පසුගිය සතිය දේශපාලන ක්‍රියාකාරකම් රැසක් සහිත තවත් සතියක් විය. ඉදිරියේ එන මැතිවරණයක් සම්බන්ධයෙන් බොහෝ පක්ෂ දක්වන උනන්දුව එම ක්‍රියාකාරකම් තුළ දක්නට ලැබිණි. එම ඡන්දය ජනාධිපතිවරණයක් වේවා, මහා මැතිවරණයක් වේවා කවරකටවත් කල්තියා සූදානම් වීම තම දේශපාලන සෞඛ්‍යයට හිතකර යැයි ඒ සියලු පක්ෂ විශ්වාස කරන බව දේශපාලන ක්‍රියාකාරකම් තුළ කැපී පෙනිණ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේත් සිය අවධානය යොමු කළේ රජයෙන් පොදු ජනතාවට ලබා දෙන සුභසාධන වැඩපිළිවෙළවල් සාර්ථක ද කියා සොයා බැලීමටය. රජයෙන් ලබා දෙන අස්වැසුම සුභසාධන වැඩසටහන, උරුමය නම් සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආදියෙන් පොදු ජනතාව සතුටු වන්නේ දැයි කියා දැනගන්නට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා රට වටේ නොයෙක් තැන්වල ඇවිදිමින් කුඩා කණ්ඩායම් හමුවී ඔවුන්ගේ අදහස් විමසීම ජනාධිපතිවරයාගේ පැත්තෙන් පසුගිය සතියේ අපට දැකගත හැකි විශේෂ කාරණාවක් විය.

පසුගිය සතියේ ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයට ගියේය. නාවික හමුදාවේ උත්සව කීපයකට සහභාගි වන්නට එසේ ගිය ජනාධිපතිවරයා ඊටත් වඩා උනන්දුවකින් සහභාගි වූයේ තඹලගමුව ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවන වැඩසටහනකටය. ගොවි ජනතාව වෙතින් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබීම තුළ ජනාධිපතිවරයා ද සිටියේ සතුටිනි. ඒ අතරතුර ලැබෙන හැම අවස්ථාවකම කොළඹදී මේ දිනවල දක්නට ලැබෙන ප්‍රධාන පාසල්වල ක්‍රිකට් තරගාවලිවලට ද සහභාගි වන්නට අමතක නොකළේය. ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජනාධිපතිවරයා එසේ උද්යෝගයෙන් සහභාගි වූ එක් තරගාවලියක් විය.

මේ අතරතුර සඳුදා පස්වරුවේ සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීමක්ද ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලයේ පවත්වනු ලැබුවේය. එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ විශේෂත්වයක් වූයේ මහ බැංකුවේ පඩි වැඩි කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කතා කිරීමට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් කැබිනට් මණ්ඩලය හමුවට ගෙන්වා තිබීමයි.

පසුගිය දිනක මහ බැංකුවේ වැටුප් අති විශාල පරිමාණවලින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ ලොකු ආන්දෝලනයක් ඇතිවූ අවස්ථාවේ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණේ වහාම මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන් ඇමැති මණ්ඩලය හමුවට හා මහජන නියෝජිතයන් හමුවට ගෙන්වා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අවස්ථාව උදාකර දිය යුතු බවටය. ඒ අනුව පසුගිය සතියේ මහ බැංකුවේ නියෝජිතයන්ට කැබිනට් මණ්ඩලය හමුවටත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවටත් පැමිණ උත්තර බඳින්නට සිදුවිය.

කැබිනට් මණ්ඩලය හමුවට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරුන් මහ බැංකු නිලධාරීන්ට දැඩි සේ දෝෂාරෝපණය කරන්නට වූයේ රටේ ජනතාවට බදු පිට බදු ගසමින් විදුලි බිල්, ඉන්ධන බිල්, ගෑස් බිල් ආදි සියලු බිල්පත් ඉහළ නංවමින් ජනතාවට සියලු වියදම් සේවා කරන්නට අණපනත් සකසමින් 1200ක් පමණ වූ මහ බැංකු සේවක පිරිස පමණක් මෙසේ මහා පරිමාණයෙන් පඩි වැඩි කර ගැනීමේ සාධාරණය කුමක්ද කියාය. ඇමැතිවරුන්ට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවීය. ප්‍රශ්නය තිබුණේ ලක්ෂ නමයෙන් අටෙන් හතෙන් හා අවමය දෙකෙන් යන මට්ටම්වලින් පඩි වැඩි කර ගැනීමයි.

ඇමැති මණ්ඩලය හමුවට පමණක් නොව, මුදල් කාරක සභාව හමුවට ද නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිස උත්තර බඳින්නට ගොස් සිටියහ. එහිදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ එක්තරා සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන් එකක්) කරනු ලැබුවේය. හර්ෂ සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, විජිත හේරත්, චරිත හේරත්, ගාමිණී වලේබොඩ, ඩිලාන් පෙරේරා, ගෙවිඳු කුමාරතුංග ඇතුළු විපක්ෂයේ පිරිසක්ද ආණ්ඩු පක්ෂයේ කීපදෙනෙක්ද සහභාගි වී සිටියහ. තර්කය වූයේ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන් අවශ්‍ය ස්වාධීන තීරණයක් තීන්දුවක් ගැනීමට 2023දී සම්මත වූ නව පනත මගින් පමණක් නොව ඊට පෙර බලපෑ 1950 මූල්‍ය නීති පනතෙන් පවා නිදහස ස්වාධීනත්වය හා නීතිමය ප්‍රතිපාදන සැලසී තිබෙන බවය. ඒ අතර ඕනෑම රාජ්‍ය සේවකයකුගේ හෝ පුද්ගලික ආයතනයක සේවකයන්ගේ පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවට ගැටලුවක් නැති බව මහ බැංකුවේ අධිපතිවරයා කීවේය.

“මූල්‍ය පනත් මගින් මහ බැංකුවට ස්වාධීනත්වය ලැබිලා තියෙනවා. ඒ අනුව මහ බැංකුවේ නිලධාරීන්ගේ පඩි වැඩි වුණේ රජයේ ඒකාබද්ධ අරමුදලේ මුදල්වලින් නෙවෙයි. ඒ මුදල් ලැබෙන්නේ මහ බැංකුව විසින් කරලා තියෙන ආයෝජනවල ලාභවලින්. රටේ ජනතාවගේ බදු මුදලින් නෙවෙයි.”

එහෙත් එහිදී ලසන්ත අලගියවන්න හා මහාචාර්ය චරිත හේරත් ඉතා වටිනා කරුණු දෙකක් මතු කර සිටියහ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය 148 වැනි වගන්තියට අනුව රාජ්‍ය මුදල්වල වගකීම තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට පුළුවන් රටේ මුදල් පරිපාලනය සම්බන්ධයෙන් තීන්දු ගන්න” චරිත කීවේය.

“ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් නම් පුළුවන්. නමුත් මහ බැංකුවේ අරමුදල් අයිති නැහැ…” නන්දලාල්ගේ හඬයි. සභාපති හර්ෂ සිල්වා ද ඒ අදහස අනුමත කරමින් කතා කළේය.

“නෑ නෑ ඒක වෙන්න බෑ… පළාත් සභාවල්වල ආදායම් මුදල්, ඒ වගේම ජනාධිපති අරමුදල වගේ අරමුදල්වල තියෙන මුදල් වුණත් ඒකාබද්ධ අරමුදලට අයිති නෑ. හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් ඒ අරමුදල්වල මුදල් ගැනත් තීන්දු තීරණ ගන්න. එහෙම නම් මහ බැංකුවේ මුදල් ගැන බැරි ඇයි…

මේ අවස්ථාවේ මුදල් කාරක සභාවේ සභාපති ද සිටියේ නන්දලාල්ගේ මතයේය. මන්ත්‍රීවරු එතන සිටි සොලිසිටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගෙන් මේ පිළිබඳ නීතිමය තත්ත්වය විමසා සිටියහ. රටේ මූල්‍යමය පරිපාලනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය ව්‍යවස්ථාදායකය සතු බව ඇය පිළිගත්තාය.

“1950 පනතෙන් වුණත් 2023 පනතෙන් වුණත් මහ බැංකුවට ස්වාධීනත්වය ලැබුණයි කියන එකෙන් කියවෙන්නේ විධායකයෙන් ස්වාධීන කළා මිස ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීන කළා කියන එක නෙවෙයි…” මන්ත්‍රීවරු කීහ.

“කොහොමද ඕගොල්ලෝ මහ බැංකුව ඇතුළේ විවිධ වැටුප් තලවලට මේ පරිමාණවලින් වැටුප් වැඩි වෙන්න ඕන කියලා තීරණය කළේ…” ලසන්ත අලගියවන්න විමසා සිටියේය.

“අපි මේක මහ බැංකුවේ ඇති සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා එකඟතාවක් ඇතිකරගෙන එකඟතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා…” මහ බැංකුව පැත්තෙන් කියවිණ.

“හරි ඒක කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ එකඟතා ගිවිසුම ලියාපදිංචි කළාද…” ලසන්ත ඇසීය.

“එහෙම කරලා නැහැ…” මහ බැංකුව පැත්තෙන් පැමිණි උත්තරය එයයි.

“එහෙම නම් මහ බැංකුවේ ඔය කරපු වැටුප් වැඩි කර ගැනීම නීත්‍යානුකූල නැහැ. “ලසන්තගේ තර්ක කිරීම හමුවේ නන්දලාල් පමණක් නොව, මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද නිරුත්තර වූයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීන් ඒ බැව් පිළිගත් නිසාය. කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනුණු කාරණා දෙකක් විය. එකක් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඉතා වැදගත් කරුණක් ඉදිරිපත් කරන්නට සූදානමින් සිටියත් ඔහුට ඒ සඳහා සභාපතිවරයාගෙන් අවස්ථාවක් නොවීය. විජිත හේරත් බඳු සටන්කාමී මන්ත්‍රීවරු ද ගණනාවක් සිටියහ. ඔවුහු මේ සම්බන්ධයෙන් වචනයක්වත් මෙහිදී කතා කරන්නට ගියේ නැත.

“කොහෙද… මට කතා කරන්න දුන්නේ නෑනේ. ඉතාම වැදගත් කාරණාවක් තිබුණා මට කතා කරන්න. 1950 පනතෙනුයි 2023 පනතෙනුයි මහ බැංකුවට ස්වාධීනත්වය ලැබුණයි කියලා කිව්වට 1950 පනත අනුව තුලනාත්මකව තීන්දු ගැනීමට හැකියාව මුදල් අමාත්‍යාංශයට තිබුණා. ඒ මොකද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගිහිල්ලා මහ බැංකුවේ මූල්‍ය කමිටුවේ වාඩිවෙනවා. හැබැයි 2023 කරපු වෙනස තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහ බැංකුවේ මූල්‍ය කමිටුවෙන් ඉවත් කරපු එක. ඒකෙන් තමයි ආණ්ඩුවේ බලපෑමෙන් මහ බැංකුව සීයට සීයක් ස්වාධීන කරගත්තේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් චක්‍රලේඛ පිට චක්‍රලේඛ හා ජනතාවගේ වියදම් කපනවා. එහෙම මනුස්සයා ඔය කියන මූල්‍ය කමිටුවේ වාඩිවුණා නම් ඔය පඩි වැඩි කර ගැනීමට රෙද්දක් ඇඳගෙන එකඟ වෙයි කියලා හිතනවද. ඕවනේ කතා කරන්න ඕන. අපිට කථානායක කතා කරන්න දෙන්නෙත් නෑ මෙතන කමිටුවේ සභාපති කතා කරන්න දෙන්නෙත් නෑ. මම මේක ප්‍රෙස්කොම්පරස් එකක් තියලා හරි ජනතාවට කියනවා…” ගෙවිඳු එම රැස්වීම ඉවර වී එළියට බසිද්දී සහෝදර මන්ත්‍රීවරු සමග කීවේ ඒ පිළිබඳ තම දැඩි කනස්සල්ල ද ප්‍රකාශ කරමිනි.

බැසිල්ව පිළිගන්න අගසව්වන් පැමිණිලා…

දේශපාලනඥයෙක් නිවාඩුවක් ගත කරන්න පිටරට ගොස් යළි දිවයිනට පැමිණීම සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන කරළියේ ලොකු උණුසුමක් ඇති කාරණාවක් නොවේ. එහෙත් අපේ දේශපාලන කරළියේ දැඩි උණුසුමක් ඇති කරමින් පසුගිය 5 වැනිදා පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන් යානාවකින් විශේෂ අමුත්තෙක් ලංකාවට පැමිණියේය. ඒ බැසිල් රාජපක්ෂයි. ඔහු මාස කීපයක නිවාඩුවක් ගත කරන්නට ඇමෙරිකාවට ගොස් සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂගේ අගසව් දෙදෙනා ලෙස සැලකෙන්නේ ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධනයි. 5 වැනිදා ඒ දෙදෙනා සමග ඩී. වී. චානකත් ගුවන් යානයටම ගොස් බැසිල්ව පිළිගත්හ.

“කොහොමද ප්‍රසන්න…” බැසිල් කීවේ ප්‍රසන්නගේ අත අල්ලාගෙනය.

“වැඩ ටික ඔහේ කරගෙන යනවා සර්… සර් එනකම් බලාගෙන හිටියේ ඉතිරි ටිකත් ඉස්සරහට ප්ලෑන් කරලා කරගෙන යන්න..”

අනතුරුව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක හා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බැසිල්ගෙන් සමුගෙන අනෙකුත් මන්ත්‍රීවරුන් රැඳී සිටි ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට ගියහ.

ඒ අතරවාරයේදී බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත විය. එය ඒ දෙපළටම සීමාවූවකි. එබැවින් ඔවුන් දෙපළ කතාවූයේ මොනවාදැයි වාර්තා නොවේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ මෙලෙස සුහද සාකච්ඡාවක නිරතවනු දුටු අනෙකුත් පිරිස පුදුමයට පත්විය. ඒ පසුගිය සමයේදී ප්‍රසන්න පොහොට්ටුව හා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශ නිකුත් කළ බැවිනි.

අනෙකුත් මන්ත්‍රීවරුන් රැඳී සිටි ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට බැසිල් රාජපක්ෂ ඇතුළු වූ පසු ඇමැති ප්‍රසන්න “සර්.. අද පාර්ලිමේන්තු, මම යනවා” කියමින් බැසිල්ගෙන් සමුගත්තේය.

නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන්න පිරිසක් බැසිල් පිළිගැනීමට ඒ වනවිටත් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටියහ.

එන අප්‍රේල් මාසයේ මේ ආණ්ඩුව ඉවරලු…

බැසිල්ගේ ලංකාගමනය සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයෝ නා නා විධ කතා කියන්නට පටන් ගත්හ. ඒ පිළිබඳ දැඩිම විවේචනය ගෙන ආ දේශපාලනඥයා වූයේ විමල් වීරවංශයි.

විමල් වීරවංශ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ප්‍රකට රූපවාහිනි නාලිකාවක සංවාදාත්මක දේශපාලන වැඩසටහනකට පැමිණියේය. ඔහුගෙන් ප්‍රශ්න විමසන ප්‍රධාන නිවේදකයා ඇතුළු සහාය නිවේදකයන් දෙදෙනෙකි. ආරාධිතයා විමල් වීරවංශයි.

විමල් මේ සංවාදයේදී අනාගතයේදී රටේ සිදුවිය හැකි දේශපාලන වෙනස්කම් කීපයක්ම ගැන අනාවැකි පළ කරන්නට වූහ. එහිදී ඔහු බැසිල් රාජපක්ෂගේ අනාගත ක්‍රියාකලාපය ගැන ද දැඩි විවේචනාත්මක හෙළිදරව්වක් කළේය.

ඒ විවේචනයට අනුව…. බැසිල් ඉන්දියානු නියෝජිතයෙකි. ඉන්දියාවට වුවමනා මේ අවස්ථාවේ ජනාධිපති රනිල් හා විපක්ෂ නායක සජිත් එකතු කිරීමටය. ලබන අප්‍රේල් මාසයේ බැසිල්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යනු ඇත. රනිල් සමග ආණ්ඩුවේ කණ්ඩායමක් ඉතුරු වනු ඇත. ඉන්දියාවේ එකඟතාවය මත දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කීපයක් රනිල් සමග එක්ව සජිත්ගේ ද සහය ඇතිව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. නාමල් විපක්ෂ නායක වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඒ අතරතුර විමල් විපක්ෂයේ හා පාර්ලිමේන්තුවේ සිටින සැලකිය යුතු කණ්ඩායමක් හා එක්ව ලබන අප්‍රේල් මාසය නිමවන්නට පෙර ඊළඟ ඕනෑම මැතිවරණයක් සඳහා තරග වදින්නට හැකි මහා බලවේගය වූ විපක්ෂයේ සන්ධානය ගොඩනඟනු ඇත.

ඇත්ත වශයෙන්ම විමල්ගේ හෙළිදරව්වට අනුව මේ රටේ දේශපාලන කරළියේ අද සිටින බලවත්ම භයානකම හා තීරණාත්මකම සාධකය බැසිල් රාජපක්ෂයි.

වෙනදා නම් මෙවන් කතා නිදහසේ එක දිගට කියාපාන්නට විමල්ට කවර අවස්ථාවක්වත් නොදෙන චතුර නිවේදකයා ක්‍රිකට් පිටියක පහසු පන්දු ලබා දෙන්නාක් මෙන් විමල්ගෙන් ප්‍රශ්න අසනු ලැබීය. විමල් හතර අතේ ඒ පන්දුවලට නෙළන්නට විය. ඒ අතර සෙසු පරිවාර නිවේදකයන් දෙදෙනා ඒ පන්දු රකිනවා වෙනුවට හයේ හතරේ සීමා ඉක්මවා යන්නට නිදැල්ලේ හැරියහ. විමල් ඉතා නිදහසේ කතා කළේය. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද කිසිදු විශ්වාසයක් තබාගත නොහැකි පුද්ගලයෙක් යැයි කියමින් උපහාසාත්මක ප්‍රකාශ එල්ල කරන්නට අමතක නොකළේය. එම වැඩසටහනට පසුදා අපේ රටේ දේශපාලන කරළියේ නොයෙක් තැන්වල කතාබහට ලක් වූයේ බැසිල් ආණ්ඩුව කඩා විසිරුවන හැටි ගැනයි. විමල්ලා ඊළඟ ඡන්දයට සූදානම් වන්නට විපක්ෂයේ මහා සන්ධානය පිහිටුවන හැටි ගැනයි.

දිනේෂ්ගේ උපන් දිනය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගැන ද පසුගිය සති අන්තයේ දේශපාලන කාලයේ කතා බහ ඇති වූයේ ඔහුගේ 75 වන ජන්ම දිනය පසුගිය දෙවැනිදා එනම් සෙනසුරාදාට යෙදී තිබීම නිසාය. එපමණක් නොව ඔහුගේ දේශපාලන දිවියට පනස් වසරක් පිරුණි. පාර්ලිමේන්තු දිවියට හතළිස් වසරක් සම්පූර්ණ විය. එම විශේෂ වටිනාකම් දෙකද උපන්දිනය දාට යෙදී තිබීම නිසා මෙවර උපන්දිනය දිනේෂ්ට අතිශයින් වැදගත් දිනයක් විය. මේ නිමිත්තෙන් උත්සවයක් පවත්වන්නට අග්‍රාමාත්‍ය කාර්යාලයේ හිතවත් සේවක සේවිකාවන් උත්සාහ කළ අවස්ථාවේ දිනේෂ් සෘජු උපදෙසක් දුන්නේය.

“ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් කරන දෙයක් චාම්ව සංවිධානය කරන්න…”

ඒ අනුව සෙනසුරාදා උදයේ මහා සංඝරත්නය අරලියගහ මන්දිරයට වැඩම කර ආගමික කටයුතු ඉටු කරමින් අගමැතිවරයාට සුබ පතනු ලැබූහ. රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත අඳ, ගොළු, බිහිරි පාසල වෙත ඉන් පසුව ගිය අගමැතිවරයා ඒ දරුවන්ගේ අවශ්‍යතා හා පහසුකම් පිළිබඳ සොයා බලමින් එදා වරුවක්ම එහි ගත කළේ ආහාරපානාදියෙන්ද ඔවුන්ට සංග්‍රහ කරමිනි.

කුඩා තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. පවුලේ ඥාතීන් හිතවතුන් සහභාගි වූ එම තේ පැන් සංග්‍රහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පැමිණ සිටියේය.

ඍදහ්ක එකේ එක පන්තියේ එකට හිටපු මිත්‍රයාට සුබ පතන්නෙ නැතුව කොහොමද… දිනේෂ්ට සුබ පතන්නමයි ආවේ… කියමින් ජනාධිපතිවරයා දිනෙෂ් හා ඔහුගේ පවුලේ උදවිය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි විය.

පසුගිය සතිය වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවධානය යොමු වූ විශේෂ කාරණා කීපයක් තිබිණි. ඔහු එළැඹෙන ඕනෑම මැතිවරණයකට තරග වදින්නට සිය බල මුළු සූදානම් කරමින් සිටියේය. ඔවුන් සිය ප්‍රබලම ප්‍රතිවාදියා ලෙස සලකා තිබුණේ මාලිමාවේ අපේක්ෂකයාය. ආණ්ඩුවේ හෝ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් පැමිණියත් සජිත්ට අභියෝගයක් නැතැයි සමගි ජන බලවේගයේ ලොකු විශ්වාසයක් තිබිණි.

ඒ අතර පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවන්නට රාජ්‍ය සම්පත් සුරැකීමේ ව්‍යාපාරය යනුවෙන් සංවිධානය වූ කණ්ඩායමක නියෝජිතයන් කීපදෙනෙක් පැමිණ සිටියහ. වර්තමානයේ ලාබ ලබමින් සිටින රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකකරණයට වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට ඒකරාශී වූ මෙම සංවිධානය විපක්ෂ නායකයා සමඟ එම ව්‍යවසායන් රැක ගැනීමේ වැඩපිළිවෙළ ගැන කතාබහ කරන්නට විය. මේ හමුවත් තිබුණේ පාර්ලිමේන්තුවේය.

“ප්‍රතිව්‍යුහගතකරණයට අපේ විරෝධයක් නෑ. හැබැයි අපි විරුද්ධ ඒ වචනයට මුවාවෙලා රාජ්‍ය ආයතන ගණනාවක් හිතවතුන්ට විකුණන එකට. විදුලි බල මණ්ඩලය, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ඇතුළු ආයතන හතළිහකට වඩා මේ නිසා අද අනතුරට පත්වෙලා තියෙනවා…” සංගමයේ නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.

අපේ සංවිධානය මේ වැඩපිළිවෙළට එරෙහිව ලබන එකොළොස් වැනිදා මහජන පුස්තකාලයේදී දේශපාලන පක්ෂ නායකයන් කැඳවලා ලොකු සම්මන්ත්‍රණයක් තියෙනවා. ඔබතුමාටත් ඊට ආරාධනා කරනවා. වෘත්තීය සමිති නියෝජිතයෙක් කීවේය.

“විදුලි බල මණ්ඩලයේ විතරක් සේවකයින් හැට දෙන්නෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. මේවාට විරුද්ධ වන සේවකයන් මර්දනය කරන්න ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග අරන්..” විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පැමිණි වෘත්තිය නියෝජිතයෝ පෙන්වා දුන්නේය. සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත වර්තමාන රජය සේවකයන් මර්දනය කරන්නට ගෙන යන වැඩපිළිවෙළ ගැනත් රජයේ ගජ මිතුරු සංග්‍රහය ගැනත් ලොකු විග්‍රහයක් කළේය.

රාජ්‍ය සම්පත් සුරක්ෂා කිරිමේදී සමගි ජනබලවේග ප්‍රතිපත්තිය වන්නේ ලාභ ලබන ආයතන තවදුරටත් ලාභ උපද්දවීම සඳහා නව කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දීම සහ අවශ්‍ය මානව සම්පත් ලබාදීමයි. පාඩු ලබන ආයතන රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායක ක්‍රමවේද තුළ ප්‍රතිව්‍යුහගතකරණ කිරීම සිදුකළ යුතුයි සහ එය විනිවිද පෙනෙන අයුරින් සිදුකළ යුතුය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ කිසිදු කෙනෙකුට මාව සල්ලිවලට ගන්න බෑ. මගේ පොරොන්දුව සම බිමක් ඇති කරලා ඒ තුළ තරඟකාරී රටට හිතකර ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය ආයතන සුරක්ෂා කිරීමයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය රජයේ වගකීම් විය යුතුයි. මේවා ජනතාවගේ අයිතීන් බව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතුයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ජනපති මෛත්‍රීගේ අලුත් හෙළිදරව්ව…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් අනාගතයේදී සාදනු ලබන විපක්ෂයේ පුළුල් සන්ධානයේ තවත් සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි. ඒ සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ.

සන්ධානය මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමටත් සන්ධානය පුළුල් කිරීම සඳහා සහභාගී වන දේශපාලන පක්ෂවලට බලය හා අයිතිවාසිකම් බෙදී යන ලෙස කටයුතු කිරීමටත් මෙහිදී චම්පික රණවක විසින් යෝජනා කීපයක් ඉදිරිපත් කළේය. ඒවා පක්ෂ ව්‍යවස්ථාවට එක් කිරීම සඳහා කෙටුම්පත් සකසන ලෙස මෛත්‍රී සාරථී දුෂ්‍යන්ත මිත්‍රපාලට භාර කළේය. විවිධ කරුණු පිළිබඳ විවේචනාත්මකව සාකච්ඡා කළ මෙම කණ්ඩායමේ ඒකමතික තීන්දුවක්ද එහිදී පළවිය. ඒ වූ කලි පොහොට්ටුව හෝ පොහොට්ටුවේ බලධාරියෙක් කෙසේවත් මේ සන්ධානයට සම්බන්ධ කර නොගන්නා බවට වූ එකඟතාවයි.

මෙම සාකච්ඡාව සිදුවී දිනකට පසු එනම් බදාදා රාත්‍රියේ තවත් අපූරු සැඳෑ සාදයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි විය. එම සාදය විශේෂ දේශපාලන හවුල් ලෙස සංවිධානය කළේ ගාල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංනිපයෙන් අභිනවයෙන් පත් දිස්ත්‍රික් සංවිධානයක සචින් වාස් ගුණවර්ධනයි. සචින් වාස් වෙනුවෙන් දිනේෂ් දොඩංගොඩ එම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට මාධ්‍යවේදීන් පිරිසකට මේ සඳහා ආරාධනය කර තිබිණි. හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේන ඉතා නිදහසේ පැමිණියේ නිරවුල් මනසකින් තම හිතවතුන් හා කතාබස් කිරීමට කලාතුරකින් ලැබුණු අවස්ථාවක් ලෙස සලකාය…

දේශපාලන කරළියේ ඉදිරියේදී මොනවද වෙන්නේ… පළමුවෙන්ම කතාබහට මාතෘකාව වූයේ එයයි… “ඕගොල්ලෝ තමයි දන්නේ. මම ආවේ අහගෙන ඉන්න…” කියමින් ඔහු එම සංවාදයට එක්විය.

“දැන් ඔබතුමාලාගේ පුළුල් සන්ධානයට නායකත්වය දෙන්නේ චන්ද්‍රිකා මැතිනියද…”

“මුලින් එහෙම සූදානමක් තිබුණ තමයි. හැබැයි මේ වෙනකොට එහෙම එතුමිය දේශපාලනයට සම්බන්ධ වෙයි කියලා හිතන්න බෑ. ආශිර්වාදය අපිට තියේවි.”

කතාබහ කල කරුණු කාරණා ඉතා පෘථුලය. මාතෘකා ගණනාවක් ඔස්සේ කතාබහ විහිද ගියේය. ඒ අතර ඉතා රසවත් වූයේ 2015 දී පොදු අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් ගත් අසීරු තීන්දුවේ සිට ඉදිරියට ආකාරය ගැන ඔහු පළමු වරට හෙළිදරව් කළ කරුණු සම්බන්ධ සාකච්ඡාවයි…

“කවුද ඔබතුමාව පොදු අපේක්ෂකයා විදියට තෝරගෙන තියෙන්නේ….”

“පොදු අපේක්ෂකයා මමය කියලා මම මුල්වරට කිව්වේ 2014 නොවැම්බර් මාසේ මාසෙ 21 වගේ දවසකනේ. ඒ වුණාට චන්ද්‍රිකා මැතිනිය මට වට්ස්ඇප් පණිවිඩකින් කතා කරලා ඔය ගැන කිව්වේ ඒ මාසේ 14 වෙනිදා. මෛත්‍රී ඔයාව අපි පොදු අපේක්ෂකයා විදියට තෝරගෙන තියෙනවා. ඔයා එන්න ඕන කියලා. මට ඒ වෙලාවේ හයියෙන් හිනා ගියා. මොකද හිනා වෙන්නේ. මේක විහිළුවක් නෙවෙයි කියලා එතුමිය මට සැර කරනකොට තමයි මටත් තේරුනේ මේක ඇත්ත කියලා. මං එතෙන්දි කල්පනා කරලා බොහොම අසීරු තීන්දුවක් ගත්තා.

ඒ වෙනකොට ඒගොල්ල එකතුවෙලා මූලික සාකච්ඡා කරලා මගේ නම යෝජනා කරනකොට ඔය සම්පන්දන් එහෙම පුදුම වෙලා තියෙනවා. මමනේ අරගෙන එන්නේ කියලා චන්ද්‍රිකා මැතිනිය විශ්වාසයෙන් කියලා…

අපි පහුවදා පාර්ලිමේන්තුවේදී දෙපැත්තේ ඉඳන් ඉඟිබිඟි වලින් කතා කර ගත්තා. රනිල් ඉඟි කරා එළියට එන්න. මමත් ඉඟිකරා හා කියල. අපි වෙන වෙනම එළියට ගියා. ඔය වෙලාවෙ අපේ ගම පරිශ්‍රයේ තිබුණා මගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත්වීම් වගයක් දෙන උත්සවයක්. මම ඒකට නොයා බෑ. ඒකට මම යනකොට මට ලොකු වෙනසක් දැනුනා. වෙනදා මාව ගණන් ගන්නැති මාධ්‍යවේදියෝ ලෝඩ් එකක් මගේ කාර් එක ඉස්සරහ මං බහිනකොට කැමරා අල්ලගෙන මගෙන් ප්‍රශ්න අහනවා. මුකුත් උත්තරයක් නොදී මම බොහොම අමාරුවෙන් තමයි ගැලවුණේ. මං හිතන්නේ මොනවා හරි වෙනසක් වෙන බව දැනගෙන. ඒ වෙලාවේ මම හිනා වෙච්ච විදිය උඩ තමයි මේගොල්ලෝ මේ සමාජ මාධ්‍යවල විකෘති කරලා මාව සමච්චලයට ලක් කරන්න යොදාගෙන තියෙන්නේ. අදටත් ඔය සමහර වෙලාවට මම කාර් එකට නගින අවස්ථාවේ හිනා වෙච්ච විදිය යනවා.

කොහොමහරි අපි මුණ ගැහිලා සාකච්ඡා කළා. මට පුදුම හිතුණා. රාජපක්ෂ කඳවුරට ජීවිතේට විරුද්ධ නොවේ යයි හිතපු ගොඩක් අය ඒ සාකච්ඡාවල හිටියා. එක් වරක් ඔය සාකච්ඡාවක් ඉවර වෙලා තවත් තීරණාත්මක තැනකට යනකොට මම ගියේ රාජිත ඇමතිතුමත් එක්ක කාර් එකේ එකට. ඒ වෙලාවේ ගෙදරින් එතුමාට කෝල් එකක් ඇවිත්. මට ඇහෙනවා දැන් දොස් මුරේ දානවා ඔය වැඩේ කරන්න එපා කියලා. එතුමට ගෙදරින් බනිනව පැත්තකට වෙලා ඉන්න ඕවට හවුල් වෙන්න එපා කියලා. මම ඒ වෙලාවේ ඒක ඇහිච්ච නිසා ටෙලිෆෝන් එක අරගෙන කතා කරලා කිව්වා ඔයගොල්ලෝ බය වෙන්න එපා අපි මේ වෙලාවේ අමාරුවේ වැටෙන්නේ නැහැ කියලා. අභියෝග රැසක් මැදයි අපි ගමන ආවේ…”

ජනාධිපති මෛත්‍රී තවත් විස්තර බොහෝමයක් කීවේය. ඒවා ඉතා රසවත් අතීත තොරතුරු විය. මාධ්‍යවේදීන්ට අහන්නට තව තවත් ප්‍රශ්න බොහෝය. ඒ අතර තවත් රසවත් මාතෘකාවක් වූයේ ආණ්ඩුව පිහිටවූ පසු ජනාධිපතිවරයා අගමැති මෛත්‍රී සමඟ විරසක වූ කාරණාවයි.

“දිනලා දවස් දෙකක් ගියේ නැහැ. මෙන්න එනවා රනිල්ගෙන් ලියුමක් මට ඉල්ලීම් දෙකක් කරලා.”

මොකක්ද ඒ ඉල්ලීම් දෙක කියා අහගන්නට මාධ්‍යවේදීන්ට ඉවසුමක් නැති විය…

“එකක් තමයි ජනාධිපතිවරයා සතුව තියෙන සියලු විධායක බලතල අගමැතිට පවරනවයි කියන පොරොන්දුව. හොඳට තියෙයි… දෙවැනි එක මෙය ආණ්ඩුව විසුරවන්නේ නැතුව දිගටම පවත්වාගෙන යනවයි කියන පොරොන්දුව. මම ඕක මගේ හිතවත් මිනිස්සු කීපදෙනෙකුට පෙන්නුවා. ඒ ගොල්ල කිව්වේ ඔන්න ඕක හදල විසිකරල දාන්න කියලා.

කොහොම වුණත් එදා ඉඳලා එයා එක පැත්තකට ගියා. අපි මුල ඉඳලා කරන්න හිටපු දේවල් ටික අපට කරගන්න බැරි වුණා. ඔන්න ඕක තමයි වුණේ…”

ඉන්පසු මහින්ද ජනාධිපති කරන්නට ගත් අසීරු තීන්දුව ගැන ද දිගින් දිගටම කතා බහ ඇති විය. අගමැතිකමට කරු ජයසූරියගේ නම යෝජනා කළ වෙලාවේ කරු රනිල්වත් රැගෙන තමන් හමුවීමට පැමිණි ආකාරය ගැන මෛත්‍රී හයියෙන් හිනා වෙමින් විස්තර කළේය. සජිත් ගැනත් එබඳුම කතාවක් විය. අවසානයේ මහින්දට නොදී බැරි තත්ත්වයට පත් වූ ආකාරය ඔහු කීවේය.”

කෙසේ වෙතත් මෛත්‍රී මාධ්‍යවේදීන් සමඟ පැය දෙකකට වැඩි කාලයක් එසේ සතුටින් සිනාවෙන් විහිළුවෙන් තහළුවෙන් කතාබස් කරමින් සිටියහ. අවසානයේ මාධ්‍යවේදීන් සචින්ට ස්තූති කළේ එවන් අවස්ථාවක් ඔවුන්ට සලසා දීම ගැනය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment