අන්දුන් කුන්දුන් දේශපාලනය සහ යන්තම් සන්තම් එදා වේල!

273

2024 පළමුවැනි සතිය අවසන් වූයේ ද විවිධ සමාජ ආර්ථික හා දේශපාලන කැළඹීම් මැද ය. බොහෝ දෙනෙකුගේ අවධානයට පමණක් නොව, වාද විවාද සංවාදවලට නිමිති වූයේ මෙම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ වැට් බදු පිළිබඳවය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවත්, ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් විසිනුත් දක්වන ලද අදහස්වල හරය වූයේ බදු නොමැතිව රටක් ගෙන යා නොහැකි බව ය. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත් විපක්‍ෂවල මෙන්ම බොහෝ වෘත්තීය හා සිවිල් සංවිධාන පළකරන විවේචනවල හරය වන්නේ ආණ්ඩුව හිත් පිත් නැතිව ජනතාව මත දරා ගත නොහැකි පීඩනයක් පටවා තිබෙන බවය. එසේම පාලකයන්ගේ ගජ මිතුරු කණ්ඩායම්වලට බදු සහන පමණක් නොව, බදු නොගෙවා කරබාගෙන සිටීමේ වරම් ද ලබා දී ඇති බව ද ඔව්හු පුන පුනා කියති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බදු සහන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පැහැදිලි කිරීම් ද කර තිබේ. එපමණක් නොව, සාමාන්‍ය ජන ජීවිතයට බලපාන භාණ්ඩවල මිල ගණන් අවම කිරීමට යම් යම් ප්‍රයත්නයන් දරා ඇති බව ද පෙනේ. එසේ වුවද මෙරටේ ජනතාවගෙන් සෑහෙන කොටසක් අද මුහුණ දී සිටින්නේ ජීවත්වීමේ අරගලයට ය. ඔවුන්ට එදා වේල පිරිමසා ගැනීමට තරම්වත් වත්කම් නැත. ආර්ථික විශේෂඥයන් විසින් මේ අර්බුදයට තුඩු දුන් හේතු විද්‍යාත්මකව පෙන්වා දී තිබුණත් පාලකයන් බොහෝ විට ඒවා ගැඹුරින් අවධානයට නොගන්නා බව ද කියනු ඇසෙයි.

මෙතෙක් පැවැති හැම ආණ්ඩුවක්ම ව්‍යාපාර කටයුතුවලදී අනුබල අනුග්‍රහ ලබා දී ඇත්තේ තම ගජ මිතුරන්ට බවට විවෘත චෝදනාවක් ද ඇත. විදුලිබල නිෂ්පාදනය ගැන ඇසෙන චෝදනා බොහෝ ය. මෑතක දී බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ද එබඳුම විවේචන ඇසුණි. මේවා එසේ වන්නේ ඡන්ද වැඩවලදී මිලියන ගණනින් පක්‍ෂවලට ලබාදීමට බව ද කියති. එනිසා පාලකයන් සමග සමීප සබඳතා ඇති දූෂිත ව්‍යාපාර චෞර වළල්ල පිළිබඳ චෝදනාවේ පදනමක් ද ඇතැයි සිතිය හැකිය. දූෂිත ටෙන්ඩර් ගනුදෙනු, ආයතන විකිණීම් ආදිය සම්බන්ධයෙන් නැඟෙන විවේචන සුළුපටු නැත. නීතිගරුක හා සදාචාරාත්මක ව්‍යාපාරික පද්ධතියක් ගොඩනැඟීම මේ අනුව සිහිනයක් පමණි. එනිසා බදු ඉහළ දැමීමෙන් පමණක් රටක ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව වටහා ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය ද නැත.

මේ දිනවල අහස උසට නැඟ තිබෙන අත්‍යවශ්‍ය ආහාර මිල ගැන මාධ්‍යවල සඳහන් වේ. එළවළු හා මාළු මිල අධිකය. මිරිස් කරලක මිල රු. 15ක් බව ද කිලෝවක මිල බෙදා එයට අඩංගු කරල් ගණන අනුව පෙන්වා දී තිබේ. ඒවා පාලකයන් නුරුස්සන විවේචන විය හැකිය. එහෙත් සත්‍යය එයයි. වෙළෙඳ පොළවල ගැවසෙන සාමාන්‍ය ජනයා විසින් කරනු ලබන විවේචන ඉතා දැඩි ය. වැට් බදු ගැන වැරදි පුවත් හෝ කුපිත කිරීම් කරන අය දඬුකඳේ ගැසිය යුත යැයි ජනාධිපතිවරයාගේම ඇතැම් උපදේශකයෙක් කියයි. එහෙත් මේ උතුමෝ මහ පොළොවේ පය තබන අය නොවෙති. සුපිරි වාහනවලින් රැකවලුන් පිරිවරාගෙන යන මේ ඇත්තෝ ජනතාවගේ පැලකට හෝ මැද පන්තියේ නිවසකට හෝ එබී බලන්නෝ නොවෙති. ආණ්ඩුව වැටුණොත් මේ බොහෝ දෙනෙකුට සිදුවන සන්තෑසිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දින කීපයකට පෙර පොහොට්ටුවේ ප්‍රබලයකුට අනුරාධපුර තම බල ප්‍රදේශයේ දීම මහජනයාගෙන් ‘හූ සංග්‍රහයක්’ ලැබුණු බව වාර්තා විය. මේවා දේශපාලන ප්‍රතිචාරම විය හැකිද? ජනතාවට අද තිබෙන දේශපාලනය මෙන්ම එහි නායක කාරකාදීන් ගැන වුවද ප්‍රසන්න හැඟීම් ඇතැයි සිතිය නොහැකි ය.

වැට් බදුවලට අමතරව ආණ්ඩුව විසින් යෝජනා කරන ලද අවුරුදු 18ට වැඩි සියලුදෙනාම බදු අංකයක් ලබා දිය යුතුය යන නීතිය ගැන ද විවාදාත්මක තත්ත්වයක් මතු වී තිබේ. මෙය බොහෝ දෙනාගේ සැකයට තුඩු දුන් යෝජනාවකි. ආණ්ඩුව නියම කළ ආදායම් සීමාවට අයත් නොවන්නකුට බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය කළ යුතු ද? මෙහිදීත් ක්‍රියාකළ ඇත්තේ ජනතාව පසුපස ලුහුබැඳීමක් දැයි සමහරු ප්‍රශ්න කරති. බදු පැහැර හරින අය මෙන්ම බදු හොරුන් අල්ලා ගැනීමට ආණ්ඩුවට අයිතියක් ඇත. එහෙත් හැම පුරවැසියකුටම එබඳු අලුත් බදු අංකයක් ලබාගැනීමේ නීතියක් පැනවීම සාධාරණ ද? මෙහිදී අපූර්ව ජන කතාවක් සිහිපත් වේ. එනම් එක් පාලකයකුට තම පයට දූවිලි වැදීම වැළැක්වීමට අවශ්‍ය විය. ඔහුගේ පුරෝහිතයන් යෝජනා කළේ හැම වීදියක්ම අතුගා දූවිලි ඉවත් කර තැබිය යුතු බවය. එහෙත් එයට විරුද්ධ වූ අයගේ යෝජනාව වූයේ පාලකයා විශේෂිත පාවහන් යුගලක් පැලඳ දූවිලිවලින් ප්‍රවේශම් වීම ප්‍රායෝගික බවය. රටක නීති සකස් කරන අය ද ඒවායේ ප්‍රායෝගික තත්ත්වය විමසා බැලිය යුතුය. බොහෝ ජනමාධ්‍යවල බදු පැහැර හරින ලද සමාගම් මෙන්ම බැංකුවලට පොලු තැබූ ධන කුවේරයන් ගැන ද දැක්වුණු අවස්ථා එමටය. එනිසා නිකරුණේ බදු අංක ලබාගැනීම හිරිහැරයක් මෙන්ම මානසික පීඩනයක් බවට තිබෙන විවේචනය බැහැර කළ නොහැකි ය. අද වනවිට සමාජ විරෝධතාවක් මතුව තිබෙන වැට් බද්ද මුල්වරට හඳුන්වාදෙන ලද්දේ 2002 දී පමණය. එහෙත් එයට එකල මෙබඳු විරෝධයක් නැඟුණේ ද නැත. මේ වනවිට ඇතැම් භාණ්ඩවලට වැඩි වී ඇත්තේ සියයට තුනකි. ඊට අමතරව භාණ්ඩ ගණනාවක් අලුතින් බදුවලට යටත් කර තිබේ. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මේ බදු පීඩනය නොදැනෙන විශේෂ පිරිසක් සිටීමය.

අන්දුන් කුන්දුන් දේශපාලනය සහ යන්තම් සන්තම් එදා වේල!

මෙරටේ ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් කීපදෙනෙකුම වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ලබා දී තිබේ. එහෙත් අද සිදුවන්නේ ඒ සියලු විනාශයේ විපාක ලක්‍ෂ 220ක් වූ ජනතාවගෙන් බහුතරයක් මත පැටවීමක් නොවේද? ඇත්තට ම මේ රටේ කුරා කුහුඹුවකුටවත් තරම් වරදක් නොකළ වැරදිකාර මිනිස්සු සිටිති. දේශපාලන හෝ නිලධාරි රටට කළ විපත් හා ඔවුන්ගේ පව් කඳු කර තබා ගෙන යෑමට ඒ වැරදිකාර මිනිසුන්ට සිදු වී තිබේ. ඒ පාලකයන් නඩත්තු කිරීමටත් ඔවුන්ට සුව පහසු ජීවිත සලසා දීමටත් ඒ ජනතාවගේ බදු මුදල් යෙදවීම සාධාරණ ද? යුක්ති සහගත ද? රටක අර්බුදයකදී කැප කිරීම් කළ යුත්තේ ජනතාව පමණක් ද? අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පසුගිය දිනක වදාළේත් ජනතාවට සහන දීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බව ය. මල්වතු පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ද වදාළේ මේ රටේ විධායක ක්‍රමය අවසන් කරන බව පවසා බලය ලබා ගත් අය කළේ ජනතාව රැවටීමක් බවය. මෙබඳු විවේචන වෙනත් ආගමික නායකයන් විසින් ද කරනු ලැබ ඇත. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ පාලකයන්ට එල්ල කරන විවේචන ද ඉතා දැඩි ය. ඔවුන්ට ජනතාවගේ දුක පීඩනය නොදැනෙන බව ය. ඇත්ත වශයෙන් ම රටේ සැබෑ තතු දන්නා සුළු පිරිසක් හෝ දේශපාලනයේ සිටිති. සමහරු වුවමනාවෙන් ම ඒවා නොතකා බලය සඳහා කැප වී සිටිති. ලෝක ආහාර වැඩසටහන විසින් කරන ලද සමීක්‍ෂණයකින් ද අද ලංකාවේ පවුලක ජීවන දරිද්‍රතාව හා ගැටලු පෙන්වා දී තිබේ. ඒවා පුන පුනා උපුටා දැක්විය යුතු නැත. රටේ ඇත්තේ ආර්ථික අර්බුදයක් පමණක් ම නොවන බව මේ වාර්තා අනුව පැහැදිලි වේ.

ආර්ථිකය යනු දේශපාලනය සමග බැඳී තිබෙන්නකි. දේශපාලනය විසින් හසුරුවනු ලබන ආර්ථිකය බොහෝ විට ප්‍රශ්නකාරී එකක් ද විය හැකිය. එයට හේතුව ආර්ථිකය දෙවැනි තැනට පත් වීමය. රාජපක්‍ෂවරුන්ගේ නඩු තීන්දුව විමසා බලද්දීත් එය තහවුරු වේ. අද මෙ රටේ ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවය. වැට් බද්ද ඔවුන්ගේ අභිමතයට එකඟ වීමකි. කවුරුන් කෙසේ කීවත් ඒ මූල්‍ය උපදෙස් බැහැර කිරීමට මේ ආණ්ඩුවට නොහැකිය.

මේ වනවිට විරෝධතා හා උද්ඝෝෂණ මැඬලීම සඳහා ආණ්ඩුව දැඩි ප්‍රතිචාර දක්වයි. විදුලිය, වරාය, ගුවන් සේවය, අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශිතය. ඇතැම් වාත්තීය සංගම්වල නායකයන් අනිවාර්ය නිවාඩු යවා තිබේ. විදුලිබල මණ්ඩලය විසින් ද උද්ඝෝෂකයන්ට රතු එළි දල්වා තිබේ. ඔවුන්ට සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කිරීම ද තහනම් ය. විදුලිබල මණ්ඩලය අගතියට පත්වන අයුරින් සමාජ මාධ්‍යවලට ද ක්‍රියාකළ නොහැකි බව දැක්වේ. මේ සියලු තත්ත්වයන් යටතේ වුවද විදුලිබල සේවකයෝ වීදි බැස සිටිති. කටුනායක ගුවන්තොටුපළ හා සම්බන්ධ වෘත්තීය සමිතිවල සමහරුන්ගේ ද සේවය අත්හිටුවා ඇතැයි වාර්තා විය. මෙබඳු ප්‍රතිචාර ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන මර්දනකාරී බවට විපක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන ද ප්‍රකාශ කරයි. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන එන පනත් සේවක වෘත්තීය සංවිධානවල විරෝධතාවලට හේතු වී ඇත. මේවා ලබන සතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ද වාර්තා වේ. රටට ජනතාවට යහපතක් වන පරිදි රාජ්‍ය ආයතන ව්‍යුහයක් සකස් කිරීම අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් මෙතෙක් සිදුව ඇත්තේ බොහෝ ප්‍රතිසංස්කරණ මුවාවෙන් ජනතා සම්පත් විනාශ කිරීමක් හෝ ව්‍යාපාරික හිතවතුන් පිනවීමක් බව ද ජනතාව දනී. මේවා බොහෝ විට දේශපාලනඥයන්ගේ අත යට ගනුදෙනු බවට පත්ව තිබෙන බවට ද චෝදනා නැඟෙයි. ඇත්ත වශයෙන්ම මෙ රටේ රාජ්‍ය අංශය අකාර්යක්‍ෂම වූයේත් ආර්ථිකයට බරක් වූයේත් ඒවා අසීමිත ලෙස දේශපාලනීකරණය වීම නිසා බව ද රහසක් නොවේ. ජා.ජ.බ. අනුර කුමාරට අනුව මේ ආණ්ඩුව ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමේ අපේක්‍ෂාවෙන් ක්‍රියාකරයි. ටෙලිකොම්, රක්‍ෂණ මෙන්ම වරායේ ජැටි විකිණීම ජාතික අපරාධයක් බව ද ඔහුගේ විවේචනයකි. රට ගොඩනැඟීමට අවංකව කැප වන පාලනයකදී නම් ජනතාව කෙබඳු පීඩනයක් වුවත් ඉවසා දරා ගන්නා බව ද එහෙත් පවතින දූෂිත පාලනයක දී ජනතාව එබඳු කැපකිරීම් නොකළ යුතු බව ද අනුර කුමාරගේ අදහස වේ. එය සදොස් යැයි කිසිවෙකුට කිව නොහැක.

2024 මේ සියලු ප්‍රශ්න නැතත් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකි අලුත් දේශපාලනයක් රට තුළ ඇති විය හැකි ද යන ප්‍රශ්නය ද අද ජනතාව අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. මේ වසර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස ය. කොහොමටත් ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රවණතා මෙන්ම ව්‍යවස්ථානුකූල තත්ත්වයක ද තිබේ. එසේම මේ පාලකයන් මැතිවරණවලට දක්වන බිය ද ඉතා පැහැදිලි ය. මෙයට පෙර පළාත් පාලන මැතිවරණයට සිදු වූ දේවල් ද ජනතාවට සිහිපත් වනු ඇත. කුමක් වුවත් මේ ආණ්ඩුවේ ගමනත්, ක්‍රියාකාරකම් පිළිබඳවත් ජනතාව තුළ තිබෙන අප්‍රසන්න බව හොඳින් දන්නා ආණ්ඩුව හැකි නම් මැතිවරණ කල්දැමීමට පසුබට නොවන බව ද උපකල්පනය කළ හැකිය. මේ වනවිටත් ආණ්ඩුව සිය මර්දන පිළිවෙත් දැඩි කරමින් ද සිටින බවට චෝදනා නැඟෙයි. විදුලිබල වෘත්තීය සංවිධාන ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් ආයතනයට පැමිණිල්ලක් ද කර ඇත.

මෙබඳු අවිනිශ්චිත තත්ත්වයන් පිළිබඳ වාර්තා තිබුණත් ඉදිරි කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. මේ වනවිට දේශපාලන පිල්මාරු කිරීම්, සන්ධාන ගොඩනැඟීම් වැනි සිදුවීම් ද වාර්තා වේ. එහෙත් දේශපාලන ක්‍ෂේත්‍රයෙහි සිදුවන ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමේදී මූලික වශයෙන් මතුකළ හැකි ප්‍රශ්න කීපයක් ම තිබේ. විශේෂයෙන් තවමත් දේශපාලන බලය ලබාගැනීම සඳහා එක්වන, පෙළ ගැසෙන ආකාරය තුළින් මූලිකව පෙනී යන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ඒ ඒ පක්‍ෂවල සිටි පුද්ගලයන් වෙනත් පක්‍ෂවලට සම්බන්ධ වීමකි. පිල් මාරුව ලෙස හැඳින්විය හැකි මේ ක්‍රියාදාමය රටේ ප්‍රබල ආර්ථික හෝ දේශපාලන වෙනසකට හේතු විය නොහැකි බව ඉතා පැහැදිලිය. මේ පිල්මාරුව ඊළඟ පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට දරන උත්සාහයක් බව ද නිසැකය. අද රටේ තිබෙන්නේ අන්දමන්ද වූ දේශපාලනයකි. විකෘති දේශපාලන හැඩයකි. වසර හතළිහක් දක්වා එක් එක් පක්‍ෂවල සිටි අය කොපමණ සිටිත් ද? ආණ්ඩු කීපයක ඇමැතිකම් දැරූ අය කී දෙනෙක් සිටිත් ද? එහෙත් ඔවුන්ගේ දේශපාලන වාර්තා කෙබඳු ද? රටට ඵලදායී සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණයක් යෝජනා කළ අය කවරහු ද?

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සමාරම්භයේ සිට ම පක්‍ෂ මාරුකිරීම්, සන්ධාන ගතවීම් තිබුණි. ඩී. ඇස්ගේ එජාපයෙන් වෙන් වූ බණ්ඩාරනායක ශ්‍රීලනිපය ගොඩනැඟීමෙන් පසු ඉතිහාසය තුළ වුව ද බලය සඳහා සන්ධාන ගොඩනැඟුණු බව දැකගත හැකිය. 1965 දී ඩඩ්ලිගේ ආණ්ඩුව හත් හවුලක් විය. 1970 දී සිරිමාගේ ආණ්ඩුව තුන් හවුලක් විය. සැකෙවින් කිවහොත් අද ඉතිරි වී තිබෙන හැම දේශපාලන පක්‍ෂයක් හෝ සන්ධානයක් යනු විවිධ දේශපාලන මතිමතාන්දරවලින් සැදුම්ලත් පක්‍ෂ බව පෙනේ. සජිත්ගේ ස.ජ.බ.ය එජාපයෙන් බිඳී ආවකි. මහින්දගේ පොහොට්ටුව ශ්‍රීලනිපයෙන් කැඩුණු වමේ හා වෙනත් පක්‍ෂ කීපයක හවුලකි. එහෙත් මේ වනවිට එහි සිටි පක්‍ෂ ගණනාවක් වෙන ම සිටින අතර කීපදෙනෙක් සජබයට ද එක්ව සිටිති. පොහොට්ටුවේම තව කොටසක් ජනාධිපති රනිල් සමගය. ඔහුට එජාපයේ සහාය ද ලැබෙයි. ජවිපෙ තුළ වුවද ප්‍රබල වෙනසක් නැති වුවත් ඔවුහු ජා.ජ.බ. ලෙස මාලිමාවෙන් ඉදිරියට යති. ජ.වි.පෙ. සිටි විමල් ඇතුළු තවත් අය ජා.නි.පෙ. ලෙස පෙනී සිටිති. පොහොට්ටුවේ ප්‍රබලයන් වන ලන්සා ද, අනුර ප්‍රියදර්ශන ද රනිල්ගේ සහායට එක්ව සිටිති. ශ්‍රීලනිපයේ මෛත්‍රීගේ ඇතැම් සගයෝ ද ඔහු හැර යති. දයාසිරි වැනි අය පක්‍ෂය සමග අවුල් සාදාගෙනය. ශාන් විජයලාල් ස.ජ.බ.යට ගොස් සිටියි. වමේ බලය අපැහැදිලිය. පෙරටුගාමීහු වෙනම වේදිකාවක සිටිති. දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ ද ගැටුම්, මතභේද සමගය. පොහොට්ටුව සමග සිටි දිලිත් ජයවීර වැනි අය ද අලුත් දේශපාලන ගමනක නිරතව සිටිති. රාජපක්‍ෂ කඳවුර තුළ විශාල වෙනස්කම් සිදු වී තිබේ. තවත් බෝඩ් ලෑලිවලට සීමා වූ පක්‍ෂ ද ගණනාවක් ඇත. උපන් හදවියක මැතිවරණයකින් ජය නොගත් එහෙත් පක්‍ෂවල ජාතික ලැයිස්තුවට පින්සිදු වන්නට මැති ඇමැතිකම් ලබා ගත් අය ද වෙති. කොටින්ම අද වනවිටත් බලයේ සිටින්නේ 2015, 2019 වැනි ආණ්ඩුවල සිටි බහුතරයකි.

උත්තර සභාගය, නිදහස් සන්ධානය, ශ්‍රී.ල.නි.පය මෙන්ම තවත් පක්‍ෂ ද ඉදිරි මැතිවරණයකට පෙර දේශපාලන වශයෙන් තීන්දු තීරණවලට එළැඹෙනු ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ වනවිට වඩාත් සංවාදයට ලක් වූ දේශපාලන පක්‍ෂ ලෙස සජබ හා ජාජබ හැඳින්විය හැකිය. එසේම පවතින දේශපාලනය තුළ ස.ජ.බ. වටා පෙළගැසෙන හිටපු පක්‍ෂවල පිරිස් ද කැපී පෙනෙති. ජා.ජ.බ., ජවිපෙ. සන්ධානයට නම් වත්මන් දේශපාලන සරණාගතයන්ට දොරටු විවර වනු ඇතැයි සිතිය නොහැක. එදා ජ.විපෙ. ලෙස ඔවුන් ද මහින්දලා සමග එක් වී සිටි බව ද අපට මතකය. එහෙත් එබඳු දේශපාලන බලයකට ජා.ජ.බ යළි එක්වනු ඇතැයි ද සිතිය නොහැක.

කෙසේ හෝ මේ වනවිට සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන වැනි පාලක යුග අවසන් වී තිබේ. රාජපක්‍ෂ යුගය ද එබඳුම අවසානයක දොරකඩය. රනිල් . මහින්ද එක් වුවත් ඒ සාම්ප්‍රදායික දේශපාලන කඳවුර බල ගැන්විය නොහැකි බව හැඟේ. කුමක් වුවත් ස.ජ.බ. හා ජා.ජ.බ. යන දේශපාලන බලවේග එළැඹෙන මැතිවරණවල කැපී පෙනෙනු ඇත. ඔවුන්ගේ ආමන්ත්‍රණය ජනතාවට මෙන්ම පාවෙන ඡන්දදායක බහුතරයට අතිශයින් වැදගත් වන බව ද කිව යුතුය. මේ පාවෙන ඡන්ද ආකර්ෂණය කළ හැකි සජිත්ට ද නො එසේ නම් අනුරට ද යන්න නිසැකයෙන් ම මේ රටේ අනාගත දේශපාලන බලය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment