ආගමික දේශනාවන් ඇසූ තවත් 2 ක් මරුට – දැන් මරණ 7යි

780

විෂ ශරීරගත වී මියගිහින්
පරීක්ෂණ සීඅයිඩීයට

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශන පවත්වන දේශකයකුගේ අනුගාමිකයන් දෙදෙනකු බව කියන තරුණිය සහ තරුණයා මියගොස් ඇත්තේ විෂ ශරීරගත වීමකින් යැයි පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා සිටි සිසුවියක බව කියන 21 හැවිරිදි දිනිති මන්දාකිනි තරුණියගේ සිරුර යක්කල පිහිටි නිවසේ තිබියදී ද 34 හැවිරිදි ඉසුරු උදාර නමැති තරුණයාගේ සිරුර මහරගම දුම්රියපළ පාරේ පිහිටි ලැගුම්හලක කාමරයක තිබියදී ද පෙරේදා (2 දා) සවස සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම මියගිය තරුණයා අම්බලන්ගොඩ, වතුගෙදර පදිංචිව සිටි අයකු බව ද මහරගම පොලිසිය පවසයි.

කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයක කුලී පදනම මත නැවතී සිටි 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති ආගමික දේශන පවත්වනු ලැබූ දේශකයා දෙසැම්බර් 28 වැනිදා වස පානය කර සියදිවි නසාගෙන තිබිණි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර දින කීපයකට පසු ඔහුගේ බිරිඳ සිය දරු තිදෙනා ද සමඟ බාල සොයුරාගේ මාලබේ, කහන්තොට ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක් තුළදී වස පානය කර සියදිවි නසාගෙන තිබිණි.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වී සිටි මෙම පවුල එම දේපළ විකුණා විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් මෙලෙස කුලී පදනම මත රැඳී සිටීමට හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට කුලී පදනම මත පැමිණ ඇත.

ඒ සඳහා මාසිකව රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක මුදලක් කුලිය ලෙස ලබාදී ඇත. රුවන් ප්‍රසන්න නමැත්තා ආගමික දේශන පැවැත්වූ අයකු වන අතර, ඔහුගේ දේශනවලට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් සහභාගි වී තිබේ. මේ වනවිට ඔහු පැවැත්වූ දේශන ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වේ.

මෙම දේශකයා මූල්‍යමය ප්‍රශ්නයක් මත සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගිය තරුණයා හා තරුණිය දිවි නසාගත් දේශකයාගේ දේශනවලට සහභාගි වූ අනුගාමිකයන් බවට හෙලිවිණැයි ද පොලිසිය පවසයි.

මියගිය රුවන් ප්‍රසන්න නමැති දේශකයාගේ අවසන් කටයුතු සිදුවූ අවස්ථාවට ද මෙම මියගිය තරුණයා හා තරුණිය සහභාගි වී ඇති බවත්, මොවුන් සියලුදෙනාම මියගොස් ඇත්තේ එකම විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් බවටත් පොලිසිය සැක පළ කරයි.

මේ අතර, පසුගිය දින කීපය තුළ සිදුවූ සැකකටයුතු මරණ 7 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු රහස් පොලිසියට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment