හරියට වැඩ නොකළහොත්  ඊළඟට ගිනි තියන්නේ  රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර

186

රජයේ නිලධාරීන් කැපවීමකින් සහ කාර්යක්ෂමව වැඩ නොකළහොත් ජනතාව ඊළඟට ගිනි තියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

මේ මොහොතේ රටට සිදුවිය යුතු සේවය නිසි ලෙස ඉටු නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් ගෙන් වැඩක් නොමැති බවද ඒ මහතා පැවසුවේය.

යල කන්නයේ අස්වනු කැපීම සඳහා ජූලි සිට ඔක්තෝම්බර් මස දෙවන සතිය අතර කාලයේදී ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍ය බවත් මෙය බවුසර් වශයෙන් ගතහොත් 3030 ක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි. ඩීසල් නොමැති බව කියා ගොයම් කැපීම ප්‍රමාද කළ නොහැකි බවත් මේ නිසා ඩීසල් අර්බුදයක් මතුවුවහොත් ගොයම් කැපීමට යුද හමුදාව ඇතුළු සියලු කණ්ඩායම්වල සහය ලබා ගැනීමට සිදුවන බවත් ඒ මහතා කීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතථා වැඩසටහනට සමගාමීව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ ස්ථාපනය කරන ලද ආහාර මන්දිරය පෙරේදා (18දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පුෂ්පකුමාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේවන විට ගොයම් කැපීම  98% ක්ම කරන්නේ යන්ත්‍ර ආධාරයෙන් බවත් අක්කරයක කුඹුරක් කැපීමට ඩීසල් ලීටර් 20 ක් අවශ්‍යය බවත් කී ඒ මහතා ඒ අනුව දැනට වගාකර තිබෙන අක්කර දස ලක්ෂයක ප්‍රමාණය කැපීමට ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍ය බවද අවධාරණය කළේය. මෙම ඉන්ධන අවශ්‍යතාව සම්බන්ධව ජනාධිපතිවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්වත් කර තිබෙන බවද ඒ මහතා කීය. කුමන හෝ හේතුවක් නිසා මෙම ඉන්ධන නොලැබුණහොත් ගොයම් කැපීමට යුද හමුදාවේ සහය ඉල්ලා තිබෙන බවත් මෙයට අමතරව දෑ කැති සකස් කිරීම සහ ගොයම් කැපීමට හැකි කණ්ඩායම් දැන් සිටම සූදානම් කිරීම සම්බන්ධව දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 473000 ක් වගා කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරන බවත් අර්බුදය නොමැති කාලයේ හෙක්ටයාර් එකකට වී මෙටි්‍රක් ටොන් 4.5 ක් ලබාගත් බවත් ලේකම්වරයා පසුගිය කාලයේ එය මෙටි්‍රක් ටොන් 2.8 පමණ දක්වා අඩුවූ බවද අවධාරණය කළේය.

ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් රුවනි සිතාරා ගමගේ යන මහත්ම මහත්මීන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment