‘අරගලයට’ අරලියගහ මන්දිරයෙන් ප්‍රබල උත්තේජකයක්!

2000

විධායකය, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරණය වර්ධනය වෙමින් පවතින අර්බුදය බව අමුතුවෙන් කිවයුතු නැත. එම තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ආර්ථික – දේශපාලන – සමාජීය ව්‍යකූලත්වය ද අවධානයට ලක් කිරීමෙනි. විධායකය නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තර්ජනයකට මුහුණ දී ඇත. අධිකරණය නියෝජනය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය දේශපාලන අර්බුදය විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග අගය කළ යුතුය. වර්තමාන ව්‍යාකූලත්වය ශ්‍රී ලංකාව වේගයෙන් විනාශයට ඇදගෙන යමින් පවතියි. ද්‍රවිඩ ත්‍රස්තවාදයට දශක තුනකට ආසන්න කාලයක් කළ නොහැකි වූ දේ ශ්‍රී ලංකාවේ තරු පහේ ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමය තුළ දේශපාලන පක්ෂ අත්කර ගනීවිද ?

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් දෙවරක් ජනපති (2005 නොවැම්බර් -2015 ජනවාරි) හිටපු අගමැති (2020 අගෝස්තු – 2022 අප්‍රේල්) මහින්ද රාජපක්ෂ මහතාට ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරු සංකීරණයේ ආරක්ෂාව පැතීමට සිදුවූයේ ඇයි ?

හිටපු අග්‍රාමාත්‍යවරයා නාවික හමුදා ආරක්ෂාව යටතේ සිටින බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ නාවික හමුදාපති නිශාන්ත උලුගුතැන්න පසුගිය මැයි 11 දින තහවුරු කළේය. ඒ ඊට පෙරදින අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනකුට ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් කොළඹ සිට ත්‍රිකුණාමලයට යෑමට අවශ්‍ය පහසුකම් සැපයීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ බවට ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබෙන තත්ත්වයක් තුළය.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව නැගෙනහිර නාවික විධානය තුළ තහවුරු කිරීමට සිදුවීම අවධාරණය කරන්නේ ආණ්ඩුවට රුපියල් හිඟවීම සහ රටට ඩොලර් නැත්තටම නැතිවීම නිසා ඇතිවූ දේශපාලනික සහ සමාජීය අර්බුදය සමස්ත ශ්‍රී ලංකාවම අස්ථාවර කර ඇති බවයි.

මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ජාතික ආර්ථිකය මරණාසන්න බව පවසයි. හිටපු අග්‍රාමාත්‍යවරයා නැගෙනහිර නාවික විධානය තුළ තම ආරක්ෂාව තහවුරු කරගැනීම සහ මහා බැංකුවේ අධිපති සමස්ත දේශපාලන නායකත්වයට කළ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාව නව මානයකට ගෙන ගොස් ඇත. නන්දලාල් වීරසිංහ කළ අනතුරු ඇඟවීම දේශපාලන නායකත්වය තේරුම් ගනීවිද? නැතහොත් තවදුරටත් රට ව්‍යාකූල කිරීම දේශපාලන පක්ෂ-වෘත්තීය සමිති – සිවිල් සංවිධාන නායකත්වය දේවකාරියක් ලෙස කරාවිද ?

තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තුවේ බලයක් හිමිව තිබූ ආණ්ඩුවට වැරදුනේ කොතැනද කියා විමසා බැලීම ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමයි.

විධායක බලය හිමි ජනාධිපතිවරයාට එම පක්ෂය තුළ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට තිබූ අවස්ථාව ප්‍රමාණවත් වූවාද? එලෙසෙම ජාතික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය උඩු යටිකුරු කිරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ආන්දෝලනාත්මක තීන්දු තීරණ ආණ්ඩු පක්ෂය පිරිහීමට කොපමණ බලපෑමක් කළාද?

විශේෂයෙන්ම ආර්ථිකය බරපතළ ලෙස අවුල් වීමේ පසුබිම තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත පාරේ පිහිටි පෞද්ගලික නිවාසය ඉදිරිපිට මාර්තු 31 දින පිපිරී ගිය ජනතා විරෝධය වටහා ගැනීමට ආණ්ඩු පක්ෂයට නොහැකි විය. විධායකය සහ ව්‍යවස්ථාදායකය ජනතා විරෝධය නිසියාකාරයෙන් තේරුම් ගත්තේ නැත. වෘත්තීය සමිති ඇතුළු ආණ්ඩුවට එරෙහි කණ්ඩායම් රජයේ නොසැළකිල්ල නිසා ඇතිවූ විරෝධතා රැල්ල අපූරුවට පාවිච්චි කළේය. රජය සුපුරුදු ක්‍රියාමාර්ග හරහා එම අභියෝගය යටපත් කිරීමට නැතහොත් මර්දනය කිරීමට උත්සාහ කළ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

මෙහිදී විධායකය හොබවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බව නොසලකා මෙම තත්ත්වය කිසිසේත් විමසා බැලිය නොහැක.

මාර්තු 31 වන දින සිට අප්‍රේල් 08 වන දින දක්වා පැවති ගැටුම්කාරී තත්ත්වය මැයි 09 දින පෙරවරු 11 ට පමණ පුපුරා යෑමට හේතු වූයේ අරලියගහ මන්දිරය අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කිරීමට කැඳවූ අනවශ්‍ය රැස්වීම නොවේද? අවසන් ප්‍රතිපලය විරෝධතාකරුවන් දැඩිව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම නොවේද? අද හිටපු අග්‍රාමාත්‍යවරයා ත්‍රිකුණාමලයේ නාවික හමුදා ආරක්ෂාව යටතේය. තත්ත්වය යහපත් නැත. හිටපු අගමැතිවරයාට කොපමණ කාලයක් නාවික හමුදා ආරක්ෂාව යටතේ සිටීමට සිදුවේද?

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක අවශ්‍ය ‘බූස්ට්’ එක ලබා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ඕනෑම ඡන්දයකදී එම පක්ෂයට වැඩ කරන කණ්ඩායම නොවේද? අරලියගහ මන්දිරයට පැමිණි එම කණ්ඩායම ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සභාව ඇමතීමෙන් පසුව අගමැති මැඳුර ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන් හට අමානුෂික ලෙස පහර දුන්නේ ඇයි? එම කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ විරෝධතාකරුවන් ඉවත් කිරීමටමද ? එදින පෞද්ගලික රුපවාහිනි නාලිකා අරලියගහ මන්දිරයෙන් කලහකාරී ලෙස පිටවන පොහොට්ටු ආධාරකරුවන් කළ වික්‍රමය සජීවීව ආවරණය කළේය. මාර්තු 10 දින අරලියගහ මන්දිරය අසලදී විරෝධතාකරුවන් පිරිසකගේ පහරකෑමට ලක්වූ කොළඹ ප්‍රදේශය භාර දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නායකත්වයෙන් පොලිසිය ඊට පෙරදින ක්‍රියාකළ ආකාරය සජීවීව ආවරණය කර ඇත. අරලියගහ මන්දීරය පොලිසිය සමඟ කුමන්ත්‍රණය කළාද ? යන ප්‍රශ්නය පූජ්‍ය ඕමල්පේ සොභිත හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම මතුකර ඇත. මෙහෙයුමට නායකත්වය දුන්නේ අරලිගහ මන්දිරයද ?

ලියුම්කරු මතුකරන මෙම කාරණාව කිසිසේත්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ පහර දීම සාධාරණීකරණය කිරීමක් නොවේ.

නමුත් මෙහෙයුම බරපතළ ලෙස වැරදි ඇත. ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමට අරලියගහ මන්දිරය ප්‍රබල උත්තේජකයක් ලබා දුන් බව අද කවුරුත් අවබෝධ කර ගෙන ඇත. එම ‘බූස්ට්’ එක නැතහොත් සුපිරි උත්තේජකය ඇති කළ දේශපාලන සුනාමිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කර ඇත. ශ්‍රී ලංකාවේ ලාබාලම සහ ප්‍රබලම පක්ෂය අද අබල දුබල වී ඇත. නැවතත් ජාතික මට්ටමේ ඡන්දයකට ඉදිරිපත් කිරීමට ප්‍රබල කණ්ඩායමක් සොයා ගැනීම එම පක්ෂයට බරපතළ අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භූමියේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වූයේ ඇයි? අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේ නාවික හමුදා ආරක්ෂාව යටතේ සිටීම ජනතාවට ප්‍රශ්නයක් වූයේ ඇයි ? එම තත්ත්වය ඇත්තවශයෙන්ම බරපතළ ගැටලුවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම ජනතාව ප්‍රතික්ෂේප කරන බවට යම් පාර්ශ්ව කර ඇති ප්‍රකාශ තුළ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාත්මක විරෝධතාව සැඟවිය නොහැක.

හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශීය මාධ්‍ය කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම එක්තරා ආකාරයකට අවාසනාවන්ත තත්ත්වයකි. එදා (2006 ජුනි 15) ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් 60 දෙනකු මරා දැමීමෙන් පසුව තම ජීවිත ආරක්ෂාව පවා නොතකා එම ප්‍රදේශයට ගොස් ජනතාවට මහත් ශක්තියක් වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාවක් නැතිවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. එතුමා දුන් දේශපාලන නායකත්වය අසමසමය. බටහිර බලවතුන් කළ කෙළවරක් නොමැති බලපෑම්වලට ජනාධිපති මහින්ද රාජපක්ෂ යට වූයේ නැත. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්වන ජෙනරාල් සරත් ෆොන්සේකා, වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක නොවන්නට එදා පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය අදටත් රටට තර්ජනයක් විය හැකිව තිබුණි.

'අරගලයට' අරලියගහ මන්දිරයෙන් ප්‍රබල උත්තේජකයක්!

වර්තමාන දේශපාලන අර්බුදය (රාජපක්ෂවරුන් මුහුණ දෙන අභියෝගය) විමසා බැලිය යුතු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය (2010 ජනවාරි -2015 ජනවාරි) සහ 2010 සැප්තැම්බර් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගන්නා ලද අතිශය විනාශකාරී 18 වැනි සංශෝධනය මෙන්ම එම නීතිය බල රහිත කිරීමට 2015 අප්‍රේල් හිදී පාර්ලිමේන්තුවේදී අනුමත වූ 19 වැනි සංශෝධනය ද සලකා බැලීමෙනි. මෙහිදී වර්තමාන ආණ්ඩුව මහත් උජාරුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී සම්මත කරගත් 20 වැනි සංශෝධනය දේශපාලන කොඩිවිනයකි. ජේ. ආර්. ජයවර්ධන 1978 දී හඳුන්වාදුන් ඒකාධිපති ව්‍යවස්ථාව තව දුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් 20 වැනි සංශෝධනය ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට ප්‍රබල සාධකයක් විය. නමුත් ව්‍යවස්ථා බලය ආයුධයක් කරගත් පොහොට්ටු පක්ෂය අද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ණය කන්දරාවට ශ්‍රී ලංකාව යටවී ඇත. පැඟිරිවත්තේ පිපිරීමෙන් පසුව සති කිහිපයකට මුදල් අමාත්‍ය ධුරය දැරූ ජනාධිපති නීතිඥ අලි සබ්රි රොනී දී මැල් ගෙන් පසුව මහින්ද රාජපක්ෂ ඇතුළුව අනෙකුත් මුදල් අමාත්‍යවරුන් වගකීම් විරහිතව කටයුතුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේදී සහ සජීවී ස්වර්ණවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කළේය.

එජාපය 19 වැනි සංශෝධනය විශේෂයෙන්ම සම්මත කළේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමටය. එම සංශෝධනය සමස්තයක් ලෙස රාජපක්ෂවරුන්ට බාධකයක් විය. බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හෝ මහමැතිවරණයකට ඉදිරිපත් වීම වැළක්වීමද එම සංශෝධනයේ තවත් අරමුණක් විය. නාමල් රාජපක්ෂ ද ඉලක්ක විය. රාජපක්ෂවරුන් එම ව්‍යවස්ථා අභියෝගය ජයගත්තේය. නමුත් එම ජයග්‍රහණය වඩාත් ශක්තිමත් කිරීමට සම්මත කරගත් 20 වැනි සංශෝධනය පොහොට්ටු පක්ෂයට ආපිට කැරකී ඇවිත් ඇත. දේශපාලන බලය අනවශ්‍ය ලෙස වැඩිවීමද පක්ෂ මුරණ්ඩු කරවයි. වියරුවෙන් ක්‍රියාකරයි. කිසිදු අවවාදයක්, උපදෙසක් සලකන්නේ නැත. නමුත් 20 වැනි සංශෝධනයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ රාජ්‍ය අංශයට සහ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය එකතු වී දූෂණ, වංචා සහ අක්‍රමිකතා කිරීමට අවශ්‍ය පරිසරය ව්‍යවස්ථානුකූලවම නිර්මාණය කිරීමයි.

ව්‍යවස්ථාවෙන් දූෂිතයන්ට ආරක්ෂාවක් දුන් ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් තිබේ දැයි සොයා බැලිය යුතුය. විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න සහ කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මෙම ලියුම්කරු කළ විමසීම්වලදී අවධාරණය කළේ 20 වැනි සංශෝධනය දූෂිත ක්‍රියාවන්ට ආරක්ෂාවක් බවයි.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් දූෂණයට එරෙහිව යුද්ධයක් ආරම්භ කරන බවයි. අද වනවිට ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව දූෂණයට, වංචාවට සහ අක්‍රමිකතාවලට එරෙහි යුද්ධයෙන් පරාජය වී ඇත. ජනතාව අද අවි අමෝරා ගෙන ඇත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මුහුණු දෙන අර්බුදය එයයි. අහස උසට නැඟ ඇති ජීවන වියදම සහ අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ සහ සේවා හිඟ තත්ත්වයක් තුළ ජනතාවට බල කණු තුනම විශ්වාස නැත. තව දුරටත් වර්ධනය වන මහජන විරෝධතා අවධාරණය කරන්නේ සමස්ත අවස්ථාවාදී, වලත්ත දේශපාලන යාන්ත්‍රණයේ නොහැකියාවයි.

එම තත්ත්වය සියලුම රාජපක්ෂවරුන් ඉවත් කර, අන්තර්කාලීන පාලනයක් ඇති කළ පමණින් වෙනස් කළ නොහැක. සියලුම දේශපාලන පක්ෂ සැබෑ වෙනසකට ලක් විය යුතුය. දේශපාලනය යහපත් විය යුතුය. පාර්ලිමේන්තුවට ඇතුළු වූ සැනින් ලක්ෂ 300 ක් පමණ තීරු බදු සහනයක් යටතේ ගෙන්වූ සුපිරි මෝටර් රථයක් මහ භාණ්ඩාගාරයට අදායම් අහිමි කර විකුණන මහජන නියෝජිතයන් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. කොවිඩ් ව්‍යසනයෙන් ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්වී බොහෝ ආනයන නවතා සිටි 2021 දී මහජන නියෝජිතයන්ට තීරු බදු රහිත වාහන ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යාංශය බව වගකිවයුත්තන්ට අමතකය. එම අමාත්‍යාංශය 2020 දී සුදු සීනි බද්ධ කිලෝවකට රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කළේ රජයට තව දුරටත් අදායම් මාර්ග අහිමි කරමින්ය. ඒ 2020 ඔක්තෝබර් 13 දිනය. ඊට මාස 10 කට පමණ පෙර බදු ගණනාවක් ඉවත් කළේ සහ අඩු කළේ රුපියල් බිලියන 500 කට වැඩි ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට අහිමි කරමිනි. එවකට මුදල් ඇමැති වූයේ මහින්ද රාජපක්ෂය. කැබිනට් මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති කැබිනට් මණ්ඩලය සාපේක්ෂව කුඩා වූවාට වැඩක් නැත.

අතිශය ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම 2021 සැප්තැම්බර් 17 දින මහ රෑ අත්සන් කර පොහොට්ටු කැබිනට් මණ්ඩලය ලෝකයට හෙළිදරව් කළේ ශ්‍රී ලංකා දේශපාලනයේ අශිලාචාර බවයි. ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක් රටේ ඉහළම උසාවියේ පැවරූ නඩු හේතු නොදක්වාම ඉවත දැමූ බව සත්‍යයකි. ජනතා අරගලය විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බල කරන්නේ සැබෑ වෙනසක් බව අවධාරණය කළ යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment