අභ්‍යවකාශය ජයගත් ඉන්දියාව

343

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා පසුගියදා ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Indian Space Research Organisation) වෙත උණුසුම් සුබපැතුම් එක් කළේ එම පර්යේෂණ සංවිධානය විසින් රොකට්ටුවක් මගින් අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් සාර්ථක ලෙස කක්ෂගත කළ ඓතිහාසික අවස්ථාව නිමිත්තෙනි. ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ඉතිහාසයක් ඇත. 1960 දශකයේ මුල් භාගයේදී ඉන්දියාව සිය අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ, චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පවා තවදුරටත් පර්යේෂණ සිදුකරන අවධියකදීය.

ඉන්දියානු රජයට අනුබද්ධිත සමාගමක් වන නිව් ස්පේස් ඉන්දියන් සමාගම සහ බි්‍රතාන්‍යයේ වන් වෙබ් සැටර්ලයිට් සමාගම සමග එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසට මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම හැඳින්විය හැකිය.

රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් මෙහි මෙහෙයුම් කටයුතු මාස ගණනකට ප්‍රමාද කිරීමට සිදුවූ අතර මෙම යෝධ මෙහෙයුම පසුගිය ඔක්තෝබර් මස 23 දා උදෑසන සාර්ථකව සිදු කළ බවට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළා. ආන්ද්‍රා ප්‍රදේශ්හි සතිෂ් ධවාන් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට පසුගිය 23 වන ඉරිදා අලුයම 12.07 රොකට්ටුව ගමන් ආරම්භ කර තිබේ. එම යෝධ රොකට්ටුව නම් කර ඇත්තේ (LVM3) ලෙසයි. එම රොකට්ටුව මගින් සිදුකරන පළමු වාණිජමය දියත් කිරීම මෙය බවට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කර සිටියේය.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මාර්තු මාසයේදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ පැවැති සබඳතා බිඳී යෑමෙන් පසු බි්‍රතාන්‍යයේ වන් වෙබ් සමාගම එක්ව ඉන්දියාව දියත් කළ පළමු මෙහෙයුම මෙයයි. ගෝලීය අර්බුදය ඉන්දියාවට අර්බුදයක් නොකර ගන්නා බවට කදිම නිදසුනක් ලෙසට මෙය සඳහන් කළ හැකිය.

වාණිජ මෙහෙයුම් සඳහා චන්ද්‍රිකා කක්ෂගත කිරීම

වාණිජ මෙහෙයුම් සඳහා චන්ද්‍රිකා කක්ෂගත කිරීම තුළින් ගෝලීය වාණිජමය ක්ෂේත්‍රයේ ඉන්දියාවේ තරගකාරීත්ව දායකත්වය ඉහළ නංවන බවත් එය සේවා වෙළෙඳපොළ පුළුල් කිරීමක් බවත් අගමැති නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය සතුට ප්‍රකාශයට පත් කරන ලදී. මෙම අභ්‍යවකාශ මෙහෙයුම් ක්‍රියාවලිය මගින් ලෝකයේ අනෙකුත් රටවල් සහ ව්‍යාපාර ආයතන සඳහා අන්තර්ජාල ප්‍රවේශය සපයා මුදල් ඉපයීම අරමුණු කර ගෙන ඇත.

ඉන්දියාවේ ඕනෑම රොකට්ටුවක් මගින් අභ්‍යවකාශයට ටොන් 6ක බරක් රැගෙන ගිය පළමු අවස්ථාවද මෙය ලෙස සැලකේ. චන්ද්‍රිකා 36ක බර ටොන් 5.8ක් පමණ වූ අතර එය මේ දක්වා අභ්‍යවකාශය වෙත යැවූ වැඩිම බර ධාරිතාව ලෙසට සැලකේ.

මීට අමතරව 2019 වර්ෂය ආරම්භ වනවාත් සමග ඉන්දියාව ලෝකයේ අඩුම බරින් යුත් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරන ලදී. බරින් කිලෝග්‍රෑම් 1.26 ක් වූ කලාම්සැට් වී2 (Kalamsat V2) ලෙස නම් කර ඇති එම චන්ද්‍රිකාව එරට අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයක සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලදී.

එහිදී මෝදි අගමැතිවරයා ප්‍රකාශ කළේ අද දිනය ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයට නව පියාපත් ලැබෙන දිනය බවයි. නිදහසින් පසු වසර 75ක් පුරා ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දැරුවේ ඉන්දීය රජය සහ රජයට අනුබද්ධ ආයතන මගින් පමණි. කෙසේ වෙතත් මේ වන විට අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සඳහා පුද්ගලික සමාගම් දායක කර ගැනීමෙන් අභ්‍යවකාශය වාණිජ වෙළෙඳපොළක් බවට පත් කරගැනීමට ඉන්දියාව සමත්වී ඇත.

අභ්‍යවකාශය වාණිජ වෙළෙඳපොළක් කරගැනීම

ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළෙඳපොළ තුළ ප්‍රමුඛ පෙළේ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතුවෙමින් සිටින බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මේ වන විට ඉන්දියාව විදේශ රටවලට අයත් චන්ද්‍රිකා කක්ෂගත කරමින් විදේශ විනිමය උපයමින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ අභිමානයක් ඇතිකරගෙන ඇත. ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය ගෝලීය ආර්ථිකයේ කොටසක් ඩැහැගැනීමෙන් සිය හැකියාවන් පෙන්නුම් කර ඇති අතර අභ්‍යවකාශය උදෙසා වන තරගයේදී, ක්‍රියාකාරීව දායකවීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බව නිරීක්ෂකයෝ මත පළකරති.

ඉන්දියාව 2022 ඔක්තෝබර් 23 වන විට රටවල් 36ක් සඳහා චන්ද්‍රිකා 381ක් අභ්‍යවකාශගත කර ඇත. ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළ පරිදි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සිය වාණිජ ව්‍යාපෘති හරහා ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා චන්ද්‍රිකා දියත් කිරීමෙන් ඩොලර් මිලියන 279 ක විදේශ විනිමය උපයා ඇති බව මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ජුලි 27 වන දින ලෝක් සභාවේ දී කරුණු හෙළි කර සිටියේය.

අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සඳහා අයෝජනය කිරීමට ඉන්දියාවේ බොහෝ රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන ඉදිරිපත් වීමත් සමග විශාල වාණිජ විභවයන් සහිත නව මාවතක ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ කටයුතු යොමු වී ඇත.

ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ආර්ථික වටිනාකම දැනට ඩොලර් බිලියන 447 ක් වන අතර මෙයට සාපේක්ෂව ඉන්දියාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ආර්ථික වටිනාකම රුපියල් කෝටි 36,794 ක් (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5 ක්) ලෙස තක්සේරු කර ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ දායකත්වය එතරම් වර්ධනීය මට්ටමක නොවන බවයි.

ඉන්දියානු මාධ්‍ය ඇසුරිනි
ආලෝක් ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment