VAT වැඩි වීම අර්බුදයක්

350

රටක් වශයෙන් බදු අය කර ගැනීම තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සහ ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදවල තිබෙන සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුදිතා කරුණාරත්න මහත්මිය සමග කළ සංවාදයකි.

බදු අය කර ගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳව ඔබට පවතින්නේ කවර අදහසක්ද?

රටක බදු අය කර ගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් කියන දේ ඉතා සංකීර්ණ දෙයක්. මෙවැනි වැඩපිළිවෙළක් යෝජනා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව සමාජ ආර්ථික සාධක මෙන්ම ඒ සඳහා විශේෂිත දැනුමක් සහිත පිරිස් හා මහජනතාවගේ අදහස් මත පදනම් මේක සිදු කළ යුතු වෙනවා.

බදු අය කර ගැනීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කළ යුතු දෙයක්. බද්දක් පැනවීමේදී ඒ සඳහා වූ අරමුණ බද්ද පැනවීමෙන් පසුව ඉෂ්ට වුණාද යන්න පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්. බද්දක් පැනවීමෙන් අවශ්‍ය අරමුණු ඉටු නොවන්නේ නම් එය අකාර්යක්ෂම වන අතර එය සමාජයට පිරිවැයක්.

බදු පැනවීමේ පරිපාලන බර අවම කළ යුතු වෙනවා. එය ඉතාම සරල විය යුතුයි. බදු අය කර ගැනීමට සාපේක්ෂව බදු ගෙවීමද සරල විය යුතුයි. විශේෂයෙන්ම බදු සාධාරණ ලෙස බෙදා හැරීමක් සිදු කළයුතු වෙනවා. මෙහිදී ඉහළ ආදායමක් ලබන පිරිසක් සිටියද ඔවුන් බදු ගෙවීම සිදු නොකරන්නන්, බදු පැහැර හරින්නන් බදු දැලට හසු කරගත හැකි විය යුතු වෙනවා. ඉහළ ආදායම් ලබන පිරිසෙන් ඉහළ බදු අනුපාතයකින්ද පහළ ආදායම් ලබන පිරිසෙන් පහළ බදු අනුපාතයකින්ද බදු අය කළ යුතුයි. එකම ආකාරයේ ආදායම් මට්ටම්වල සිටින පුද්ගලයන්ගෙන් එකම ප්‍රමාණයකින් බදු අය කළ යුතුයි. මේ හරහා ආදායම් විෂමතාව අවම කර ගැනීමට හැකි වෙනවා. ඒ ලබාගන්නා බදු ආදායම පහළ ආදායම් ලබන පිරිස සඳහා බෙදා හැරීමට අවස්ථාවක් තිබීම ඉතා වැදගත්.

රටක බදු අය කර ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳව මහජන විශ්වාසය ඇති කිරීම ඉතා වැදගත්. දියුණු රටවල පුද්ගලයන් බදු ගෙවන්නේ ඉතා කැමැත්තෙන් හා විශ්වාසයෙන්. මන්ද ඔවුන් ගෙවන බදු වලට සාපේක්ෂව ඔවුන්ට ලැබෙන සමාජ ප්‍රතිලාභය ඉතා ඉහළ බැවින්. බදු එකතු කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳව විවිධාකාර මතයන් තිබෙන්න පුළුවන්. සමාජයේ සියලුම පුද්ගලයන්ට අවබෝධ කර කරගත හැකි ආකාරයට හා බදු ගෙවීමට පහසු වන ආකාරයට ඔවුන්ගේ ජීවන රටාවට බලපෑමක් සිදු නොවන ආකාරයට බදු ගෙවීමට හැකි ක්‍රමයක් ඇති කිරීම ඉතා වැදගත් දෙයක්.

වැට් බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු කළ හැකි නිසා බදු බර පාරිභෝගිකයාට විතැන් කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙලෙස අගය එකතු කිරීම නිසා යම් මුදලක් හෝ සම්පූර්ණ මුදල පාරිභෝගිකයාට දැරීමට සිදුවෙනවා.

එමෙන්ම යෙදවුම් මිලදී ඇත්නම් එම පිරිවැය අඩුකරගැනීමේ හැකියාව ද නිෂ්පාදකයා සතු වෙනවා. භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සියලු දෙනා වැට් බද්දට යටත් වන අතර වැට් බද්දට සියලු ආදායම් කාණ්ඩවලට අයත් ජනතාව යටත් වන බැවින් සාමාන්‍ය ජනතාවට ඉතා විශාල පීඩනයක් මේ හරහා ලක් වෙනවා. පහළ ආදායම් ලබන පිරිසෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් පාරිභෝජන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැය කිරීමටත් එම භාණ්ඩ විශාල ප්‍රමාණයක් වැට් බද්දට ඇතුළත් වීම නිසා ඔවුන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් බද්ධ සඳහා වියදම් කිරීමට සිදුවෙනවා.

2024 ජනවාරි පළමු වන දින සිට මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ඇතුළත් කර තිබෙනවා. මෙහි වැට් බදු අනුපාතය 0 සිට 18% දක්වා එකවර වැඩිවන අතර පෙට්‍රල් සහ ඩීසල් මිල 18% කින් ඉහළ යන නිසා ප්‍රවාහන පිරිවැය ඇතුළුව ඉන්ධන මිල ඉහළ යෑම ආර්ථිකයට දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා. මෙමගින් නිෂ්පාදන වියදම ඉහළ යෑම, සෑම භාණ්ඩයකම මිල ඉහළ යෑමට හේතු වෙනවා. උද්ධමනය ඉහළ යෑම නිසා මධ්‍යම හා පහළ ආදායම් ලබන ජන කණඩායමේ ජන ජීවිතය තවත් කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. දැනටත් විශාල බදු බරක් දරමින් සිටින නිසා වැට් බද්දේ ඉහළ යෑම ඔවුන්ගේ ක්‍රය ශක්තිය තවත් පහළ දැමීමකට ලක් වෙන්න පුළුවන්. එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා සෑම ක්ෂේත්‍රයකම නිෂ්පාදනයන්ට දැඩිව බලපා හැකි අතර නිෂ්පාදකයන්, නිෂ්පාදනයෙන් ඉවත් වීම, ආයෝජන අධෛර්මත් වීම, තරගකාරිත්වයට මුහුණ දීමට නොහැකිවීම මෙන්ම අපනයන අධෛර්මත් වීම සිදුවිය හැකියි. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් ඇති කරනවා.

මේ අතර රසායනික පොහොර ඇතුළුව කෘෂි අංශයට අදාළ ට්‍රැක්ටර්, යන්ත්‍රෝපකරණ, පැළ, පලතුරු බීජ, තේ කර්මාන්තය සඳහා භාවිත කරන දේශීයව නිෂ්පාදනය කරන ලද යන්ත්‍රෝපකරණ, දේශීයව නිෂ්පාදනය කරන ලද පොල් තෙල්, පොල් කිරි, කොහු කෙඳි, පොල් අපද්‍රව්‍ය වලින් සාදන ලද බෑග්, පොල් ලෙලි, ලංකාවේ වගා කරනු ලබන ධාන්‍ය වලින් සාදන ලද ආහාර නිෂ්පාදන, අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර, සත්ව ආහාර, කිරි නිෂ්පාදන සහ සහල් නිෂ්පාදන, සීනි මෙන්ම ඉස්සන් හා ධීවර කර්මාන්තවට අදාළ උපකරණ වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. අනෙකුත් අංශවලට සාපේක්‍ෂව කෘෂි අංශය අපනයන ආදායමට දායකත්වයක් දැක්වුවද කෘෂි අංශයේ විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් වැට් බද්දට යටත් වන නිසා දේශීය නිෂ්පාදන අඩු වෙන්න පුළුවන්. රසායනික පොහොර වැට් බද්දට ඇතුළත් වීම නිසා කෘෂිකර්මාන්තයට මේ හරහා විශාල බලපෑමක් ඇතිවෙනවා. විශේෂයෙන්ම පොහොර පිරිවැය ඉහළ යෑම නිසා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීමත් මේ වන තෙක් කෘෂිකර්මාන්තයේ නියුතු වන ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීමක් පවා මේ හරහා සිදු වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදන මත තම ජීවන වෘත්තිය කරගත් විශාල පිරිසකට රැකියා අහිමි වීමක් සිදු වෙන්න පුළුවන්. අපනයන අභිමුඛ කර්මාන්ත බිඳ වැටුණහොත් එය අපනයන ආදායම අඩු කරනවා. එමෙන්ම කෘෂිකාර්මික හා අනෙකුත් දේශීය නිෂ්පාදන කඩා වැටුණ හොත් ඒවා ආනයනය කිරීමට සිදුවුවහොත් ආනයන වියදම වැඩි වීමක් සිදුවෙනවා. මෙය විදේශ වෙළෙඳ ශේෂ හිඟය තීව්‍ර කිරීමට බලපානවා.

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ පොත් පත්, ලිපි ද්‍රව්‍ය, සපත්තු මෙන්ම ජංගම දුරකථන, පරිගණක සහ පරිගණක උපාංග බද්දට යටත් වන නිසා අධ්‍යාපනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා. එමෙන්ම රෝහල් සත්කාරක සේවා, වෛද්‍ය උපකරණ, යන්ත්‍රෝපකරණ, උපකරණ, උපාංග සහ ඒවායේ කොටස්, රෝහල් ගෘහභාණ්ඩ, ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ හා සේවා රාශියක් බද්දට යටත් වන නිසා ජනතාව තවත් පීඩනයට පත්විය හැකි අතර එය රටේ අනාගත ශ්‍රම බළකායට සෘජුවම බලපානවා. සෞඛ්‍ය සම්පන්න සහ ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත ශ්‍රම බළකායක් රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා යන්ත්‍රෝපකරණ හෝ උපාංග, ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය භාවිත කරන මෘදුකාංග, දේශීයව නිෂ්පාදනය කරන ලද ජලවිදුලි හෝ සුළං බල යන්ත්‍රෝපකරණ සහ උපකරණ හා විදුලි භාණ්ඩ බද්දට යටත් වීම නිසා පුනර්ජනනීය සම්පත් මගින් විදුලි උත්පාදනයට ජනතාව අධෛර්යමත් කිරීමක් සිදු වෙනවා. එමෙන්ම කුලී රථ හා සංචාරක ප්‍රවාහන රථ වැට් බද්දට යටත් කර තිබෙනවා.

වැට් බද්ද පැනවීමට වාර්ෂික ආදායම මිලියන 80 ඉක්මවන ව්‍යාපාරිකයන් යටත් වෙනවා. නමුත් මෙය ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙනවා. උදාහරණයක් ලෙස එකම භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් දෙදෙනෙක්ගෙන් එක් නිෂ්පාදකයෙක්ගේ වාර්ෂික ආදායම මිලියන 81 ක් හා අනෙත් නිෂ්පාදකයෙක්ගේ වාර්ෂික ආදායම මිලියන 79 ක් නම් ආදායම මිලියන 81 ක් ලබන නිෂ්පාදකයා බද්දට යටත් වන අතර වාර්ෂික ආදායම මිලියන 79 ලබන නිෂ්පාදකයා බද්දට හසු වීමක් සිදු වෙන්නේ නැහැ. බද්දට යටත්වන නිෂ්පාදකයාගේ පිරිවැය ඉහළ යන නිසා ඔහුගේ භාණ්ඩයේ මිල ඉහළ බැවින් ඔහුට තරගකාරිත්වයට මුහුණ දීමට අපහසු වෙනවා. එම භාණ්ඩයම වෙළඳපොළේ අඩුවට තිබෙන නිසා ඔහුගේ ආදායම පහළ යනවා. එමෙන්ම බද්දට හසු නොවන නිෂ්පාදකයාට ව්‍යාපාරය පුළුල් කිරීමට සානුබල නොසපයනවා. ආදායම ඉහළ ගියවිට ඔහුද බද්දට හසුවනවා. අනෙත් අතට බද්දට හසු නොවන නිෂ්පාදකයා ද තම භාණ්ඩයේ මිල ඉහළ දැමීම මගින් කූට ලෙස කටයුතු කරන්න පුළුවන්. ව්‍යාපාරිකයා වැට් බද්ධ සඳහා යටත් වුවද මුළු බදු බර නිෂ්පාදකයා විසින් දැරිය යුතු වෙන්නේ නැහැ. වැට් බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු කළ හැකි නිසා බදු බර පාරිභෝගිකයාට විතැන් කිරීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. මෙලෙස අගය එකතු කිරීම නිසා යම් මුදලක් හෝ සම්පූර්ණ මුදල පාරිභෝගිකයාට දැරීමට සිදුවෙනවා. එමෙන්ම යෙදවුම් මිලදී ඇත්නම් එම පිරිවැය අඩුකරගැනීමේ පහසුකමද නිෂ්පාදකයා සතු වෙනවා.දේශීයව නිෂ්පාදනය කරන විශාල භාණ්ඩ ප්‍රමාණයක් සඳහා වැට් බදු අලුතින් එක් කිරීම හරහා සමාජය විශාල අර්බුද රැසකට මුහුණ දීමට හේතු වෙනවා. දේශීය නිෂ්පාදනය කඩා වැටුණහොත් දේශීය නිෂ්පාදන මත තම ජීවන වෘත්තිය කරගත් විශාල පිරිසකට ආදායම් හා රැකියා අහිමි වීම මත අඩු හා මධ්‍යම ආදායම් ලබන පිරිස තවත් වැඩිවී දරිද්‍රතාව ඉහළ යෑමක් සිදු වෙනවා. එවිට රජයට සුබසාධන වියදම් ඉහළ දැමීමට සිදුවෙනවා. එමෙන්ම දේශීය නිෂ්පාදනය කඩා වැටුණහොත් එම භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට සිදුවන අතර එමගින් අනයන වියදම ඉහළ යා හැකි අතර අපනයන අඩාල වීම මගින් අපනයන ආදායම පහළ යෑමට හේතු වෙනවා. විදේශ වෙළෙඳ හිඟය ඉහළ යෑම විදේශ සංචිත කෙරෙහි සෘජුවම බලපානවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ අඩාල වුවහොත් රජයට ඒ සඳහා සුබසාධන වියදම් ඉහළ දැමීමට සිදු වෙනවා. මේ නිසා 2024 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉලක්ක රාශියකට ළඟා වීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට රජය වැට් බද්ද ඉහළ දැමුවද බද්දේ අරමුණ ඉටුකර ගැනීමට හැකිවේද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගතහොත් අපේ රටේ සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටීමක් ලෙසට තමයි මම මේක දකින්නේ. අපේ රටේ ආර්ථිකය දැනට පවතින තත්ත්වයට වඩා ඉතා පහළ මට්ටමකට පත්වීමට මෙම බදු ඉහළ යෑම හේතුවක් වෙනවා කියන එක තමයි මගේ අදහස වෙන්නේ.

මෙහි මුල් කොටස 19 වැනිදා පළවිය

සචිනි චතුරිකා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment