අරගලය ගැන කනගාටුවක් වගේම එක පැත්තකින් සතුටක් තියෙනවා  

215

එයින් නාස්තිය දූෂණය නැතිකරන්න හැමෝගෙම ඇස් ඇරුණා – ඇමැති අරුන්දික ප්‍රනාන්දු

අරගලයට වගකිව යුත්තන් දේශපාලඥයන් පමණක් නොවන බවත් හිටපු ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් මැයි 09 වෙනි දින කලහකාරී පිරිස් විසින් දංකොටුව නගරයේ සිය නිවස ආසන්නයේ පිහිටි ගිනි තබා විනාශ කළ කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මහ ජනතාව සඳහා යළි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඊයේ දිනට (15) යෙදී තිබූ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ 51 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම කාර්යාලය ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය සහ සිය සමීපතම හිතවතුන්ගේ මූල්‍ය දායකත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා, අරගලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ජනතාවට විශාල ප්‍රශ්ණ තිබුණා. මේ විපාකය විඳින්නට වුණේ අපේම අයගේ වැරදි නිසයි, ඇතැම් අපේ අය වංචා දූෂණ සිදු කළ නිසයි. දැනටත් වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා ඉන්න කොටස් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒ අය නිසා තමයි අපට මෙහෙම වුණේ කියලා. අපි එහෙම කළේ නෑ. අපෙන් වුණු මගහැරීම් අපි පිළිගන්න ඕනෑ. අරගලය ගැන කනගාටුවක් ඇති වෙනවා වගේම එක පැත්තකින් සතුටක් ඇති වෙනවා. දේශීය ආදායම් වැඩි කරගන්න නාස්තිය දූෂණය නැතිකර කරගන්න ඒ නිසා ඇස් ඇරිලා තියෙනවා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හැත්තෑ දාහක් මට පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය දුන්න අය, ලක්ෂ 69 හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන්න අය, අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හැම මන්ත්‍රී මන්ත්‍රීවරයකුටම ලක්ෂ ගණන් ඡන්ද දුන්න අය අන්තිමටට මේ ප්‍රශ්නත් එක්ක අපිව දාලා ගියා. ඒ නිසා ඒ අඩුපාඩු අපි පිළිගන්න ඕනෑ.

අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවස හා කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කිරීම හේතුවෙන් තමනට කෝටි 30 ක අලාභයක් සිදුවී ඇති බවට ඒ මහතා දංකොටුව පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදු කිරීමට කටයුතු කෙරිණි. ඒ මහතාගේ නිවසට අලාභහානි කළ විස්සකට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරීමට කටයුතු කෙරිණි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment