නිවසට, ව්‍යාපාර ස්ථානයට හා ඔබට ගෙල පැළඳීමට දිවිය පුරා ආරක්‍ෂාව දෙන ජල නන්දන යන්ත්‍ර රත්නය

91

බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ එක්තරා සැඩොල් ගමක සත්තා නම් අභිරූපි සැඩොල් තරුණියක විසූ අතර පෙර කළ අකුසල කර්මයක් හේතුවෙන් සැඩොල් කුලයේ ඉපදුණද ඒ සමඟ කරන ලද කුසල් හේතුකොට රාජරාජ මහා අමාත්‍යාදීන් පවා තම දෙපාමුලට ගෙන ඒමේ රූපශ්‍රියක් ඇය සතුවිය. මුළු ගම්මානයට පවා අසල පිහිටි රාජ්‍යයකවත් ඇය මෙන් රූපශ්‍රියෙන් පිරි කතක් නොවීය. රජ කුමරුන් පවා ඇගේ අත පතාගෙන පැමිණියත් කිසිම අයෙකුට ඇගේ මනාපය නොලැබිණි.

සත්තාගේ මේ අභිරූපිකත්වය නිසා ඇය තරමක් ආඩම්බර එකියකි. දිනක් පින්ඩපාතයේ වඩින ආනන්ද හිමියන්ට ඇය දිටීය. රන් පිළිමයක් බඳු මේ මහා පුරුෂයා තමන්ගේ කරගැනීම උදෙසා සත්තා තම මෑණියන්ට ඇවටිලි කරමින් මේ පුරුෂයා හිමිනොවුනහොත් තමන් සියදිවි නසාගන්නවා යැයි පැවසීය. අවසානයේ ඇගේ මෑණියන් තම පරපුරෙන් පැවත එන යකුන් මෙල්ල කළ හැකි රජුන් උමතු කළ හැකි දෙවියන් පවා පාලනය කිරීමට සමත් මන්ත්‍ර ගුරුකම් වලින් වශී බන්ධනයක් මතුරන විට ආනන්ද මහ තෙරුන්ට සියල්ල අමතකව මේ සුරූපී ළඳට වශීවී ඇය පසුපස ඇගේ යහනට ඇදී ආවාය. මේ සියල්ල දකිමින් වෙන්න යන විනාශයෙන් ආනන්ද තෙරුන්ව බේරාගැනීමට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා කැඳවා රොඩී දැහැනේ වශී බන්ධනයේ බල බිඳීමට ජලනන්දන පිරිත සජ්ජායනා කළහ. එවිට ආනන්ද තෙරුන් සිහිනෙන් අවදිවූවෙක් ලෙසින් සත්තා නම් සුරූපිනිය කෙල පිඩක් සේ ඉවතට දමා රොඩී ගුබ්බෑයමෙන් පිටවුණාය. මේ තරම් බලවත් වශී බන්ධනයක් බිඳ දැමීමට තරම් ප්‍රබල මන්ත්‍රය කුමක්දැයි දියණියටත්, මවටත්, සිතා ගැනීමට වත් නොහැකිවිණි. එය නම් ජලනන්දන පිරිත් දැහැනයි.

මනුෂ්‍යයන් ලෙසින් ඉපදී මනුෂ්‍යයන් ලෙසින් ක්‍රියාකරමින් මනුෂ්‍යයන් ලෙසම මිය යන්නේ කීයෙන් කී දෙනාද. ඊර්ෂි්‍යාව, කුහකකම, බලලෝභය නිසා මනුෂ්‍යයන් අමනුෂ්‍යයන් වේ. කෙනෙකුගේ කුසල් ශක්තිය, වාසනාව දියුණුව බලා සිටීමට තරම් මනුෂ්‍යයන් බොහෝමයකට හැකියාව නොමැත. තමන්ට වඩා ඉහලින් තව කෙනෙකු ඉස්මතු වෙනවාට බොහෝ දෙනා කැමැති නැත. දියුණුවක් ලබන්නා මොන ක්‍රමයකින් හෝ විනාශ කිරීමට නිතරම මාන බලන අය බොහෝ සිටී. වෛරය පළිගැනීම, එකම චේතනාව වේ. තම දරු පවුල සමගින් සතුටින් කල් ගෙවනවා දැකීම සමහර අයට රුස්සන්නේ නැත. ගෙයක් දොරක් හදනවා. ගෙදරක පදිංචියට යනවා බලාසිටීමට නොහැක. මුහුණට මුහුණ මුණ ගැසී විරුද්ධවාදිකම් කිරීමට වඩා බොහෝ අය පණදෙන්න හිතවත්කම් පා අවස්ථාව ලද විට හූනියම් කරන්න බන්ධන කරන්න මිනී අළු ඉසින්න, ගුරුකම් කර පවුල් සී සී කඩ කරන්න එදා මෙන් අදත් අද මෙන් හෙටත් මේ සමාජයේ ඕනේ තරම් ඇත. ඔබටත්, නිවෙසටත්, ව්‍යාපාර ස්ථානයටත් දිවි ඇතිතුරා ආරක්‍ෂාව සලසගන්න හදි හූනියම් යක්‍ෂ පිසාච අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්‍ෂා වීමටත් මේ උතුම් යන්ත්‍ර රත්නය භාවිතා කිරීමටත්, එය පිළියෙල කරගන්නා ආකාරය ගැනත් නැකත පාඨක ඔබ වෙනුවෙන්ම මා කියා දෙන්නම්. යන්ත්‍රය සැකසීමට ප්‍රථම ඔබේ නිවසේ කුඩා කාමරයක් (ඊසානේ පිහිටි කාමරයක් නම් ඉතා හොඳයි) කහ දියර ඉස සෝදා පිරිසිදු කරගන්න. උඩුවියනක් බඳින්න. මේ පිරිත කීමට දින 07 කට පෙර සිට මස් මාංශයෙන් වැළකී (උම්බලකඩ, කරවල, පලා වර්ගද අයිතිය) සිටීම පවුලේ සියලු දෙනාම කළ යුතුය. පස් පවින්ද වැළකී පිරිසිදුව සිටිය යුතුය. පුර පක්‍ෂයේ ශුභ දිනයක ශුභ හෝරාවක තමාගේ පක්‍ෂියා රජ හෝ ගමන අවස්ථාවක යන්ත්‍රය ඇඳීමට පටන් ගත යුතුය.

මෙම යන්ත්‍රය නිවසේ පැළඳීමට නම් විශාල ලෙසින්ද තමන්ට පැළඳීමට නම් දිග අඟල් 2×5 නිවසේ හතර කොන වැලලීමට නම් දිග අඟල් 2×5 නිවසට අඟල් 4×10 වශයෙන්ද ගත යුතුය.

කාමරයේ වියන යට අඩි 4X5 ප්‍රමාණයේ ලෑලි මේසයක් මත යහන සකස් කරන්න.

අවශ්‍ය පූජා ද්‍රව්‍ය

තඹ කොල තමන්ට නිවසට නිවසේ කොනටත් අවශ්‍යවේ. (තමුන්ට පමණක් නම්)

ගංඟාවක, ඔයක, ඉණ මට්ටම් ජලය ඇති නොපෑගෙන තැනකින් අළුයම 4 ත් 6ත් අතර එලිය වැටීමට ප්‍රථම කථා නොකර දකුණු අතින් ගල් 08 ක් මුහුදුවැලි ගෙනත් සෝදා වේලාගන්න. ලපටි පුවක් මල් ඇට, එල අබ, මල් වර්ග 05ක්, පාට 05කින්, පොල්තෙල් පහන් 05ක් බුදුන්ට හා සතර වරම් දෙවිවරුන්ට, ලොකු බුලත් 09ක් පඬුරු 09, කෙසෙල් පතුරු, කෙසෙල් අත්තක්, පියන් සහිත මුට්ටු 08ක්, බුදු පිළියමයක් අවශ්‍ය වේ.

මේසය මතට මල් අතුරා බුලත් වටේම තබන්න. ඉන් පසු බුදු පිළිමය යහනේ මැදින් තබන්න. තබා බුදුන්ට පහනක් තබන්න. කෙසෙල් පතුරු වලින් සතර වටේ සරසා කොන් 04 පහන් 04 ක් සතර වරම් දෙවිවරුන්ට තබන්න. හඳුන්කූරු දල්වන්න. ඉන්පසු ලොකු පීරිසියකට මුහුදු වැලි ආදී ද්‍රව්‍ය සියල්ල දමන්න. ඒ මත තඹ පත්‍ර තබන්න. පන්සිල් සමාදන්ව දෙවියන්ට පින් දෙන්න. ඉන්පසු පිරිත් කිරීම ආරම්භ කරන්න. මෙම පිරිත 324 වාරයක් පිරිත් කිරීම අවශ්‍ය වේ. මෙය වරු 03 කදී කළ හැකි අතර මල් යහන තනි නොකළ යුතුය. වරුවක් අවසානයේදී නැවත මල් යහන පිරිසිදු කර අලුත් මල් තබන්න. පිරිත් කියන විටදී වාර 21 න් 21 ක නවතා කිව හැකිය.

මෙලෙස 324 ක් පිරිත් කරන ලද තඹ යන්ත්‍රය ගල්කැට, වැලි, එලඅබ, යබර, ඉගිනි ඇට, පස්ලෝ කටු, ඇත් රූප, මුට්ටි වලට දමා පියනෙන් වසා අටකොන එළිය වැටීමට, කපුටන් කෑගැසීමට පෙර සියලු මුට්ටි අට කොන අටදෙනකු සහභාගිකරවාගෙන එකම මොහොතක වළ දමන්න.

ඉන්පසු මුහුදුවැලි, එලඅබ, පුවක් මල් ඇට මේවා නිවසේ භූමියේ සෑම තැනකම ඉසදමන්න. නිවස වරු 03 ක් යනතුරු අතුපතු නෙගාන්න. සතියක් පමණ මස් මාංශ භාවිතා නොකරන්න. ගෙදරට නොගන්න. ඉන් පසුවද හරක් මස්, ඌරු මස් නිවසට නොගන්න.

මෙම යන්ත්‍රය 08 කොන ආරක්‍ෂාව නිසා නිවසේ යක්‍ෂ, අමනුස්ස දෝෂ පහව යයි. කොඩිවින, හූනියම් බන්ධන නොවදියි. වින පුපුරා යයි. නිවසේ සදාකාලිකවම බාහිර සතුරු කුමන්ත්‍රණ කොඩිවින වලින් ආරක්‍ෂාව සැලසේ.

නිවසේ එල්ලීමෙන් එම නිවසේ දියුණුව සෞභාග්‍ය උදාවේ. දියුණුව අත්වේ. බංකොලොත් ව්‍යාපාර යළි නැගී සිටී. ගෙල පැළඳීමෙන් විභාග, තරග වලින් ජය අත්වේ. යක්‍ෂ, ප්‍රේත බිය දුරුවේ. වාසනාව උදාවේ. දියුණුව සැලසේ. රෝග පීඩා දුරුවේ.

නිවසට, ව්‍යාපාර ස්ථානයට හා ඔබට ගෙල පැළඳීමට දිවිය පුරා ආරක්‍ෂාව දෙන ජල නන්දන යන්ත්‍ර රත්නය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
දුරකථන අංකය- 0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment