2021 දී ලාභ ලැබූ මිල්කෝට 2022 දී මිලියන 471ක පාඩුවක්

194

මිල්කෝ සමාගම විසින් 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 471ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

මිල්කෝ සමාගම විසින් පසුගිය වර්ෂ තුනේ දී වාර්තාකොට ඇති ඉහළම අලාභය මෙය වන අතර දේශීය කිරි ගොවීන්ගෙන් එකතු කරනු ලබන කිරි ප්‍රමාණය සියයට 29කින් අඩුවීම මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2021 වර්ෂයේ දී මිල්කෝ සමාගම රුපියල් මිලියන 329ක ලාභයක් වාර්තා කර තිබුණි. සමාගම විසින් කාරක ප්‍රාග්ධන අරමුණු සඳහා ලබාගත් අයිරා පහසුකම් හේතුවෙන් බැංකු ණය ප්‍රමාණය 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 1230 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. මේ සමග මූල්‍ය පිරිවැය සියයට 444.8කින් විශාල ලෙස වැඩි වී ඇත. මිල්කෝ සමාගම විසින් ඉකුත් වර්ෂයේ දී කිරිපිටි මෙට්‍රික්ටොන් 2060ක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබුණ ද නිෂ්පාදනය කරනු ලැබූ කිරිපිටි ප්‍රමාණය ආයතනයේ විභවයට වඩා බෙහෙවින් අඩු අගයක පැවැති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment