හොර තරාදිවලින් ගසා කෑ වෙළෙඳුන් 3500ක් මාට්ටු

91

අක්‍රමිකතා ගැන 0112182253 ට දන්වන්න

පසුගිය 08 සහ 09 දෙදින දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී කිරුම් මිනුම් උපකරණ අක්‍රමිකතා සිදු කළ වෙළෙඳුන් තුන්දහස් පන්සියයක් අත්අඩංගුවට ගෙන තුන්සියයකට වැඩි පිරිසකට නීතිමය පියවර ගත් බව කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ඊයේ (10දා) පැවසීය.

2023 මුල් කාර්තුවේදී (ජනවාරි/පෙබරවාරි/මාර්තු) වෙළෙඳුන් දස දහසකට වැඩි පිරිසක් නීතියේ රැහැනට කොටු කරගත් බවත් හාරසිය පනහකට අධික පිරිසකට නීතිමය පියවර ගත් බවත් පවසන කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව උත්සව සමයේ දිවයින පුරා සියලු ප්‍රධාන නගර, උප නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කෙරෙන ලෙස වැටලීම් කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.

කිරුම් මිනුම් උපකරණ අක්‍රමිකතා කරමින් පාරිභෝගිකයන් ගසාකෑම වැළැක්වීමට දිනපතා වැටලීම් සිදු කිරීමට දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා ඇති බවද පවසයි.

වැටලීම්වලදී දිවයිනේ ප්‍රසිද්ධ ආයතන රැසක ලියාපදිංචි නොකර අඩු බරින් පාරිභෝගිකයන් ගසාකෑමට යොදා ගත් උපකරණද අත්අඩංගුවට ගෙන තිබේ. ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමේදී ඊට යොදා ගන්නා කිරුම් මිනුම් උපකරණ ලියාපදිංචි කරගත යුතු බවත් ඊට අදාළ පහසුකම් සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල කිරුම් මිනුම් ප්‍රමිති සේවා අංශවලින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙන බවත් පැවසේ.

තොග සහ සිල්ලර වෙළෙඳසල්, රෙදිපිළි වෙළෙඳසල් හෝ පාරිභෝගික ද්‍රව්‍ය ජනතාවට සපයන ආයතනවලින් කිරුම් මිනුම් උපකරණ මගින් අක්‍රමිකතා සිදු වේ නම් 0112182253 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment