අද දිනුවොත් රටවල් තුනක් පරාදයි – ලෝක වාර්තාවේ දෙවැනි තැන සොයන සටන

15584

ඔස්ටේ්‍රලියාවට පසුව වැඩිම එක් දින තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වීමේ වාර්තාව තමන් සතු කර ගැනීමේ අරමුණෙන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතය.

එක්දින තරග 21 ක් අඛණ්ඩව ජයග්‍රහණය කරමින් 2013 වසරේ දී ඔස්ටේ්‍රලියාව එහි ලෝක වාර්තාව පිහිටුවා ඇත.

පකිස්ථානය (2007 – 2008) තරග වාරයේදී සහ දකුණු අප්‍රිකාව (2016-2017) තරග වාරයේදී අඛණ්ඩව තරග 12ක් ජයග්‍රහණය කර එම අඛණ්ඩ වාර්තාවේ දෙවෙනි තැන සමව හිමිකරගෙන සිටියේය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය දා පකිස්ථානයේදී ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ද එක් දින තරග 12ක් අඛණ්ඩව ජයගනිමින් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව සමග එම වාර්තාවේ සම තැනට හිමිකම් කීය.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තෙවැනි තැනට පත් කර අඛණ්ඩව ලොව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායමට හිමි වාර්තාවේ දෙවන ස්ථානයේ තනි අයිතිය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.

අද පැවැත්වෙන තරගය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගය මෙන්ම මෙවර තරගාවලියේදී කොළඹ පැවැත්වෙන පළමු තරගය ද වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සුපිරි වටය යටතේ සහභාගි වන පළමු තරගය ද මෙය වේ.

බංග්ලාදේශය සුපිරි වටය යටතේ සහභාගි වූ පළමු තරගයෙන් පකිස්ථානය හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබ පෙරේදා යළි මෙරටට පැමිණියේය.

තරගාවලියේ “බී” කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත් අතර මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ කඩුලු 5 ක පහසු ජයක් ලැබූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ තියුණු සටනක නිරතව සුපිරි වටයට පැමිණියේය.

අද තරගය සඳහා ද කණ්ඩායම් දෙකම පසුගිය තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් යෙදවීමට බොහෝ දුරට ඉඩ ඇත.

අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ කසුන් රාජිත, මතීෂ පතිරණ

අනුමාන කළ හැකි බංග්ලාදේශ කණ්ඩායම –

මොහොමඩ් නයිම්, ලිටන් දාස්, අෆිෆ් හොසේන්, ෂකීබ් අල් හසන් (නායක), ටව්හිඩ් හ්රිඩෝයි, මුෂ්ෆිකර් රහීම්, ෂමිම් හොසේන්, මෙහීඩි හසන් මිරාස්, ටස්කින් අහමඩ් ෂෝරිෆුල් ඉස්ලාම්, හසන් මහමුද්
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment