ශ්‍රී ලංකා – IMF එකඟතාවකට එයි – නිල නිවේදනය අද

189

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවත් මේ බව අද (07දා) නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මූල්‍ය හා ආර්ථික නියෝජිතයන් සමග පසුගිය සතියේ සාකච්ඡා ආරම්භ කළ අතර එම සාකච්ඡා ඊයේ (31දා) අවසන් විය. ඒ අනුව එම මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (01දා) උදේ 11.00ට මහ බැංකු මූලස්ථානයේදී නිල වශයෙන් මාධ්‍ය හමුවක් පවත්වයි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් වන මූලික එකඟතාව ප්‍රකාශ කරනු ඇතැයි ද “දිවයින”ට වාර්තා වෙයි.

මෙම මාධ්‍ය හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද උදේ 11.00ට මහ බැංකුවේදී පැවැත්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් එම අරමුදලේ කළමනාකාරීත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඊට පසුව ආධාර ලබන රටවල්වලට ඒ සඳහා ප්‍රවේශය හිමි වේ.

මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ණය හිමියන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මාධ්‍යයට පවසා තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment