අපනයන පදනම් කරගත් නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයක් අවශ්‍යයි – මහාචාර්ය හොවාර්ඩ් නිකලස්

206

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්‍රකට ආර්ථික විද්වතකු වන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හොවාර්ඩ් නිකලස් මහතා ඔහුගේ ‘Exploration in Marx’s Theory of Price’ නම් නවතම ග්‍රන්ථය හෙට (14) දින සවස 3.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේ දී එළි දැක්වීමට සූදානම් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන්ගේ ආරාධනයෙන් මහාචාර්ය හොවාර්ඩ් නිකලස් මහතා මුණ ගැසී ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ඔහු දරන අදහස සැකවින් දැන ගැනීමට ද අපට අවස්ථාව ලැබිණි. මේ ඔහු ‘දිවයින’ට දැක් වූ අදහස්ය.

“ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව දිගුකලක් තිස්සේ පැවති වෙළෙඳ හිඟයයි. වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාව අඛණ්ඩව වෙළෙඳ හිඟයක් පවත්වාගෙන ආවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 ට වැඩි අගයක් ගත්තා. එසේම සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා හරහා ලැබෙන මුදල් මත ශ්‍රී ලංකාව රඳා පැවතුණා. එය ප්‍රමාණවත් නොවුණු නිසා මුදල් ණයට ගැනීමට සිදු වුණා. සියලු දෙනාම දන්නා පරිදි ලෝක ආර්ථිකය තුළ ප්‍රශ්නයක් ඇති වූ විට සංචාරක ආදායම් අඩු වෙනවා. එසේම අපනයන ආදායම් අඩු වෙනවා. මේ තුළ අපට සාමාන්‍ය වශයෙන් තියෙන ප්‍රශ්නයට වැඩි විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

පසුගිය රජය කාලයේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් වාණිජ වෙළෙඳපොළින් ඉහළ අනුපාතවලට ණය ගැනීමෙන් ප්‍රශ්නය වඩාත් උග්‍ර වුණා. වර්ෂ 2015 සිට 2019 දක්වා පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ඉහළ පොලී අනුපාතවලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් එම රජය විශාල වශයෙන් ණය ගත්තා. මේ තුළ ණය තිරසාරත්වයට ප්‍රශ්න ඇති වුණා. පසුව ශ්‍රී ලංකාවට කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවුණා. එමගින් ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. විදේශ විනිමය හිඟයකට මුහුණ දුන්නා. එහෙත් මෙය වසර 40 ක් තිස්සේම පැවති ප්‍රශ්නයයි. වර්ෂ 1989 සිට 1994 දක්වා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ හැර වෙනත් කිසිම රජයක් මේ වෙළෙඳ පරතරය ගැන නිසි තැකීමක් කරේ නැහැ. ඒ සඳහා නිසි පිළියම් යෙදුවේ නැහැ. දැන් අප මෙතනට ඇවිත් තියෙනවා. එනම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් පමණක් නොවේ. වෙනත් රටවලත් වෙළෙඳ හිඟයන් පවතිනවා. එසේම වෙනත් දූෂිත රජයන් ද තිබෙනවා. අප ගෝලීය ක්‍රමයේ කොටසක් බවට පත්ව තිබෙනවා.

ලංකාවට විශාල අයවැය හිඟයන්ට ද මුහුණ දීමට සිදුව තිබෙනවා. 2020 දී අයිඑම්එෆ් එක සියලු රටවලට කිව්වා අයවැය හිඟයන් පවත්වාගෙන යන්න කියල. එය හොඳ දෙයක් ඔබලා එය කළ යුතුයි කියල අයිඑම්එෆ් එක කිව්වා. ඒත් පසුව ඔවුන් එම රටලට කියනව ඔබලා අයවැය හිඟයකට මුහුණ දී සිටිනවා එය තමයි ප්‍රශ්නය කියලා. මෙතන අයිඑම්එෆ් එක පැහැදිලිව ගේම් එකක් ප්ලේ කරනවා.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ විශාල බදු කප්පාදුව නිවැරදි තීරණයක් නොවේ. එය මෝඩ තීරණයක්. ඒ සඳහා කවුරු රජයට උපදෙස් දුන්නා ද මම දන්නේ නෑ. එසේම ඒ කාලයේ පොලී අනුපාත ඉතා පහළ අගයකට අඩු කරා. එයත් බුද්ධිමත් තීරණයක් නෙවෙයි. එසේම පොහොර ආනයනය තනනම් කරා. එයත් කිසිම ප්‍රතිඵලයක් අත්කර නොගත් තීරණයක්. තවත් සාධක රැසක් මේ අර්බුදයට දායක වුණා. විනිමය අනුපාතය ස්ථාවර අගයක තියා ගත්තා. ඇතැම් ආනයන තහනම් කරා. එම රජය බලය ගත් අවස්ථාවේ සිටම විදේශ විනිමය ලැබීම් පිරිහීමට පටන් ගත්තා. ඒ හරහා ඔවුන් උගුලකට හසු වුණා. ඔවුන් විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

අතීතයේ ගත්තත් අයිඑම්එෆ් ප්‍රතිපත්ති ඇත්තටම ශ්‍රී ලංකාවට දිගුකාලීනව උදව් වී නැහැ. මෙවරත් එය එසේ වන්නේ නැහැ. එය අනිත් රටවලටත් එසේ වී නැහැ. ප්‍රශ්නය වන්නේ අයිඑම්එෆ් එකට කියන දේට වඩා ශ්‍රී ලංකාව අනාගතය වෙනුවෙන් මොනවා කරන්නේ ද යන්නයි. රජයට අයත් ව්‍යාපාර පුද්ගලීකරණය කරනවාට අමතරව මේ රජය කිසිම දෙයක් කරන බවක් මට පේන්නේ නැහැ. මෙය ලෝකයේ කිසිම රටක ආර්ථික වර්ධනයට උදව්වක් වී නැහැ. එසේම අයිඑම්එෆ් එක කියනව රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියල. එහි ඇත්තක් තියෙනවා. එහෙත් එය ලංකාවේ වර්ධන ක්‍රියාවලියට සහයක් ලබා දෙනවා ද? මම එහෙම හිතන්නේ නැහැ. අපනයන පාදක කරගත් කාර්මීකරණයකට මේ රට ගමන් කළ යුතුයි. මම මෙය වසර 35 ක පමණ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන දෙයක්. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත වේගවත් ලෙස ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට අවශ්‍යයි. එහෙත් එහෙම සලකුණක් අපට පේන්න නැහැ. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන බව හැම රජයක්ම කිව්වත් අපට එහෙම දෙයක් පේන්න නැහැ.”

advertistmentadvertistment
advertistmentadvertistment