අපි කිව්වොත් ඇපත් නැති උන් කිව්වොත් නඩුත් නැති මොනවද මේ මන්ත්‍රී වරප්‍රසාද

201

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේ අදහස් දැක්වීමට ඇති නිදහස පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු අධිකරණයක දී හෝ ස්ථානයක දී ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැත.

එමෙන්ම එසේ ප්‍රකාශ කර ඇති ඕනෑම කරුණකට අදාළව කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවලට අදාළ කර ගැනීමටත් සිරබාරයට ගැනීමටත් බන්ධනාගාර ගත කිරීමටත් නොහැකි වේ.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඕනෑම ආකාරයක රැස්වීමකට සහභාගී වීමට යන හෝ එහි සිට පෙරළා පැමිණෙන අතරවාරයේ සිවිල් නඩුවකට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට රඳවා ගැනීමට හෝ හිරිහැරවලට භාජනය කිරීම ද කළ නොහැකිය.

දැන් දැන් සිදුවන දේවල් දකින විට අපට හිතෙන්නේ ප්‍රශ්න ඇත්තේ ජනතාවට නොව දේශපාලනඥයින්ට බවය. ඒ අයට ඒ තරමට ප්‍රශ්නය. මේ දිනවල මැවෙන විවිධ වූ පුවත් අතර එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව නිතර කියැවේ. රටේ ජනතාවට උල්ලංඝනය වන්නට තරම් දෙයක් මේ වනවිට ඉතිරිව නැත. ඒ ගැන නොසිතා රටේ ජනතාව කල්පනා කරන්නේ මොනවද මේ ඒ උත්තමයන්ට අහිමි වන දේ යන්නය. ඉතින් ඒ නිසාම ඒ ගැන කතා කළ යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද හා බලතල උල්ලංඝනයවීමට අදාළ තත්ත්වයන් ගැන සොයා බලන විට මතුවන්නේ පහත පෙළ ගැසෙන කාරණාය.

කිඹුල් කඳුළු හෙළන කතාව

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභිකයන්ගේ වරප්‍රසාද කඩවීම් පිළිබඳ ඉතිහාසය ප්‍රථම පාර්ලිමේන්තුව ලෙස ද හැඳින්වෙන 1948 වසරේ දී තේරී පත් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තෙක් දිව යයි. ඒ අනුව මතුගම මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා, කන්කසන්තුරේ මන්ත්‍රී චෙල්වනායගම් සහ කුරුණෑගල මන්ත්‍රී ශ්‍රී නිශ්ශංක යන මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවීම් වලට අදාළව යෝජනා කථානායක දැදිගම මන්ත්‍රී ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්‍රැන්සිස් ඇල්ප්‍රඩ් මොලමුරේ වෙත 1948 ජනවාරි මස වන විටත් භාර දී තිබුණි.

මේ අතරතුර එවකට බර්ගර් ප්‍රජාව නියෝජනය කිරීම සඳහා පත්කළ මන්ත්‍රී ඊ.එෆ්.එන්. ග්‍රේෂියන් මහතා සම්බන්ධව 1948 ජනවාරි 02 දින සතිපතා සිංහල පුවත්පතක් වූ “සියරට” හි කතුවැකිවල පළ කළ වාර්තා දෙකක් පාදක කර මේ සම්බන්ධව ගත යුතු කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු විය. “බර්ගර් ජාතික මන්ත්‍රීවරයා මළ ගෙවල්වල කුලියට අඬන මීගමුවේ කාන්තාවන් වගේ පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් තම වාසියට කිඹුල් කඳුළු හෙළන බව”ට මගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ගරුත්වයට හානි වී ඇති බව පවසමින් එම පුවත්පත් පිටපත් එම වසරේම ජනවාරි 07 වන දින අදාළ පුවත්පත් වාර්තා කොටස් හුවා දක්වමින් මේ පිළිබඳව එම දිනම විවාදයට ගැනීමට හෝ කථානායකවරයා විසින් ලබා දෙන දිනක සොයා බැලීමට කටයුතු කරන ලෙස අදාළ මන්ත්‍රීවරයා ඉල්ලා සිට ඇත. ඊට අමතරව, එම පුවත්පත් වාර්තා කොටස් සභාගත කිරීම ද සිදු කර ඇත. එවකට විපක්ෂ නායක රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ද මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම පුවත්පත් වාර්තා මගින් සමස්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව අදහස් දක්වා ඇත. අදාළ පුවත්පත් වාර්තා කථානායකවරයා විසින්ම කියවා බලා එමගින් වරප්‍රසාද මුළුමනින්ම උල්ලංඝනය වී ඇති බව තම පුද්ගලික අදහස ද වන බවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේම ගරුත්වය හා වරප්‍රසාද ආරක්ෂා කර ගත යුතු බවට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

එම වසරේ කළ යෝජනාව ද සැලකිල්ලට ගෙන කාර්යභාරයක් නොමැති අමාත්‍ය ආර්.එස්.එස්. ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කේ. කනගරත්නම්, එච්.ආර්.යූ. ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන්ගෙන් යුතු තේරීම් කාරක සභාවක් එවකට අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා රජය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකවරයා විසින් යෝජනාව ඉදිරිපත් කළ දිනම පත් කෙරිණ.

අපි කිව්වොත් ඇපත් නැති උන් කිව්වොත් නඩුත් නැති මොනවද මේ මන්ත්‍රී වරප්‍රසාද

මන්ත්‍රී වරප්‍රසාද කඩවීම සම්බන්ධව ගත යුතු පියවර පිළිබඳව මීට පෙර නීතිමය ආවරණයක් ගැනීම පිළිබඳ ලිඛිත සාක්ෂි නොමැති බැවින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මහජන මන්ත්‍රී මණ්ඩලයට හා එහි මන්ත්‍රීවරුන් හිමිකම්පාන වරප්‍රසාද කඩවීමේ සිදුවීම්වලට තත්ත්වයන් ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමටත් අදාළ පියවර ගැනීමට ප්‍රස්තූත වූවා විය හැකිය.

පසුකාලීනව මේ සම්බන්ධව සම්පාදනය කළ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත ජාතික රාජ්‍ය සමයේ 1978 අංක 5 දරණ පනත ලෙසත්, නැවත 1978 සම්මත කළ නව ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 1980 අංක 17, 1984 අංක 25 හා 1987 අංක 37 දරණ පනත්වලින් සංශෝධන වී වසර 2000 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද පනත ලෙස අවස්ථා පහකදී සංශෝධනයට ලක් වී ඇත.

පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු අධිකරණයක දී හෝ ස්ථානයක දී ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැත

මෙම සංශෝධිත පනත් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, බලතල ප්‍රකාශයට පත් කිරීම, පැහැදිලි කර ගැනීම, පාර්ලිමේන්තු සභා ගැබ තුළ අදහස් දැක්වීමේ හා විවාද කිරීමේ නිදහස තහවුරු කිරීමත්, එම වරප්‍රසාද කඩවූ අවස්ථාවක දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීති සැකසීම, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි, කාර්යසටහන් පළ කිරීමේ කටයුතුවල නිරත තැනැත්තන් ආරක්ෂා කර ගැනීමය.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේ අදහස් දැක්වීමට ඇති නිදහස පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු අධිකරණයක දී හෝ ස්ථානයක දී ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැත.

එමෙන්ම එසේ ප්‍රකාශ කර ඇති ඕනෑම කරුණකට අදාළව කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවලට අදාළ කර ගැනීමටත් සිරබාරයට ගැනීමටත් බන්ධනාගාර ගත කිරීමටත් නොහැකි වේ.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඕනෑම ආකාරයක

රැස්වීමකට සහභාගී වීමට යන හෝ එහි සිට පෙරළා පැමිණෙන අතරවාරයේ සිවිල් නඩුවකට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට රඳවා ගැනීමට හෝ හිරිහැරවලට භාජනය කිරීම ද කළ නොහැකිය.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුවලට බාධා පමුණුවන තැනැත්තෙකු වරෙන්තුවක් රහිතව කාරක සභාවේ සභාපති හෝ කථානායකවරයාගේ වාචික හෝ ලිඛිත දැනුම්දීම මත සිරභාරයට ලක් කිරීමේ බලතල ද මෙම පනත මගින් ලබා දී ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම හා ඒවාට දඬුවම් දීමේ ක්‍රම දෙකක් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ උපලේඛන දෙකක් මගින් පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, පහත දැක්වෙන වරදවල් සඳහා දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් හිමිවේ.

පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පිටව යන විට කිසියම් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුළදී පහරදීම, නින්දා කිරීම හෝ හිතාමතා බාධා කිරීම හෝ ඉදිරියේදී ගෙන ඒමට නියමිත කිසියම් යෝජනාවකට පක්ෂ වීමට හෝ විරුද්ධවීම සඳහා බලහත්කාරය, නින්දාව හෝ තර්ජනය කිරීම තර්ජනාත්මක ලිපියක් යැවීම හෝ අභියෝග කිරීම කිසියම් සාක්ෂිකරුවකු ලබා දෙන සාක්ෂි මගින් අයුතු බලපෑමක් එල්ල කිරීම, භයට පත් කිරීම, තර්ජනය කිරීම, රැවටීම පාර්ලිමේන්තුව රැවටීමේ අදහසින් ව්‍යාජ, අසත්‍ය හේතු හෝ වැරදි ලේඛන ඉදිරිපත් කිරීම මන්ත්‍රිවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී හෝ කාරක සභාවකදී පැවැත්වු කථාවක් වැරදි ලෙස නිර්වචනය කිරීම

● පාර්ලිමේන්තුව විසින් බාහිරවට නොදෙන ලෙස තහනම් කර ඇති කිසියම් ලේඛනයක් (හැන්සාඩ් වාර්තාව ද ඇතුළුව) පළ කිරීම

● පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම

● මන්ත්‍රීවරයකු විසින් තවත් මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශ නිකුත් කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ක්‍රියාකලාපයට බලපෑම් ඇති කිරීම සඳහා අල්ලස්දීම, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත පනත් කෙටුම්පතක්, කරුණකට සහාය වීම සඳහා හෝ විරුද්ධවීම සඳහා මුදලක්, වන්දියක්, ත්‍යාගයක් ලබා දීම හා එවැන්නක් එම මහජන නියෝජිතයා ලබා ගැනීම

● පාර්ලිමේන්තුව හෝ එහි කාරක සභාවක නියෝගයට පරිබාහිරව මුද්‍රණය කර ඇතැයි හැඟෙන කිසියම් වාර්තාවක පිටපත් මුද්‍රණය කිරීම හෝ එහි පිටපත් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කළ හැකි වැරදි

● මෙම පනත යටතේ කාරක සභා සභාපති හෝ කථානායකවරයාගේ හෝ මන්ත්‍රීවරයකුගේ නියමයකට අවනතවීම/සිතාමතා පැහැර හැරීම

● පාර්ලිමේන්තුව විසින් විධිමත් ලෙස බලය දෙනු ලැබූ කාරක සභාවකින් නියම කරනු ලබන අවස්ථාවක පැමිණි නොසිටීමට හිතාමතා කටයුතු කිරීම

● පාර්ලිමේන්තුව හෝ කාරක සභාවක් ඉදිරියේ සාකච්ඡාවට ගැනෙන ප්‍රශ්නයකට පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කිරීම

● පාර්ලිමේන්තුව තුළ හෝ කාරක සභා කාමරයක් තුළ හෝ පරිශ්‍රයේදි මන්ත්‍රීවරයකුට පහරදීම, නින්දා කිරීම හෝ සිතාමතා බාධා කිරීම

● පාර්ලිමේන්තුව රැස්ව ඇති අවස්ථාවක එහි කටයුතුවලට බාධා වන ලෙස කිසියම් කලබලයක් ඇති කිරීම හෝ ඊට සම්බන්ධවීම

● පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ගරුසරුවක් නොමැතිව හැසිරීම සාක්ෂිකරුවකු ලෙස සත්‍ය සඟවා කථා කිරීම හෝ වෙනත් විෂමාචාර ක්‍රියාවක්

මෙම පනතින් ආවරණය නොවන වරප්‍රසාද හා බලතලවලට අමතරව, ඉහත සඳහන් කළ පරිදි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මහජන මන්ත්‍රී මණ්ඩලයට හා එහි මන්ත්‍රීවරුන් වර්තමානයේ හිමි, ඒ සමාන හිමිකම් ද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත් කර දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් තහවුරු කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාටය.

ඒ අනුව වරප්‍රසාද කාරක සභාව පත්වන්නේ නව පාර්ලිමේන්තුවක් පත්වූ පසුව සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත තේරීම් කාරක සභාව විසින් ලබා දෙන නම්වලින් සමන්විතව. සභාපති තේරීම කාරක සභාවේ සභිකයන්ගේ වැඩිදෙනාගේ කැමැත්තෙන් සිදු වේ. මෙම කාරක සභාවේ සභාපතිවරයා වන්නේ කාරක සභාවේ සභිකයන් වැඩි දෙනාගේ කැමැත්තෙන් තේරීපත්වන මන්ත්‍රීවරයෙකි. වර්තමාන කමිටුවේ සාමාජිකයන් 12 ක් වන අතර, එහි සභාපතිත්වය උසුලන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාය. කාරක සභාවේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාංශය විසිනි. මෙය මීට පෙර “වරප්‍රසාද කාරක සභාව” ලෙස නම් කර තිබූ මෙම කාරක සභාව වඩාත් පුළුල් වපසරියක් ආවරණය කිරීමේ අරමුණින් වර්තමානයේ “ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව” ලෙස හැඳින්වේ.

ඒ අනුව පළමුවන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට එහි හත් වැනි සැසිය තෙක් දක්වා වරප්‍රසාද කඩවීමේ යෝජනා 121 ක් ද 1 වන හා 2 වන ජාතික රාජ්‍ය සභාවේ 44 ක් ද 1 වන පාර්ලිමේන්තුවේ සිට 9 වන පාර්ලිමේන්තුව දක්වා වරප්‍රසාද ප්‍රශ්න 727 කුත් ඉදිරිපත් කර ඇත. මෙයින් එක් පාර්ලිමේන්තු සැසියක ඉදිරිපත් වූ ලෙස සැලකුවහොත් 2004 දී පත්වූ හයවන පාර්ලිමේන්තුව තුළ පමණක් ලත් පැමිණිලි සංඛ්‍යාව 238 කි. දෙවන වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ 2010 වසරේ පත්වූ හත්වන පාර්ලිමේන්තුවට වන අතර, 2020 දී තේරී පත්වූ වර්තමාන පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් ව ඇති වරප්‍රසාද කඩවීමේ යෝජනා ගණන 02 කි.

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳව කථා කරන විට ආන්දෝලනාත්මක විශේෂ අවස්ථා ගණනාවක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීම උචිත යැයි හැඟෙන බැවින් පහත දැක්වෙන අවස්ථා මෙහිලා සටහන් කෙරේ.

නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ පාලිත තෙවරප්පෙරුම ඉනෙහි සඟවා පාර්ලිමේන්තුව තුළට පිහියක් ගෙනඒම මගින් අනෙක් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා ආරක්ෂාවට තර්ජනයක් වූ බවට පැමිණිල්ලක් ද ලැබී තිබුණි.

2010-2015 ආණ්ඩු කාල සීමාවේ දී තමා අසාධාරණ ලෙස සිරගත කර සිටියදී තම වරප්‍රසාද අහිමි වූ බවත් තමන්ට හිමි මන්ත්‍රී වැටුප් හා වෙනත් අයිතිවාසිකම් නැවත තහවුරු කර දෙන ලෙස සරත් ෆොන්සේකා මහතාගේ යෝජනාව ද සමාජයේ දැඩි කථාබහට ලක් වූවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට අදාළව තමාට හා පවුලේ උදවියට දුරකථන මගින් මරණ තර්ජනය එල්ල වූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජයම්පති වික්‍රමරත්න මහතා වරප්‍රසාද කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට සහභාගී වීමට බාධා එල්ලවීම පිළිබඳවත් විධිමත් අධිකරණ නියෝගයක් නොමැතිව තම දුරකථන සංවාද රහස් පොලිසිය විසින් ලබා ගැනීම මගින් තම වරප්‍රසාද කඩවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබුනි.

මීට අමතරව, සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත හා දේපලවලට හානි කිරීමේ උත්සාහයක් ඇති බවට කාංචන විජේසේකර අමාත්‍යවරයා කාරක සභාවට පැමිණිලි කිරීමත් මෙම පනතේ වගන්ති භාවිතා කර මෑතක සිදුවූ සිදුවීම් දෙකක මතකය ද එක් කිරීමට මෙය අවස්ථාවක් ලෙස සලකමි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ ඉතුරු වෙළුම් ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගරු මැල්කම් රංජිත් හිමිපාණන් එවකට පොලිස්පති හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව ඉදිරිපත් කළ රිට් පෙත්සම එම වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් මන්ත්‍රී වරප්‍රසාද හිමි අයට පමණක් එය පරිශීලනය හැකි බව අගතියට පත් පාර්ශ්ව වෙත දනුම් දී තිබුණි.

පසුගිය මැයි 04 වන දින පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක් නිරතව සිටි උද්ඝෝෂකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට හා ඉන් පිටවීමට බාධාවීම තුළින් ඔවුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ වරද මතය.

අදාළ පනතේ 26 වන වගන්තිය යටතේ මන්ත්‍රීවරයකු විසින් තම වරප්‍රසාද කඩවීමට අදාළව යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ලිඛිතව ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වේ. කඩකිරීම්වලට වගකිවයුතු පුද්ගලයන් කැඳවීමටත්, අවශ්‍ය ලේඛන ගෙන්වා ගැනීමටත් සහ පරීක්ෂණවලට අදාළ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමටත් බලය තිබේ. වරප්‍රසාද කඩවීම සොයා බැලීමට විෂය දැනුමැති බාහිර විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමට ද කාරක සභාවට බලතල ඇත. මෙම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ හා නිගමන මත චූදිත මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි වේ.

මෙසේ ලැබෙන පැමිණිලිවලින් බොහොමයක් සාවද්‍ය පුවත්පත් වාර්තා පළවීම් වන බැවින් අදාළ වාර්තාකරු කාරක සභාවට ගෙන්වා අවවාද කිරීම් හා වරද පිළිගැනීම තුළ නිවැරදි කිරීම් අදාළ පුවත්පතේම පසුකාලීනව පළ කිරීමට නියෝග කිරීම බහුලව දැකිය හැකි දඬුවමක් බවට පත්ව ඇත.

චර්යා ධර්ම සංග්‍රහය

කාරක සභාව විසින් යොමු කළ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත වූ වරදක් සම්බන්ධව තීරණය කළ අවස්ථාවක ඒ පිළිබඳ වැඩිදුර නීති උපදෙස් මත ක්‍රියා කිරීමට නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකියාව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් 2018 දී ප්‍රකාශයට පත් කර ඇති “චර්යා ධර්ම සංග්‍රහය” කඩකරන හා අනුගමනය නොකරන අවස්ථා පිළිබඳ ක්‍රියා කිරීමේ බලය ද මෙම කාරක සභාව සතුවේ.

ඉහත කී ආචාර ධර්ම සංග්‍රහයට අමතරව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ද කාරක සභාවේ විමර්ශනවලදී භාවිතා කෙරේ.

පාර්ලිමේන්තුව විසින් නියම කළ හැකි දඬුවම වෙන්නේ අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභා ගැබ වෙත කැඳවා මින් මතුවට එම වරද නොකරන ලෙස අවවාද කිරීම හෝ සභා ගැබෙන් ඉවත් කිරීමයි.

මේ හා සම්බන්ධව ඉහත දඬුවම්වලට අමතරව හෝ ඉහත සඳහන් දඩුවම් වෙනුවට මාසයකට අඩු කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීමේ ප්‍රතිපාදන ද ඇත.

තවද, කිසියම් මන්ත්‍රීවරයකු විසින් කරනු ලබන සදාචාර විරෝධී හැසිරීමකට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වූ චර්යා ධර්ම සංග්‍රහයේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් යම් මන්ත්‍රීවරයකු තම බැඳියාවන් පිළිබඳ වැරදි හෝ අසත්‍ය තොරතුරු ලබාදීම පිළිබඳව අදාළ කාරක සභාව වෙත පැමිණිලි කිරීමට ද මෙරට පුරවැසියන්ට හැකියාව ඇත. එසේ ඉදිරිපත් කරන පැමිණිල්ල පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් මන්ත්‍රීවරයකුගේ අනු අත්සන සහිතව එම මන්ත්‍රීවරයා විසින්ම කථානායකවරයා වෙත යොමු කළ යුතු වේ.

අගතියට පත් මන්ත්‍රීවරයා විසින් තම යෝජනාව කථානායකවරයා වෙත අනුමැතිය සඳහා යොමු කිරීමේ ක්‍රමය වෙනුවට වරප්‍රසාද කඩවීම මගින් බැලූ බැල්මට ඇති වී ඇති හානිය සලකා කථානායකවරයා අදාළ කරුණ සෘජුව කාරක සභාව වෙත යොමු කරවීමටත් එසේ යොමු කෙරෙන පැමිණිලි සති 2 ක් තුළ සලකා බලා වාර්තාවක් ලබා දීමට අදාළව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ සූදානමක් ද ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධව දශක 6 කට වැඩි කාලයක් පුරා පැවති වරප්‍රසාද කඩවීමේ පැමිණිලි කිරීමේ ක්‍රමවේදය මෙලෙස සංශෝධනයට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදීව ගත් කල ද කිසියම් ඉදිරිගාමී තත්ත්වයකි.

ආනන්ද කරුණාරත්න
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment