මුළු රටම හරි මඟට කට්ටියක් මහමඟට

1479

න්‍යෂ්ටික බලාගාරයක් ක‍්‍රියාත්මක වන්නේ පරමාණු බලයෙනි. මේ සඳහා යොදන පරමාණු ඉබේට පුපුරා බලය මුදාහරින්නේ නැත. න්‍යෂ්ටික බලාගාරයක ක‍්‍රියාකාරීත්වය මෙසේය; එහි පළමුවන පරමාණුව පුපුරවන්නේ ඩයිනමයිට් එකක් මගිනි. පළමුවැනි පරමාණුවේ ස්ඵෝටනය නිසා යාබදව ඇති දෙවන පරමාණුව පුපුරයි. ඒ පිපිරිල්ලට ඊළඟ පරමාණුව පුපුරයි. මෙය සිදුවන්නේ විදුලි වේගයෙනි. පරමාණු පුපුරන්න පටන්ගත් විට නැවැත්වීමට නොහැක. සියලූම පරමාණු අවසන් වනතුරු ඒවා එක දිගටම පුපුරයි. මෙය හඳුන්වන්නේ දාම ක‍්‍රියාවලියක් හෙවත් Chain Reaction එකක් ලෙසය. ඒ නිසා එමගින් නිකුත් කරන අඛණ්ඩ තාපය අප‍්‍රමාණය. පසුගියදා කෝට්ටේ හෝටලයක ‘‘මුළු රටම හරිමඟට’’ යන උද්ධෘතය යටතේ මහජන මන්ත‍්‍රණ සභාව නමැති සංවිධානය පැවැත්වූ සම්මන්ත‍්‍රණයකින් පසු ආණ්ඩුව විසින් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශගේ ඇමැති තනතුරු ගලවා දමන ලදි. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 කින් සමන්විත මෙකී මහජන මන්ත‍්‍රණ සභාවට අයත් විමල් සහ උදය ඇමැති තනතුරුවලින් එළවා දැමීම වූ කලී න්‍යෂ්ටික බලාගාරයක පළමුවැනි ඩයිනමයිට් එක පත්තුකිරීම හා සමානය. එතැනින් පටන් ගන්නා පිපිරිල්ල දිගටම යන අතර ඒ කොතැනින් කෙළවර වේ දැයි කිව නොහැක. උදය සහ විමල් ආණ්ඩුවෙන් පලවා හරින ලද නමුදු මහජන මන්ත‍්‍රණ සභාවේ ප‍්‍රමුඛ සාමාජිකයකු වන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ගේ ඇමැති තනතුරු ගලවා දැමුවේ නැත. එයට හේතුව ඔහු පාර්ලිමේන්තුවේ දැනට සිටින වඩාත්ම සීනියර් දේශපාලනඥයා වීම විය හැකි ය. දැනට ආණ්ඩුවේ සිටින බලගතුම දේශපාලනඥයන් වැඩි දෙනා ඔහු අමතන්නේ ‘සර්’ ලෙස ය. එහෙත් ‘සර්’ කෑල්ල පැත්තක තැබූ වාසු ද සිකුරාදා ස්වකීය ඇමැති පදවියේ කටයුතුවලින් ඉවත්වන බව කීවේ ය. මෙයින් නිරූපණය වන්නේ ඔහු වක‍්‍රාකාරයෙන් ඇමැති පදවියට පයින් ගැසූ බවකි. කෙසේ හෝ වේවා ආණ්ඩුව පිළිබඳ විවේචනය කරන දේශපාලනඥයන්ට ඒ සඳහා තවදුරටත් ඉඩ නැති බව පෙනේ. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සමුළුව බැලීමට ගිය පේ‍්‍රමනාත් සී. දොලවත්තගේ සහ විදුර වික‍්‍රමනායකගේ ටිකට් ළඟදීම කැපෙනවා ඇත. ඒ අතර මුදල් ඇමැතිට ලිපි නවයක් යවා හමුවීමට අවකාශ ඉල්ලූවත් එම අවකාශය නොලැබුණු බව ප‍්‍රසිද්ධියේ කියූ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට ද ළඟදීම ඩයිනමයිට් එකක් පත්තු වීමට ඉඩ තිබේ.

මේ අතර වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන වර්තමාන දේශපාලනඥයෙක් කලාතුරකින් කියන ගොන් කතාවක් කීවේය. ඒ වූ කලී විමල් සහ උදය වැනි අය පොල්පිතිවලින් වුව කපා ගත හැකි බවය. මේ ආණ්ඩුවට ඉස්සරහට යෑමට සිදුව ඇත්තේ රෝහිත අබේගුණවර්ධන වැනි සුපිරි භාණ්ඩ සමඟය. වරාය භාර ඇමැති වන හෙතෙම එම වරායට එන ආණ්ඩුව නමැති නැව ගිලූනොත් ඒ සඳහා සෑහෙන්නට වගකිව යුතුය.

රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුව නැට්ටටම පැරදී කට්ටියක් හිරේ ගොස් තවත් කට්ටියක් රිමාන්ඞ් වෙද්දී මහින්ද සුළඟ හරහා ගෝඨාභය පා කරගෙන විත් මේ රටේ ජනාධිපති කිරීමට සෑහෙන කට්ටක් කෑ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඉතා කෙටි කලක් තුළ ආණ්ඩුව සමඟ ගැටෙන්නට පටන් ගත්හ. ඉන් පසු එම ගැටුම වචනවලට පෙරළිණ. විමල් හා උදය දිගින් දිගටම ආණ්ඩුවට ගහද්දී ආණ්ඩුව කළබලයක් නොකර හිස පහත්කරගෙන සිටියේය. එවිට විමල් හා උදය කැබිනට් තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළහ. ඒ අවස්ථාවේදීත් ආණ්ඩුව කළබලයක් කළේ නැත. එහෙත් මහජන මන්ත‍්‍රණ සභාව නමැති සංවිධානය කෝට්ටේ හෝටලයක වේදිකාවට ගොඩවීමත් සමඟම ආණ්ඩුවේ වයර් මාරු වී දැනට තිබෙන විදුලි කප්පාදුව හා සමාන අන්ධකාරයක් ඇති විය. කෝට්ටේ වේදිකාවේදී විමල් වීරවංශ ඉතා වැදගත් කතාවක් කළේය. අතේ සතේ නැතුව ආණ්ඩුව හිඟමනට පත් වී සිටින මේ කාලයේදීත් පිටරටින් ඇපල්, මිදි, දොඩම්, වතුර බෝතල් ගෙන්වන බව ඔහු කීවේ ය. මේ සඳහා ඩොලර් මිලියන ගණනක් වැය වී තිබේ. මේ සම්බන්ධයෙන්් ඔහු විසින් මේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගෙන් ප‍්‍රශ්න කරන ලද අවස්ථාවේදී එම ඇමැත්තයා කියා ඇත්තේ විදේශික සංචාරකයන්ට අවශ්‍ය නිසා එම බඩු රටින් ගෙන්වන බව ය. එය රෝහිත අබේගුණවර්ධනගේ කතාව හා සමාන ගොන් පිළිතුරකි. යුරෝපීයයා මෙහි එන්නේ ඇපල් හා මිදි කන්නට නොව මේ රටේ හැදෙන පලතුරු කන්නට ය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමයට බත් මාළු කන්නට ය. මේ මොහොතේ දී කොළඹ තරු පහේ හෝටල්වල වැඩිම ඉල්ලූමක් ඇත්තේ ENGLISH BRAKFAST වලට නොව ආප්ප, ඉඳිආප්ප, කිරිබත් සහ මාළු ඇඹුල්තියල්වලට ය. විය යුත්තේත් එයමයි. ලංකාව ප‍්‍රවර්ධනය කළ යුත්තේ ලංකාවේ ආහාර වර්ගය. ලයිටුත් නැතිව ඉටිපන්දම් සහ මදුරුකොයිල් පත්තු කරගෙන හෝටල්වල ළඟින සුද්දන් අඩු ගණනේ සිංහල කෑම ටිකක්වත් කෑවා නොවේදැයි සිතමින් සතුටුවනවා ඇත. තවත් අමතර කාරණයක් කියමු. මේ රටේ සුපර්මාර්කට් සියල්ලෙහිම රටින් ගෙන්වූ පලතුරු සහ රස කැවිලි තිබේ. සියලූම INTERNATIONAL BRAND වලට අයත් කමිස, කලිසම්, සපත්තු, ලන්කට් සහ පෑන්ටි ඉතා ඉහළ මිල ගණන්වලට මේ රටේ තිබේ. මේවා පිනට දීමේ ව්‍යාපාරයක් පිටරටවල නැත. මේවා මිලට ගත යුත්තේ ඩොලර්ම දීමෙනි. එක නැවක් තෙල් ගොඩබා ගිය විට අනෙක් නැවේ තෙල් ගන්නට ඩොලර් නැතිව ආතබූත වී සිටින ආණ්ඩුවක් මෙසේ කටයුතු කරන්නේ එම ආණ්ඩුවේ තිබෙන මොළ තොගය පිටරටකට අයත් ඉන්ද්‍රීන් වීම නිසාද?

විමල් හා ගම්මන්පිල පිපිර වූ ඩයිනමයිට් එක නිසා ඒ දෙදෙනාට අමතරව තව කී දෙනෙක් මහ පාරට වැටේද යන්න මේ රටේ ජනයා බලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment