13 වැනි සංශෝධනය තුළින් ශ‍්‍රී ලංකාව සමූහාණ්ඩුවක් කරන ලෙස මෝදිගෙන් ඉල්ලීම

262

පසුගිය කාලය තුළ ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ ද්‍රවිඩ දේශපාලකයන් හඬ නැඟුවේ 13 වැනි සංශෝධනය ලබාදෙනු යැයි දක්වමිනි. එහෙත් ලන්ඩන් කොටි ඩයස්පෝරාව එකවරම අපට 13 අවශ්‍ය නැති බවත් වෙනම රටක් ඕනෑ යැයි දක්වමින් විරෝධතාවයක් පවත්වනු ලැබීය. ඊට සමගාමීව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නැමැත්තා ද 13 එපා යැයි කියමින් උතුරේ දී විරෝධතාවයක් පවත්වනු ලැබීය.

මේ විරෝධතා පවත්වනු ලැබුවේ ලන්ඩන් නුවරත් යාපනයේත් එක ම දිනයකදීය.

ගජේන්ද්‍රකුමාර නැමැත්තාගේ ඉල්ලීම් මෙසේය.

ද්‍රවිඩ සමූල ඝාතනය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි. ත‍්‍රස්ත මර්දන පනත වහාම අහෝසි කරනු ආරක්‍ෂක හමුදාව උතුරෙන් ඉවත්කර ගනු, අපේ පාරම්පරික ඉඩම් අල්ලා ගැනීම නවත්වනු, ද්‍රවිඩ රාජ්‍ය පිළිගනු, මේ ඉල්ලීම් මඟපාදන්නේ බෙදුම්වාදී වෙනම රාජ්‍යයකටය. එහෙත් රජය මේ බෙදුම්වාදියා සම්බන්ධව නිසි පියවරක් ගෙන නැත. එසේම ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට දින 20ක් තිබිය දීය.

මෙම බෙදුවාදී ආධාරකරුවෝ උතුරේ කිට්ටු උද්‍යානයේ දී සිය විරෝධතාවය පවත්වා ඇතත් එවන් උද්‍යානයක් යාපනයේ නැත. එහෙත් තම ඉල්ලීම්වලට කිට්ටු පොංගල් ප‍්‍රඥප්තිය යැයි නම් කර තිබේ.

පසුගිය දිනෙක ද්‍රවිඩ සන්ධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රයාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලකරන ලෙස ඉල්ලමින් ඉන්දීය තානාපති ගෝපාල් බැග්ලේ මාර්ගයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් භාර දී ඇත.

එහෙත් 13 වැනි සංශෝධනයෙන් දෙමළ ජනතාවට කිසිදු විසඳුමක් නොලැබෙන බව දක්වමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් දැන් මස් රාත්තලම ඉල්ලා සිටියි. එම ඉල්ලීමට ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන්ද එක්වී ඇත. ඔහු දක්වන්නේ තමා 13 වැනි සංශෝධනය පිළිගන්නේ නැති බවය.

වව්නියාවේ හෝටලයක පැවැති රැස්වීමක දී ශ‍්‍රීධරන් පැවසුවේ ඞී.එම්. කේ. මැතිවරණ ප‍්‍රකාශනයේ ඊළම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මේ අතර 13වන සංශෝදනයට එරෙහිවන ද්‍රවිඩ ජනතා පක්‍ෂය මාවයි සේනාධිරාජා සී. විග්නේශ්වරන්, සෙල්වම් අඩෙයිකලානන්දන් සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ සිද්ධාර්ථන් 13 වැනි සංශෝධනයට පක්‍ෂ නිසා ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ. එසේම ද්‍රවිඩයන්ගේ ආයුධ සන්නද්ධ අරගලය සිංහලයන් විසින් ත‍්‍රස්තවාදය ලෙස හඳුන්වා ඇතැයි ද ද්‍රවිඩ ජනතා පක්‍ෂය කියා සිටී. මේ පසුබිම මැද උතුරේ විරෝධතා පැවැත්වීමට අරමුදල් සපයන්නේ කොටි ඩයස්පෝරාව බව දැන් තහවුරු වී ඇත. මෙම 13 වැනි සංශෝධනය ගැන ආනන්දි සසිධරන් නැමැත්තිය මේ දක්වා කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

මෙහිදී ඉන්දියාවට පක්‍ෂපාතීත්වය දරන ද්‍රවිඩ සන්ධානයට එරෙහිව ගජේන්ද්‍රකුමාර් කල්ලියට උතුරේ සමස්ත ජනතාව ඒකරාශි කරගත හැකි ද?

උතුරේ කුලබේදය තදින්ම කි‍්‍රයාත්මක වන අතර එය ජිනීවා නුවර දී අපට තහවුරු විය. මානව හිමිකම් සමුළුවේ ආසනයක වාඩිවී සිටි ආනන්දි සසිතරන් අසල ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වාඩිවී සිටියේ නැත. ඔවුන් එකිනෙකා සාකච්ඡුා කළේ ද නැත.

මේ තත්ත්වය මත උතුරේ ද්‍රවිඩයන් දෙකට කැඞී ඇත. ගජේන්ද්‍රකුමාර් පැවැත්වූ විරෝධතාවයට

සහභාගිවූයේ සුළු පිරිසකි. ඊට ලන්ඩන් කොටි වෙබ් අඩවියක් ද සහය දැක්වීය. මේ අතර ගජේන්ද්‍රකුමාර් රජයෙන් ඉල්ලන ඉල්ලීම් කිසිදිනෙක ඉටුනොවේ. මෙයට පෙර ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ ගජේන්ද්‍රකුමාර් ඉල්ලා සිටියේ ඉඩම් බලතල සහිත පොලිස් බලතල ලබාදෙන ලෙසයි. වඩුක්කොඩෙයි යෝජනාවෙන් පසු මෙවර ඉදිරිපත් වී ඇත්තේ කිට්ටු පොංගල් යෝජනාවයි. එය රට දෙකඩ කිරීමේ යෝජනාවකි. එසේම ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමේ මෙහෙයුම දියත්වන්නේ ලන්ඩන් කොටි ඩයස්පෝරා වෙනි.

දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට 13 වැනි සංශෝධනය ඉටුකළ යුතු යැයි ඉන්දීය අගමැති මෝදිගෙන් ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටින අවස්ථාවේ ගජේන්ද්‍රකුමාර් ස්වයංපාලනය ඉල්ලා සිටියි. එවන් අවස්ථාවක රජය කොටි ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට බි‍්‍රතාන්‍ය අමාත්‍ය තරික් අහ්මද්ගේ සහය පතා ඇත. මෙය හාස්‍යජනක ක‍්‍රයාවක් නොවේ ද?

13 වැනි සංශෝධනයේ විපාක මෙසේ.

  1. පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඞීම
  2. පොලිස් කොමසාරිස්වරු (පළාත්) සඳහා බිහිවීම
  3. උතුරේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුවූවොත් මහ ඇමැති
    අවසරය රහිතව රහස් පොලිසියට උතුරට යෑමට
    නොහැකි වීම.

ඊට හොඳම නිදසුන කාශ්මීරයේ ශ‍්‍රීනගර් ගුවන් තොටුපළින් පිටතට යෑමට සෝනියා ගාන්ධි ට මහ ඇමැතිගේ අවසරය ලබාගැනීමට සිදුවීම සහ ත‍්‍රස්තවාදීන් මුම්බායි වෙත ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ නවදිල්ලියේ සිට විශේෂ බළකාය මුම්බායි වෙත ගෙන ඒමට මහාරාෂ්ට‍්‍ර මහ ඇමැතිගේ අවසරය ගැනීමට සිදුවීමයි.

මෙවන් සිදුවීම ශ‍්‍රී ලංකා රජය ද දැඩි අවධානයට ලක් කළ යුතුවේ. මේ අතර පෙබරවාරි 28 දා ආරම්භ වන 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ද්‍රවිඩ දේශපාලකයන් සහ කොටි ඩයස්පෝරාව දැන් සිට ම සූදානම් වන බව හෙළි වී ඇත.

ඒ සඳහා රජයට එරෙහි සාවද්‍ය වාර්තා රැසක් ජිනීවා වෙත යවා ඇත. මෙයට සමගාමීව මන්නාරමේ ඛනිජ සම්පත හෑරීමට එරෙහිව විරෝධතා මතුවී ඇත.

රජයට අයත් මේ ඛනිජ සම්පත් ද්‍රවිඩ ජනතාවට අයත් යැයි දක්වමින් විරෝධතා ආරම්භ වී ඇති අතර සෙල්වම් අඩෙයිකලා නන්දන් සහ චාල්ස් නිමලනාදන් ඇතුළු කල්ලියක් ඊට සහභාගි වී තිබේ. එසේම උතුරේ මත්ස්‍ය සම්පතද ද්‍රවිඩ ජනතාවගේ බූදලයක් ද? කොටි ත‍්‍රස්තවාදීහු කන්කසන්තුරේ සිමෙන්ති කම්හල විනාශ කරනතුරු මේ දේශපාලකයන් බලා සිටියහ.

මෑතක දී කොළඹ කන්කසන්තුරේ නව දුම්රිය ආරම්භ කරන ලද්දේ රටේ ජනතාවගේ මුදල්වලිනි. එම දුම්රිය ආරම්භ කිරීමට උතුරේ ජනතාව ශත පහක්වත් වැය කළේ නැත. මේ අතර බළලා මල්ලෙන් පැන්නා යන කියමන තහවුරු කරමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අනාවැකියක් ප‍්‍රකාශ කර ඇත.

මෙවර ජනීවා මානව හිමිකම් වාර්තාව ඉතාමත්ම තීරණාත්මක යැයි එක්සත් ජාතීන්ගේ නියෝජිත හානා සිංගර් යාපනයේ ද හමුවීමෙන් පසු ඔහු පවසා ඇත.

මේ ද්‍රවිඩ දේශපාලකයා නාවික හමුදාවට ද චෝදනා කළේය. රජය අපට අවස්ථාවක් ලබාදිය යුතු යැයි හෙතෙම තවදුරටත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අමතා පවසා තිබේ. මේ අතර ඩොලර් හිඟය නිසා රජය දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර ඉන් ශ‍්‍රී ලංකාවට පක්‍ෂව බලපෑම් කිරීම සඳහා උග‍්‍ර මුදල් හිඟයකට ද මුහුණ පා තිබේ.

පසුගිය කාලය තුළ විවිධ රටවල දේශපේ‍්‍රමීන් ජිනීවා පැමිණ මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්වීම් පවත්වමින් කොටින්ගේ ප‍්‍රකාශ සාවද්‍ය බව පෙන්නුම් කිරීමට කි‍්‍රයාකළත් මෙවර ඔවුන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැක. ඊට මූලික හේතුවක් වත්මන් රජය බලයට පත්වී දේශපේ‍්‍රමීන් අමතක කිරීම සහ රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීන් තානාපති ධුරවලට පත්වීමය. මේ පසුබිම මත හමුදා නිලධාරීහු අසරණ තත්ත්වයකට මුහුණ පා ඇත. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් හමුදා සහ පොලිස් නිලධාරීන් 13ක් සඳහා සම්බාධක පැනවිය යුතු යැයි එරට රජයෙන් ඉල්ලා තිබේ.

එහෙත් විදේශ කටයුතු බලධාරීන් අද වනතුරු ඊට ප‍්‍රතිචාර දක්වා නැත. මේ අතර වව්නියාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන සාකච්ඡාවක දී තමන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටේ තත්ත්වය ගැන වාර්තා යැවූ බව ද්‍රවිඩ සන්ධාන බලධාරීන් හෙළිකර ඇත. එසේම මානව හිමිකම් කොමසාරිස් ශ‍්‍රී ලංකාව සම්බන්ධ කරන ප‍්‍රකාශය මාර්තු- 3 වැනිදා පවත්වන බවද අනාවරණය වී ඇත. ඇගේ ප‍්‍රකාශයට අදාළ වන කරුණු ඇය විසින් සොයාගනු ලැබුවවක් නොව ද්‍රවිඩ සන්ධානය ඇතුළු දෙමළ පක්‍ෂවල අමුද්‍රව්‍ය බව පැහැදිලිවේ.

එවන් පසුබිමක් මැද ද්‍රවිඩ දේශපාලන නායකයන් දැන් ඉල්ලා සිටින්නේ 13 නොව කොටස ස්වයංපාලනයක් බව තහවුරු වේ. මේ අතර රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සූදානම් වන බවට ලත් තොරතුරු මත ද්‍රවිඩ දේශපාලකයන් තම ඉල්ලීම් විදේශ රටවල් වලට දැඩි බලපෑම් කර එම බෙදුම්වාදී ඉල්ලීම්වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීම අරමුණ වී ඇත.

මෙවන් තත්ත්වයක් මත රජය ලන්ඩන් නුවර සිටින කොටිඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට ඉදිරිපත් වන්නේ මන්ද? කොටි ඩයස්පෝරාව යනු බි‍්‍රතාන්‍යයේ ඡන්ද බලය හිමි පුරවැසියන්ය. මේ අන්දමට කැනඩාවේ ඡන්ද බලය හිමි සික් ජාතිකයන් ඉදිරිපත් කරන ඉල්ලීම් ඉන්දීය රජය ඉටු කරන්නේද?

ජිනීවා නුවර පැවැත්වෙන 49 වැනි මානව හිමිකම් සමුළුවේ දී කොටිඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප‍්‍රකාශ සිදුකිරීම් සඳහා තමිල්නාඩුවෙන් කුලියට දෙමළ ජාතිකයන් ගෙන්වති. වරක් අප එවන් ද්‍රවිඩයකුගෙන් කිළිනොච්චිය තිබෙන්නේ කොහේදැයි විමසූවිට ඔහුට ඊට ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි විය. එසේම ශ‍්‍රී ලංකාවෙන් කැනඩාව වැනි රටවලට

පැනගිය ද්‍රවිඩයන්ගේ තෙවැනි පරපුර ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාන්තර රැස්වීම්වලට පැමිණෙති.

මේ ද්‍රවිඩ තරුණ පරපුර මානව හිමිකම් සමුළුව අමතා විවිධ ප‍්‍රකාශ කරන්නේ ලියාදුන් කොලවල ඇති විස්තර මතය.

මෙය අපි සියැසින් දුටුවෙමු. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය එම තක්කඩි ද්‍රවිඩයන්ට සමුළුව ඇමතීමට ඉඩ දේ. මේ හැර වන්නි මෙහෙයුම සමයේ විදේශගතව සිටි ද්‍රවිඩ ළමුන් තමන් ශ‍්‍රී ලංකාවේ සිටි බවත් යුද්ධය සියැසින් දුටු බවටත් සාවද්‍ය ප‍්‍රකාශ කරන අයුරුද අපට දැකගත හැකි විය. මේ අතර ද්‍රවිඩ පක්‍ෂ 7 ක් එකතුවී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යැවූ ලිපියේ තොරතුරු ද දැන් හෙළිවී ඇත. එම ලිපියේ අඩංගු කරුණු සහ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ද උතුරු හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන් කරුණු දක්වා තිබේ.

ඔහු ඉදිරිපත් කරන තර්ක මෙසේයි.

  1. ද්‍රවිඩයන්ට වසර 3000ක ඉතිහාසයක් ඇත.
  2. සිංහලයන්ගේ භාෂාව පැමිණියේ ක‍්‍රිස්තු පූර්ව 6 හෝ 7 වැනි සමයේදී ය.
  3. රජය සිංහල බෞද්ධ ආධිපත්‍යය මුළු දිවයින පුරා පතුරුවා හැරීමට උත්සාහ කරන අවස්ථාවේ ඊට මැදිහත්වීමට ඉන්දියාවට හිමිකම ඇත.
  4. අපට 13 වැනි සංශෝධනය අනුව ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍යව තිබේ.
  5. සමූහාණ්ඩුවක් මිස ඊට අඩුවෙන් විසඳුමක් අවශ්‍ය නැත.
  6. වගවීම සහ සංහිඳියාව ගැන කි‍්‍රයාකිරීම ජාත්‍යන්තර ප‍්‍රජාවේ වගකීමකි.

විග්නේශ්වරන් මින් කියා සිටින්නේ 13 වැනි සංශෝධනය අවශ්‍යය බවයි. එහෙත් කොටි ඩයස්පෝරාව ඊට එරෙහි වී තිබේ. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ කොටි ඩයස්පෝරාව ස්වයංපාලනය ඉල්ලා සිටින අතර ද්‍රවිඩ සන්ධානය සහ විග්නේශ්වරන් 13 වැනි සංශෝධනය හෙවත් මස් රාත්තලම ඉල්ලා සිටියි. මේ පසුබිම මැද තමිල්නාඩු ධීවර යාත‍්‍රා තම මුහුදු කලාපවලට අනවසරයෙන් ඇතුළු වනබව පවසමින් පලාලි සහ පලායි ධීවරයෝ ඉන්දියාවට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී ඇත.

තමිල්නාඩු ධීවර යාත‍්‍රා යාපනය අවට මුහුදු කලාපය වෙත පැමිණියේ අද ඊයේ නොවේ. මේ අනවසර ධීවර යාත‍්‍රා අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත‍්‍රාවකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල විය. මෙම විරෝධතාවයට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පක්‍ෂයේ පිරිස් ද එකතු වී ඇත. එය ඉන්දීය රජයට එරෙහිව ද්‍රවිඩ ජාතික ජනතා පක්‍ෂය ප‍්‍රසිද්ධියේ එරෙහිවීමකි.

මින් තහවුරුවන්නේ උතුරේ දේශපාලන න්‍යාය පත‍්‍ර 2 ක් ක‍්‍රියාත්මක වන බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment