13 ගැන පිල්ලෙයාන් කට අරී

736


පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම
දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය
සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා
පවසයි.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා
අවබෝධය තුළින් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්
එමඟින් රට බෙදීමක් කිසිසේත් සිදු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
බලය බෙදාහැරීම තුළින් රට දෙකඩ වන බවට දකුණේ ඇතැම් දේශපාලන නායකයන් ද
ප්‍රකාශ කරනවා. එසේම උතුරු හා නැඟෙනහිර දේශපාලන නායකයන් ද පූර්ණ බලය
බෙදීමක් ඉල්ලා සිටිනවා. මේ දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ දැඩි ස්ථාවරයක
සිටයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ දෙපාර්ශ්වයම මධ්‍යස්ථ ප්‍රවේශයකින්
යුතුව සුහදව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම මේ රටේ ඉදිරි ගමනට
වඩාත් සුදුසු බවයි.

උතුර හා නැගෙනහිර නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන් මෙන්ම දකුණේ ඇතැම්
දේශපාලඥයන් ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්
දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය
මගින් රට බෙදීමක් සිදු වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ සියලු පළාත්වලට
සමානව බලය බෙදී යාමක් පමණයි.

මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි වන්නේ දෙපාර්ශ්වයම විශ්වාසය හා
අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් පමණයි. ඒ නිසා ඒ සඳහා සහයෝගය
ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද ඒ මහතා කීවේය.

ස්ථාවර රටකට – සැවොම එක මඟකට මැයෙන් අද
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment