ළමා අපට  මාර්ටින් වික්‍රමසිංහ

181

කර්තෘ – සඳගෝමි කෝපරහේවා

වර්ජිනියා වුල්ෆ් සඳහන් කරන්නේ සාහිත්‍යය වනාහි සාහිත්‍යකරුවා ජීවත් වූ සමාජයේ මිනිස් කැටපතක් බවයි. එනම් සාහිත්‍යය තුළ නිරූපණය වන්නේ මිනිසා සහ ඔහු ගැටෙන සමාජ සංස්කෘතික පරිසරය බවයි. මේ න්‍යායෙන් විමසන කල මාර්ටින් වික්‍රමසිංහ වඩාත් වැදගත් වන්නේ ඔහු කළ නිර්මාණ අධ්‍යයනය යනු ලංකා ඉතිහාසයේ මෑතකාලීන යුගයක තතු අනාවරණය කර ගැනීමක් වන බැවිනි.

ඔහුගේ සියක් ගත් පසෙකලා ස්වයං ලිඛිත චරිතාපදාන ලෙස මතු නොව උසස් සාහිත්‍යයක් ලෙස අපේ ගම සහ උපන්දා සිට කෘති දෙක හැඳින්විය හැකි වෙයි. සමාජ සංස්කෘතික අධ්‍යයනයේ දී මීට සියවස් එකහමාරකට පමණ පෙර දකුණු ලක ග්‍රාමීය සමාජ සංස්කෘතික පරිසරයේ චමත්කාරය අපූරුවට අධ්‍යයනය කළ හැකි ග්‍රන්ථ දෙකක් ලෙස උක්ත කෘති දෙක හැඳින්විය හැකිය.

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ලංකාවේ යටත් විජිත යුගය හා ඉන් පසු සමාජය පිළිබඳ විවිධ පර්යේෂණයන්හි නියැලෙමින් වටිනා අදහස් නූතන සමාජයේ ඥානනය උදෙසා විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්කර ඇති ගත්කරුවෙකි. ළමා අපට මාර්ටින් වික්‍රමසිංහ කෘතිය ඊට කදිම නිදසුනකි. මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බලන මහාචාර්යවරයා විශේෂයෙන් පියකු ලෙස තම දරු දෙපළ සමග රැඳෙන දිවියේ දී තමන් විඳගන්නා බොහෝ දේ මාර්ටින් වික්‍රමසිංහගේ උපන්දා සිට සහ අපේ ගම කෘතින් ඔස්සේ විමසුමට ලක්’ කර තිබෙයි.

මෙම කෘතියෙහි ආරම්භයේම දැකිය හැකි මාර්ටින් වික්‍රමසිංහගේ ජීවන මතක සටහන් පෙළ ආධුනිකයන්ගේ දැනුමට බෙහෙවින් වැදගත් වෙයි. පාසල් විෂය මාලාවන්හි මගහැර යා නොහැකි විෂයයයක් බවට වික්‍රමසිංහ පත්ව ඇති වටපිටාවක මෙම මතක සටහන් පෙළ ඊට සවියක් සපයයි. අනතුරුව ළමාවිය හා කොක්ගල, ගම් පියස, ගුරු ගෙදරින් පාසලට, ළමා වියේ සුන්දර අත්දැකීම්, ළමාවිය හා සත්ව ලෝකය, ළමා අපට ලියූ පොත්, අගනා කියුම් හා අදහස්, මහා ගත්කරු ලියූ පතපොත යනුවෙන් පරිච්ඡේද හතක් පුරා කෙරෙන විවරණ සමාජයීය සාහිත්‍ය අධ්‍යයනයක් ලෙසින් මෙහිදී අගය කළ හැකිය.

ඔහු මෙහිදී තෝරා ගත් මාතෘකා පෙළ ළමා ලෝකයට අතිශයින් ම සමීප කරුණු වෙයි. ඒවා ගැන සොයා යෑමේ අභිරුචිය දරුවා තුළ තවදුරටත් ඇති කරවන අන්දමින් කෙරෙන සරල විවරණ රසවත් ව කියවිය හැකිය. වික්‍රමසිංහ ලියූ තම ළමා කල තොරතුරු ඔස්සේ පැරණි චරිත, ආගම, විශ්වාස, වෘත්තීන් හා ඒවා ඒකාබද්ධ කොට පැවැති ගැමි ජන සංස්කෘතිය කෙතරම් සොඳුරුද යන්න කියාපාන මහාචාර්ය සඳගෝමි නූතන ගම ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරය පෙන්වා දෙන්නේ බුදු දහමේ එන විපරිණාම ධර්මයේ සත්‍යතාව ද පසක් කරවමිනි.

ළමයින් උදෙසා ලියූ මෙම කෘතිය තුළ තම විවරණ සඳහා මුල් කෘතීන්හි රසවත් තැන් උපුටා දක්වන ලේඛකයා එහි ඇතැම් භාවාත්මක අවස්ථා අපූරුවට සිත්තම් කළ ඡායාරූපවලියක් ද යොදමින් අලංකාරවත් කොට තිබෙයි. ළමා පාඨකයාට මෙම කෘතිය කියවීමේ රුචිය වඩවන්නට එය හේතුවක් වෙයි.

කෘතියේ අවසානයට ක්‍රියාකාරකම් පරිච්ඡේදයක් ද එකතු කොට ළමයා කියවූ දේ පාඩමක් බවට පත්කර තිබෙයි. එමෙන්ම ඔහු ලියූ පොත් පත් විවිධ විෂයයන්වලට බෙදා දැක්වූ ග්‍රන්ථාවලිය ද පොදු පාඨකයාට ද වැදගත් වෙයි. ලේඛකයා දැක්වූ පහත සටහන වික්‍රමසිංහගේ අදීන නිවහල් චින්තනය ප්‍රකට කරවයි.

උසස් විදුහලකින් පිරිවෙණකින් හෝ සරසවියකින් පිළිවෙළින් උගැන්මක් නොලැබූ ඔහු ගැමි පරිසරයෙන් ලැබූ අත්දැකීම් හා පොත් කියවීමෙන් ලැබූ දැනුමෙන් පෝෂණය විය. එහෙත් ඔහුගේ පතපොත ලක්දිව සෑම විශ්වවිද්‍යාලයක ම හා පිරිවෙණක ම පාහේ අධ්‍යයනය කෙරෙන තරම් විශිෂ්ට කෘතීන් බවට පත්විය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment