා සිරප් වර්ග හතරක් විෂ වීමෙන් මිය ගිය ගැම්බියානු ළමුන්ගේ සංඛ්‍යාව ඊයේ (11දා ) වනවිට 69ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අදාළ සිරප් වර්ග පානය කිරීමෙන් පසු රෝගාතුර වී රෝහල්ගත කෙරුණු තවත් ළමුන් 81 දෙනකු ඊයේ වනවිට ජීවිතයන් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මේ අතර සිරප් වර්ග හතරක් විෂ වීමෙන් මියගිය ගැම්බියානු ළමුන්ගේ මරණවලට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ගැම්බියානු ජනතාවගෙන් එරට රජයට එල්ල වන බලපෑම් මේ වනවිට වැඩි වී තිබේ. ඉතාමත් අඩු සෞඛ්‍ය පහසුකම් සහිත රටක් සේ සැලකෙන බටහිර අප්‍රිකානු රටක් වන ගැම්බියාවේ මෙවැනි ආකාරයේ සිදුවීම් සිදු නො විය යුතු බව මතභේදයට තුඩු දී තිබෙන සිරප් වර්ගය පානය කිරීමෙන් පසු වකුගඩු ආසාදනයට ගොදුරු වී මිය ගිය දරුවන්ගේ දෙමවුපියන් විදෙස් මාධ්‍යට පවසා තිබේ. විෂ රසායනිකයන් සහිත සිරප් වර්ග නිපදවා ගැම්බියාවට අපනයනය කර ඇති මේඩන් ෆාමසියුටිකල්ස් සමාගමේ බෙහෙත් නිපදවීමේ බලපත්‍රය අත්හිටුවා එම සමාගමට එරෙහිව එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඉන්දියාව මේ වනවිට නිල වශයෙන් ගැම්බියාවට දැනුම් දී තිබේ. ගැම්බියාව ද මෙම සිරප් වර්ග එරට අලෙවි කිරීම තහනම් කර සිරප් වර්ග පානය නිසා සිදුව ඇති මරණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා තිබේ.

මේ අතර විෂ රසායනිකයන් දෙකක් සහිත ළමා සිරප් වර්ග හතරක් නිපදවීමේ චෝදනාව එල්ල වී ඇති අදාළ බෙහෙත් සමාගම, මෙසේ බාල බෙහෙත් නිපදවීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මෙයට පෙර කේරළ, ගුජරාට්, ජම්මු හා කාශ්මීර් හා බිහාර් ඇතුළු ඉන්දීය ප්‍රාන්ත හතක තත්ත්වයෙන් බාල බෙහෙත් නිපදවා බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා එම සමාගමට එල්ල වී තිබේ. තත්ත්වයෙන් බාල බෙහෙත් නිපදවීමේ චෝදනාව මත අදාළ බෙහෙත් සමාගම ඇතුළු තවත් ඉන්දීය බෙහෙත් සමාගම් 39 ක් අසාදු ලේඛනගත කිරීමට වියට්නාමය විසින් පියවර ගෙන ඇති බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment