අතුරු අයවැයෙන් – ආර්ථික අර්බුදයට  විසඳුම් ලැබෙයි ද?

301

2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා වන අතුරු අය වැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන අයවැයක් ලෙස මෙය ඉදිරිපත් කළ අතර ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස ජනාධිපතිවරයා එම අය වැය හඳුන්වා දුන්නේය. නොවැම්බර් මස ඉදිරිපත් කරනු ලබන වසරේ (2023)  අයවැය මගින් නව ආර්ථිකයක්  ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බව ද අතුරු අයවැය ඉදිරිපත් කරමින් ජනපතිවරයා පැවසීය. තවමත් මේ අතුරු අයවැය ඉදිරිපත් වූවා පමණි. ඒ ගැන ඉදිරි දිනවල පුළුල් ලෙස සාකච්ඡා වනු ඇත. මේ පසුබිම තුළ මේ අතුරු අයවැයේ අන්තර්ගතය ගැන අපි මේ ලිපියෙන් සැකවින් සාකච්ඡා කරමු.

 අතුරු අයවැය කතාව පවත්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

 “මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමයි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්නට කැමතියි. “රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි.” මෙන්න මේ අයුරින් අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතාවන්ට අනුව, අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්න හැකිනම්, අපට ආර්ථික අර්බුදය විසඳා ගන්න පුළුවන්.”

 සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා මේ සදහන කර ඇත. මෙවර අයවැයේ ඇති එක් යෝජනාවක් වන්නේ ද මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටු විය යුතු බවයි. එය අපි අගය කරමු. ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතනයක් ගතහොත් එවැනි ආයතනවල දැවැන්ත පාඩු මේ රටේ ඇතැම් විට කිසිම දිනක ගුවන් යානයකවත් ගමන් කර නැති සාමාන්‍ය ජනයාට පවා දරන්නට සිදුව තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුය. එසේ වුවත් මේ ලියුම්කරු සිතන්නේ රටකට ජාතික ගුවන් සේවයක් තිබිය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රතිව්‍යුහගත කිරීම යනු යම් ආයතනයක් විකුණා දැමීමම නොවේ. පුද්ගලීකරණය යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ක්‍රමවේදයක් පමණකි. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම විකුණා දැමිය යුතු ද නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් නම් මේ ලියුම්කරු සිතන්නේ ජාතික ගුවන් සේවයේ නාමය

 රැකගෙන සුදුසු ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බවයි. එය කරන ක්‍රමය ජනපති යෝජනා කරන රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය හරහා සුදුසු පරිදි තීරණය කළ හැකිය. මේ ආකාරයට පාඩු ලබන සියලු ආයතන රාජ්‍ය අයිතිය යටතේ හෝ පුද්ගලික අයිතිය යටතේ හෝ යම් නව කළමනාකරණයකට පැවරීමෙන් හෝ ප්‍රතිව්‍යුහගත කළ හැකිව තිබේ. මේ නිසා රජය පුළුල් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කරන අතර ව්‍යාපාර කටයුතු බොහොමයක් සිදු කරමින් සිටින තත්ත්වයෙන් ඉවත්ව අදාළ පාඩු ලබන ආයතන කාර්යක්ෂම පාලනයකට ඉඩ ලබාදිය යුතු වේ. එමගින් මහජනයා වෙත පැටවී ඇති බර නැති කරගත යුතු වේ.

 අප ඕනෑ තරම් අයවැය කතා අසා ඇත. ඒ සෑම එකකම බොහෝ සුන්දර දේ සඳහන්ව තිබුණි. ඒවා යථාර්ථයක් වුවා නම් අද රට මේ තත්ත්වයට පත් වන්නේ ද නැත. ඒ නිසා කතාවෙන් පමණක් අපට අයවැයේ හොඳ හෝ නරක විමසිය නොහැකිය. වඩාත් වැදගත් වන්නේ අයවැයේ සඳහන් දේ කෙතරම් දුරට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. අපට ඉතා ඉක්මනින් මේ පවතින ආර්ථික අගාධයෙන් ගොඩ ආ යුතු වේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි ප්‍රතිසංකරණ රැසක් තිබේ. ඒ හරහා 2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කර ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්‍රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාවේ දී සඳහන් කර ඇත.

 ජනාධිපතිවරයා සිදු කළ අතුරු අය වැය කතාවේ සාරාංශගත කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

 ● 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2%‍ සිට 15%‍ දක්වා වැඩි කිරීම.

 ● 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2්‍රකට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළඟා කර ගැනීම.

 ● උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම.

 ● සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරීම.

 ● මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ලබාදීම.

 ● මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම

 ● රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම.

 ● රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම.

 ● ජාතික ණය කළමනාකරණ ආයතනක් පිහිටුවීම

 ● රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම.

 ● රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20්‍ර ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම.

 ● ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10ල000ක් බැගින් ලබාදීම.

 ● ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන 133ක්.

 ● මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 – 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම සහ පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම.

 ● වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම සහ පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක් ලබාදීම.

 ● ඉදිරියේදී හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම.

 ● කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම.

 ● දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම.

 ● රජයේ ඉඩම් ඵලදායීව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීමට වැඩපිළිවෙළක්.

 ● ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්.

 ● දේශීය විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල සහාය ඇතිව පර්යේෂණ හා සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජකරණය සඳහා යාන්ත්‍රණයක්.

 ● ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් (High-end tourists) ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්.

 ● විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන් වේ.

 ● තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල පිහිටුවීමට පහසුකම්.

 බැලු බැල්මට නම් මේ බොහොමයක් යෝජනා අගය කළ හැකිය. මෙවැනි අදහස් සහ යෝජනා බොහොමයක් පසුගිය ඉතිහාසය පුරා අයවැය කතාවල ද ඕනෑ තරම් සඳහන්ව ඇත. අප ඒවා අසා කියවා ඇත. එහෙත් අවශ්‍ය වන්නේ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමයි. මේ මොහොත ගතහොත් අප සිටින්නේ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නොකර සිටිය නොහැකි මොහොතක ය. මේ නිසා අප සිටින්නේ ඉතාමත් තීරණාත්මක තැනකය. විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ දී ද ඔවුන් සමග ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහනකට අපට එකඟ වීමට සිදුවේ. මේ නිසා අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් මෙතෙක් පැමිණි ආර්ථික ගමන් මගෙන් වෙනස් වූ නව ආර්ථිකයක් ගොඩනැගීමට අප අනිවාර්යයෙන් යොමු විය යුතු වේ. එය අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනය කරන ආර්ථිකයක් නොව අපනයන ආදායම් වැඩි කර ගැනීමට ප්‍රමුඛත්වය දෙමින් එම උපයන විදේශ විනිමය මගින් අපට අත්‍යවශ්‍ය ආනයන සිදු කර ගැනීමේ ආර්ථිකයක් විය යුතුය.

 ආර්ථීක අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ඇතුළු අතුරු අයවැයේ සඳහන් කරුණු සඳහා ඉඩ තබා ගැනීමට 2022 මුල් අයවැයේ ප්‍රාග්ධන වියදම්වලින් හා අඩු ප්‍රමුඛතාවයකින් යුතු වියදම්වලින් රුපියල් බිලියන 300 (රු. කෝටි 30ල000) කට ආසන්න ප්‍රතිපාදන යොමු කර තිබේ. ඊට අමතරව අවශ්‍ය කරන්නේ බිඳ වැටී ඇති රාජ්‍ය ආදායම නංවා ගැනීමයි. ඒ සඳහා මීට පෙර සියයට 8 ට පැවති වැට් බද්ද සියයට 12 දක්වා වැඩි කරන ලද අතර මෙවර අතුරු අයවැයෙන් අද (සැප්තැම්බර් මස 0 1) දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා තවදුරටත් වැඩි කර ඇත. 2022 මැයි මස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ද ඔක්තෝබර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වෙන බව ද අතුරු අයවැයේ සඳහන්ය. මේ සම්බන්ධයෙන් කිව යුත්තේ උද්ධමනය සියයට 60 ද පසුකරමින් මේ වන විට බඩු මිල අහස උසට වැඩි වී ඇති බවයි. ඒ නිසා බදු වැඩි කර ගැනීමේ දී ආදායම් හා ලාහ මත එනම් බදු

 ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති පිරිස්වලින් වැඩි බදු ආදායමක් රජයට ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි. එනම් වක්‍ර බදු වෙනුවට සෘජු බදු ආදායම්වලින් බදු ආදායම් වැඩියෙන් උපයා ගැනීමට කටයුතු කළ යුතු බවයි. නැතහොත් ජීවන වියදම වැඩිවීමෙන් හොඳටම පීඩාවට පත්ව සිටින අතිමහත් බහුතර ජනයා මේ නව වක්‍ර බදු හරහා තව තවත් පීඩාවට පත්වනු ඇත.

 සෘජු බදු ආදායම් ඉහළ නැංවීමේ මෙම උත්සාහයේ දී බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බදු අනුකූලතාවය වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට, බදු පරිපාලනයට විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. වක්‍ර බදු බර නම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා කොහොමත් සියලු ජනයා මත පැටවේ. මහජනයා ගෙවන එම බදු ව්‍යාපාරික ප්‍රජාව හරහා රජයට හරිහැටි එකතු කරගත යුතු වේ. දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව, වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. මේ දිනවල මේ යෝජනාව ගැන ද බොහෝ කතාබහට ලක් වෙමින් තිබේ. අයවැය යනු වෙනස් නොවන පරම සත්‍ය සඳහන් වන ලියවිල්ලක් නොවේ. මේ නිසා අයවැයේ එතරම් සුදුසු නොවන යෝජනා සහ අඩුපාඩු ඇත්නම් ඒවා ද නිවැරදි කරගනිමින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වේ. මෙහිදී පෙන්වා දිය යුතු තවත් කරුණක් වන්නේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ දී සහනාධාර අත්‍යවශ්‍ය සුදුසු අයට පමණක් ඒවා නිසි ලෙස ඉලක්ක කර ලබාදිය යුතු බවයි. සමෘද්ධිය ඇතුළු සහනාධාර වැඩසටහන් බොහෝ දේශපාලනීකරණය වී ඇති බව රහසක් නොවේ. එනම් ගම්වල ඇතැම් ලැබිය යුතු පවුල්වලට සමෘද්ධිය නොලැබී ඇති බවටත් මුදල් තිබෙන අයටම එම සහනාධාර බොහෝ විට ලැබී ඇති බවටත් බොහෝ චෝදනා තිබේ. මේ ආර්ථික අර්බුදයෙන් අතිශය පීඩාවට පත්ව සිටින ජනයාට මේ සම්ප්‍රදායික සහනාධාර ලබාදෙන වැඩසටහන් මතම සහනාධාර මුදල් වැඩි කිරීමෙන් බොහෝ දෙනෙකුට අසාධාරණයන් වීමට සහ සහන අහිමි වීමට ද ඉඩ තිබේ. මේ නිසා කිසිදු දේශපාලනයකින් හෝ භේදයකින් තොරව සහන ලැබිය යුතු අත්‍යවශ්‍ය අයට සහන ලැබෙන බවට ද රජය වගබලා ගත යුතු වේ. එනම් මේ අමාරු වෙලාවේ දෙන ජනතා සහන අවභාවිතයට ලක් නොවෙන ලෙස නිසිලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අපි රජයට සිහිපත් කරමු.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment