හරක් කටාගෙන් මුදල් ගැරූ පොලිසියේ 19 ක්

447

කලක් දකුණේ වැඩ කළ ජ්‍යෙෂ්ඨයකුත් ඒ අතර
සැකකරුවන් අල්ලන්න විමර්ශන

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතා පවත්වමින් මුදල් ඉපැයූ බව කියන පොලිස් නිලධාරීන් 19 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරීන් අතර කලක් දකුණු පළාතේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් නිලධාරීන්ගෙන් වැඩි දෙනකු දකුණු පළාතේ රාජකාරි කරන නිලධාරීන්ය.

මෙම නිලධාරීන් හරක්කටා සමඟ පැවැත්වූ දුරකථන සංවාද මෙන්ම ඊට අදාළ හඬපට පවා මේ වනවිට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

සැකකාර උසස් පොලිස් නිලධාරියා ද හරක්කටා සමග වට්ස්ඇප් දුරකථන මාර්ගයෙන් දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබූ බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිට මෙම පොලිස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පවා සෙවීමට පොලිසිය රහසිගත විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක්කටාට ඉන් පලායෑමේ සැලසුමට සහය දුන් එම දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු පසුගියදා රටින් පලාගොස් තිබිණි.

හරක්කටා එම කොස්තාපල්වරයාට රුපියල් කෝටි ගණනින් මුදල් ලබාදී ඇති බව ද පසුව හෙළිවිය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment