බටහිර ආසියානු ඔන්ලයින් යොවුන් චෙස් ශූරතාවලිය…. හර්ෂණ සහ ඕෂිනී රන් දිනති; සුසල් සහ එසඳිගෙන් රිදී සහ ලෝකඩ පදක්කම්

272

ආසියානු චෙස් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශී‍්‍ර ලංකා චෙස් සම්මේලනයේ සංවිධාන ශක්තියෙන් පැවැති බටහිර ආසියානු ඔන්ලයින් යොවුන් චෙස් ශූරතාවලිය පසුගියදා නිමාවට පත් විය. එ් අනුව එහිදී රන් පදක්කම් දෙකක්, රීදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

අවුරුදු 18න් පහළ (විවෘත) කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සමත්විය. සමස්ත තරගාවලියේදී සහභාගි වූ තරග 09කදී ලකුණු 07ක් ලබා ගනිමින් එහි රන් පදක්ම දිනා ගැනීමට හර්ෂණ සමත් විය. එහි රිදී පදක්කම ද ශී‍්‍ර ලංකාව සතු වූ අතර ඊට හිමිකම් කීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා සමත්විය. සුසල් ද සිල්වා එහිදී සමස්ත තරගාවලිය තුළ ලකුණු 6.05ක් වාර්තා කිරීමට සමත් විය.

මේ අතර ශූරතාවලියේ 10න් පහළ කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ලෝක චෙස් ශූරිය වන ශී‍්‍ර ලංකාවේ ඕෂිනී දේවින්ද්‍යා ගුණවර්ධන සමත් වූවාය. සමස්ත තරගාවලිය පුරා තරග 9කදී ලකුණු 08ක් ලබා ගැනීමට ඇය සමත් වූවාය. ඕෂිනි දේවින්ද්‍ය රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ කී‍්‍රඩිකාවකි.

වයස 12න් පහළ කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට එසඳි නවන්සා කී‍්‍රඩිකාව සමත් වූවාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කී‍්‍රඩිකාවක් වන නවන්සා තරගාවලියේ තරග 9කදී මුළු ලකුණු 6.5ක් ලබා ගැනීමට සමත් වූවාය.

බටහිර ආසියානු යොවුන් ඔන්ලයින් චෙස් ශූරතාවලිය පසුගිය 18 වැනිදා ආරම්භ කෙරුණු අතර එය දින 3ක් පුරා පැවැත්විණි. වයස අවුරුදු 8, 10, 12, 14, 16 සහ 18 කාණ්ඩ යටතේ පැවැති තරගාවලිය සඳහා බාලක සහ බාලිකා කණ්ඩ යටතේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 378 දෙනකු සහභාගි විය. ශී‍්‍ර ලංකාව සත්කාරකත්වය දැරූ මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, ඉරානය, නේපාලය, මාලදිවයින, කසකස්තානය, උස්බෙකිස්තානය, ඕමානය, කුවේට්, පලස්තීනය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය යන රටවල් නියෝජනය කරමින් සමස්ත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 850කට ආසන්න ගණනක් සහභාගි වූහ. ආසියාවේ විශාලතම ඔන්ලයින් චෙස් ශූරතාවලිය බවට පත්වූ මෙම තරගාවලියේදී සෑම වයස් කාණ්ඩයක් යටතේම ජයග‍්‍රහණය ලබන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට ලෝක යොවුන් සහ කැඩෙට් චෙස් ග‍්‍රෑන්ඞ් පී‍්‍ර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. එ් අනුව එ් සඳහා මේ වන විට ශී‍්‍ර ලංකාවේ හර්ෂණ තිලකරත්න සහ ඕෂිනි ගුණවර්ධන සුදුසුකම් ලබා තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment