අනුරාධපුර රෝහල ඇතුළේදීම රෝගියා මරයි

527

ඝාතකයා සොයන්න සීසීටීවී බලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ (28 දා) අලුයම කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු එහි 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර මුළු රෝහලම භීතියට පත්කර පලා ගොස් ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මන්නාරම පාර මැදවච්චියේ පදිංචි ඩබ්ලිව්. රුවන්ජිත් විජිත නමැති අයෙකි.

මැදවච්චිය ප්‍රදේශයේදී සිදු වූ ආරවුලකදී සිව්දෙනකුගේ පහරකෑමට ලක්ව සිටි රුවන්ජිත් නමැත්තා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඊයේ අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලට කඩාවැදී 66 වන වාට්ටුවේ 39 වැනි ඇඳේ නිදාගෙන සිටි රුවන්ජිත් නමැත්තාට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ රෝහල් පොලිසියේ නිලධාරීන් මෙන්ම රෝහල් ආරක්ෂක නිලධාරීන් ද සිට ඇති අතර ඝාතකයා අල්ලා ගැනීමට හැකි වී නැත.

ඝාතකයා හඳුනා ගැනීමට රෝහලේ සී. සී. ටී. වී. කැමරා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. විමර්ශන කණ්ඩායම් පවසන්නේ කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිවු දෙනකු විසින් මැදවච්චියේදී රුවන්ජිත් නමැත්තාට පොලුමුගුරුවලින් පහරදී තුවාල කර ඇති බවයි.

මැදවච්චිය රෝහලට මුලින් ඇතුළු කර සිටි රුවන්ජිත් නමැත්තා වැඩිදුර ප්‍රතිකාර සඳහා 27 වැනිදා සවස අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම ඝාතනයට පැමිණි පුද්ගලයා අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු දින කීපයකදී මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ උපදෙස් මත විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු සහ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment