සුළු ජාතික ඡන්ද ප්‍රේමය සහ කැනඩා – ඉන්දියා ආරවුල

976

ඉන්දියාව සහ කැනඩාව අතර විශාල ආරවුලක් හටගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැනේඩියානුවන්ට ඉන්දියාවට ඇතුළුවීම තහනම් ය. එනම් කැනේඩියානුවන්ට වීසා ලබාදීම ඉන්දියාව විසින් අත්හිටුවනු ලැබ ඇත. මෙයට හේතුව කැනඩාවේ ජීවත් වූ සීක අන්තවාදියකු වන හර්දීප් සිං විජාර් කිසිවකු විසින් ඝාතනය කරනු ලැබීම ය. මේ ගැන විවෘතව කතා කිරීමට වැඩිදෙනා මැළිවෙති. එයට හේතුව තමන් ඉන්දියාවේ පැත්ත ගත්තහොත් කැනඩාව තරහ වීමත්, තමන් කැනඩාවේ පැත්ත ගත්තොත් ඉන්දියාව තරහ වීමත් සිදුවනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරන බැවිනි. හර්දීප් සිං යනු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය තුළ කාලිස්ථාන් නමැති වෙනම රාජ්‍යය අපේක්‍ෂා කළ උග්‍ර බෙදුම්වාදියෙකි. පසුගිය දා මුහුණ වසාගෙන පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාවේ පිහිටි සීක දේවාලයකදී හර්දීප් ට වෙඩිතබා මරන ලදී. ඒ වෙලාවේ හර්දීප් සිං සිටියේ සිය ට්‍රක් රථය තුළ ය. පයින්ම පැමිණි ඝාතකයෝ වෙඩි තැබීම සිදුකොට පයින්ම ආපසු ගියහ. මේ මිනීමැරුම සිදුවන්නේ ජූනි 18 වැනිදා ය. මාස 3 ක් ගතවීත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට කැනේඩියානු රජයට බැරි විය. මේ නිසා කැනඩාවේ සිටින සීකයෝ ලක්‍ෂ ගණන් මහපාරට පැමිණ කැනේඩියානු රජයට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්නට වූහ. කැනඩාවේ සිටින සීක් ඡන්ද පදනම ඉතා විශාලය. එය කැනඩාවේ ජනගනයෙන් 2.12% ක් හෙවත් හත්ලක්‍ෂ හැත්තෑඑක්දහස් හත්සිය අනූවකි. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පමණක් සීකයෝ හාරලක්‍ෂයක් ජීවත් වෙති. බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රදේශයේ සිටින සීකයන් ගණන තුන්ලක්‍ෂයකි. මේ අතිවිශාල සීක ජගනහනයෙන් 75% ක් පමණ ඡන්ද හිමි අය වෙති. කැනඩාවේ බලයට එන කොයි අගමැතිටත් මේ කියන සුළු ජාතික ඡන්ද තොගය අවශ්‍යය. කැනඩාව තුළ ශ්‍රී ලංකාවෙන් ගිය දෙමළ ජාතිකයන් දෙලක්‍ෂ හතළිස්දාහක් සිටින බවත් එයින් 75% ක් ම ඡන්ද හිමියන් බවත් අප මෙහිදී මතක තබා ගත යුතුය. මේ ගණන් එකතුකර බැලූ විට පෙනී යන්නේ කැනඩාව තුළ සුළු ජාතික ඡන්ද දසලක්‍ෂයක් පමණ තිබෙන බව ය. එයින් වැඩි කොටස සීක ඡන්ද බැවින් හර්දීප් සිං ඝාතනය කිරීමේ සිද්ධියේදී කැනේඩියානු දේශපාලනඥයන්ට කට වසාගෙන සිටීමට බැරි තත්ත්වයක් ඇති විය. මේ ළඟදී කැනඩාවේ ප්‍රබල දේශපාලනඥයෙක් කතාවක් පවත්වමින් හර්දීප් සිං ඝාතනයට ඉන්දියානු ඔත්තු සේවා ඒජන්තවරු සම්බන්ධ බවට සැකයක් පළකළේය. ඉන්දියාව විසින් කාලිස්ථාන් බෙදුම්වාදී රාජ්‍යය මැඬපවත්වා සිටින්නේ දැඩි ආයාසයකිනි. මෙය ශ්‍රී ලංකාවේ ඊළාම් ඉල්ලීම තරමට ම භයානක තත්ත්වයකි. මෙයට අවුරුදු 38 කට පමණ පෙර පන්ජාබයේ රන්දෙවොල නමැති දේවාලයක් තුළ සිට ඉන්දියානු හමුදාව සමඟ සටන් කරමින් සිටි සීක අන්තවාදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට ඉන්දියන් රජයට සිදුවිය. සීකයන් මෙයට පළිගත්තේ ඉතාම දරුණු ලෙසිනි. එවකට ඉන්දියාවේ අගමැති තනතුර දැරුවේ ඉන්දිරා ගාන්ධි ය. ඇගේ ශරීර ආරක්‍ෂකයන් සියලුම දෙනා සීක ජාතිකයෝ වූහ. මේ සීකයන් අතුරෙන් එකකු සමඟ සම්බන්ධ වූ කාලිස්ථාන් බෙදුම්වාදීන් කණ්ඩායම ගාන්ධි මහත්මිය මැරීම සඳහා ඔහු පොළඹවා ගත්තේය. දිනක් ගාන්ධි මැතිනිය උදය වරුවේ අගමැති නිල නිවසේ අංගනයෙහි සක්මන් කරමින් සිටියදී ඇගේ සීක ශරීර ආරක්‍ෂකයකු විසින් ඇයට වෙඩි තබා මරණ ලදි. එකෙනෙහිම වට වූ ඉන්දියානු ආරක්‍ෂක අංශ සීක ශරීර ආරක්‍ෂකයාට වෙඩි තබා මැරූහ. මේ නිසා ඉන්දිරා ගාන්ධි ඝාතනයේ විත්තිකරුගෙන් කට උත්තරයක් පවා ලබා ගැනීමට බැරි වූ අතර ඒ කතාව අඳුරු වලාවකින් වැසී ගොස් සම්පූර්ණයෙන් ම අතුරුදන් විය.

ඉන්දියාව යනු ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ය. එමෙන්ම එය ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා ය. කැනඩාවේ යුද ශක්තියට වැඩි යුද ශක්තියක් ඉන්දියාවේ තිබේ. මේ නිසා මේ වන විට ඉන්දියාව සමඟ ගැටීම ලේසි නැත. නරේන්‍ද්‍ර මෝදි විසින් ඉන්දියාව ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයක් බවට පත්කර තිබේ. ලෝකයේ සෑම බලවත් රටක් ම පිටරටවල සිටින තම විරුද්ධවාදීන් ඝාතනය කරති. රුසියාවේ පාලනයට එරෙහිව පිටරටවල සිට සටන් කරන රුසියන් ජාතිකයන් ඉතා අභිරහස් ලෙස මිය යෑම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නිතර සිදුවිය. මේ සඳහා විවිධ රටවලට ගිය රුසියානු ඒජන්තවරු කුඩවල හැඩය ගත් තුවක්කුවලින් විෂ සහිත උණ්ඩ යවා විරුද්ධවාදීන් ඝාතනය කළහ. පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්පත් මිය ගියේ පිළිකාවකිනි. තමන්ට විරුද්ධවාදී රටක රාජ්‍ය නිලධාරියකුට අතට අත දීමෙන් පසු අර්පත් ට මේ පිළිකාව වැළඳින. පෙර කී රාජ්‍ය නිලධාරියා සිය අත්ලෙහි විකිරණශීලී පිළිකා කාරකයක් සඟවාගෙන විත් එය අර්පත්ට මාරු කරන්නට ඇතැයි උපකල්පනය කෙරේ. මේ ආකාරයෙන් මියගිය දහස් ගණනක් පිළිබඳ වාර්තා තිබේ. ඊළාම් රාජ්‍යය ඉල්ලමින් ලේ විලක පිහිනූ ප්‍රභාකරන් ද මෙවැනි දේවල් කළේය. රජීව් ගාන්ධි මරවන ලද්දේ ඔහු විසිනි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යවන ලද මරාගෙන මැරෙන බෝම්බකාරියක ඔහු විසින් යොදා ගන්නා ලදී. රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාර්ලින් නමැති ආඥාදායකයා ලියෝන් ට්‍රොට්ස්කි නමැති කොමියුනිස්ට් දේශපාලන න්‍යායාචාර්යවරයා මරවන ලද්දේ ඉතා සූක්‍ෂම ලෙස ය. ට්‍රොට්ස්කි යනු ස්ටාර්ලින්ට විරුද්ධ මතයක් දැරූ කෙනෙකි. ඒ බව දැනගත් ස්ටාර්ලින් ට්‍රොට්ස්කි මැරීමට සැලසුම් කළ අතර ඔහු පිටරටකට පැන ගත්තේය. ස්ටාර්ලීන්ගේ මිනිහෙක් එරටට ගොස් ට්‍රොට්ස්කිගේ ගෙදරට ළඟා වී හිම කඩන පොරවකින් හිසට ගසා ඔහු මැරවීය. ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය සහ ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය මෙවැනි ගේම්වලට කප් ගැසූ අය වෙති. කැනඩාවේ සීක් බෙදුම්වාදියා මරණ ලද්දේ ඉන්දියාව ද, නැත්නම් වෙනත් බලවේගයක් ද යන්න අපි නොදනිමු. එහෙත් ඉතා වැදගත් කාරණයක් මෙහි තිබේ. කැනේඩියානුවන් ඉන්දියානුවන් සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ වෙන කිසිදු කාරණයක් නිසා නොව, කැනඩාවේ සිටින සීක ජාතිකයන්ගේ ඡන්ද පදනම දිහා බලාගෙනය. මේ සුළු ජාතික ඡන්ද ටික තමන්ට පක්‍ෂය ඡන්ද පාවිච්චි කළහොත් ඊළඟ මැතිවරණයෙන්ද තමන් දිනන බව කැනඩාවේ අගමැති ජෙස්ටින් ටෲඩෝ හොඳාකාරවම දන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment