අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දැවෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුව පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය මෙරටට ගේන්න සාකච්ඡා කරනවා

223

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට අධ්‍යාපනය බරපතළ අර්බුදයකට ගොස් ඇති අවස්ථාවක ඒ ගැන කිසිදු තැකීමක් නොකරන ආණ්ඩුව පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙන ඒම වැනි ප්‍රායෝගික නොවන ප්‍රතිසංස්කරණ ගැන කතා කරමින් සිටින බව ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා 22 වැනිදා සඳහන් කළාය.

රටට මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණද එසේ නොමැති නම් පවතින ගැටලුවලට නිශ්චිත ප්‍රායෝගික විසඳුම්ද යන්න සිතා බැලිය යුතු බවත් එම මහත්මිය කීවාය.

ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා 22 වැනිදා එම අදහස් පළකලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද කීවාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් මතුවී දෙමාපියන්ටත්, ශිෂ්‍යයන්ටත්, ගුරුවරුන්ටත් දැඩි මානසික පීඩනයක් ඇතිවන තත්වයක් අද තිබෙනවා.

දරුවන්ගේ පාසල් පැමිණීම නිරාහාරව සිදුවන බවට විශාල වශයෙන් වාර්තා වෙනවා. දරුවන් ක්ලාන්තවී වැටෙනවා. මෙවැනි තත්වයක් තුළ දරුවන් ඉගෙන ගන්නේ කොහොමද කියලා ආණ්ඩුව කිසිම තැකීමක් කරන්නේ නැහැ. පවුල්වල ආර්ථික පීඩනය ඉහළ යාමත් සමග දරුවන්ගේ අධ්‍යාපනයට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට යන සියලු ක්ෂේත්‍රවලට බලපානවා. පළවෙනි පන්තියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම මේ පීඩනය තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ කිසිවක් නැති ආකාරයට කටයුතු කරමින් පින්ලන්තයේ අධ්‍යාපන ආකෘතිය මෙහෙට ගේන්න සාකච්ඡා කරනවා. ඊට වඩා දැවෙන ප්‍රශ්න අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ විශාල මානසික ආතතියක් සහ පීඩනයත් එක්කයි. මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණද, නැත්නම් තිබෙන ගැටලුවලට නිශ්චිත ප්‍රායෝගික විසඳුම්ද කියලා හිතන්න වෙනවා. පෙර තිබුණාට වඩා උග්‍රවී තිබෙන මානසික සෞඛ්‍ය ප්‍රශ්න, මනෝ සමාජීය ප්‍රශ්න, සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. අධ්‍යාපනයේ වගකීම පංති පැවැත්වීම පමණක් නොවේ. පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මානසික සෞඛ්‍යය සහ මනෝ සමාජීය අර්බුදය ගැනත් ප්‍රමුඛතම මැදිහත්වීමක් අවශ්‍යයි.

මෙයට පෙරත් අපේ රටේ සියදිවි නසා ගැනීම් ලෝකයේ මුල් තැනට ඇවිත් තිබුණා. මේ වන විට ඒ තත්වය පාලනය වී තිබුණේ වෛද්‍ය මැදිහත්වීම් තුළින් ජීවිත බේරා ගැනීමට හැකිවීම නිසා වුවත් සියදිවි නසා ගැනීමට තැත් කිරීම අඩුවක් වී තිබේදැයි ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිවැරදි දත්ත නැහැ. මානසික සෞඛ්‍යය පිළිබඳව විශ්වසනීය දත්ත නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තීරණ ගැනීමට දත්ත අත්‍යවශ්‍යයි. තරුණ ජීවිතවල මානසික සුවය සහ මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මැදිහත්වීමේ විශාල වගකීමක් අධ්‍යාපන ක්ෂේත්‍රයට තිබෙනවා. මේ යථාර්ථය තේරුම් ගෙන ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතුයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ වෘත්තීය සංවිධානවලට මේ සම්බන්ධයෙන් මැදිහත්වීමේ විශේෂ වගකීමක් තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව සංවේදී වී සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී පරිස්සම් වෙන ලෙස ඉල්ලා සිටිනවා. අනවශ්‍ය අවධානයක් දීම තුළින් වීරත්වයක් ආරෝපණය කිරීමේ හෝ අනුකම්පාවට ලක්වීමේ අන්ත දෙකට නොවැටිය යුතුයි. ප්‍රධාන මාධ්‍යයෙනුත් මේ පිළිබඳව වාර්තා කිරීමේදී ඉතාම පරෙස්සම් විය යුතු බව අවධාරණය කරනවා. මේ සියල්ල තුළ සුවිශේෂීව අධ්‍යාපන බලධාරීන් මැදිහත්වීම් කළ යුතුයි. විභාග පැවැත්වීම පමණක් ඉලක්ක කරගෙන ක්‍රියා නොකළ යුතුයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment