අර්බුදය ජයගන්න  ආණ්ඩුවට කිසිම විසඳුමක් නෑ… – ඉදිරිය ඉතා බියජනකයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී කියයි

83

ජනතාවගේ ආතතිය වැඩිවී ගැටුම්කාරී  සමාජයක් නිර්මාණය වෙමින් තිබෙනවා

ආණ්ඩුවට නිසි සැළසුමක් තිබුණේ නැති නිසයි රට මේ තත්වයට පත් වුණේ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අම්බලන්තොටදී පැවසීය.

අද අප ඉස්සරහ තියෙන්නේ ඉතාමත් බියජනක චිත්‍රයක්. අපට මීට මාස හත අටකට කලින් තිබුනේ කුඩා ප්‍රශ්ණ දෙකක්. ඒ

තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් තිබුණෙ නැති එක හා ආණ්ඩුවට වියදම් කරන්න තරම් ආදායමක් භාණ්ඩාගාරයට ආවේ නැති එක. අපිට තිබුණේ මූල්‍ය ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නයක් තිබුණේ. අපට භාණ්ඩ ගේන්න ඩොලර් නෑ. ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි නෑ. එතකොට මේ අර්බුදය තිබුණෙ ටිකක් උඩ. ඒ වෙලාවේ හරි පාලකයන් මේ රටේ සිටිය නම්, නිසි වෙලාවේදී නිවැරදි තීන්දූ තීරණ ගත්තනම් මෙවැනි ව්‍යසනයකට අපේ රට පත් නොවී බේරගන්න තිබුණා යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දින (01) දින අම්බලන්තොට නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ඩොලර් නැති ප්‍රශ්නයට භාණ්ඩාගාරයට මුදල් එන්නේ නැති ප්‍රශ්නයට මේ ආණ්ඩුවේ හිටිය කිසිම කෙනෙකුට කිසිම සැළසුමක් තිබුණේ නෑ. විපක්ෂයේ ඉඳගෙන රට පත්වෙන මේ අඳුරු තත්වය පිළිබඳව අපි කොතෙකුත් පෙන්වා දුන්නත් ආණ්ඩුවේ කිසිම කෙනෙකුට මේ අර්බුදය පෙනුනේ නෑ. එදා මේ රටේ ඩොලර් ප්‍රශ්නය ආව වෙලාවේ ඔබට මතක ඇති එස්. බී. දිසානායක කිව්වේ මොකද්ද. අපට මේ චූටි ඩොලර් ප්‍රශ්නයක් විතරයි තියෙන්නෙ කියලායි. ජොන්ස්ටන් ප්‍රනාන්දූ කිව්ව ඇති තරමට රටේ සල්ලි තියෙනව කියලා. හැබැයි අද රට වැටිලා ඉවරයි. ඒ ගොල්ලො මේ අර්බුදය දැක්කෙ නෑ. බැසිල් ආවම මේක ගොඩයයි කීව. ගාමිණි ලොකුගේ ‌‌‌‌ තෙල් ඇමැති කීව්ව තෙල් සංස්ථාවෙ ඇති වෙන්න තෙල් තියෙනව කියල. මෙහෙම රටේ අර්බුදයක් තියෙනව කියා කල්තියා දකින්න තරම් ඔළුවක් මේ පාලකයන්ට තිබුනෙ නෑ. ඒක තමයි ඇත්ත.

ධීවර කර්මාන්තයට මොකක්ද සිද්ධ වුනේ. බහුදින යාත්‍රා තියෙනව මාස තුන හතරකින් මුහුදෙ ගිහින් නෑ. වැල්ලෙ බෝට්ටු ගොඩගහල තියෙනවා. ධීවරයින්ට මුහුදු යන්න තෙල් ටික නෑ. අඩුම තරමෙ අපේ දරුවන්ට මාළු කෑල්ලක් සමග එක ආහාර වේලක් දී ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන්න එකත් අද නතර වී තිබෙනවා.

සංචාරක ව්‍යපාරය මුළුමනින්ම කඩා වැටිලා. එළඹෙන ඔක්තෝම්බර් මාසය සංචාරක ව්‍යාපාරය දෙවන සීසන් එක පටන් ගන්න නියමිතයි. නමුත් අද හෝටල්වලට ගිහින් අහලා බලන්න තත්වය මොකද්ද කියලා. විදේශිකයෝ රටට එන්නේ නෑ. දමල තියෙන බුකින් ටිකත් කැන්සල් කරනවා. ලංකාවට එන්න ඉන්න සංචාරකයෝ වෙන රටවල්වලට යනවා ලංකාව මග ඇරලා. මොකක්ද සිදූවී තිබෙන්නෙ. මුළු ආර්ථික දේහයම කඩා වැටෙමින් තිබෙනවා. මුළු ආර්ථිකයම ඇකිලිලා ගිහිල්ලා.

මේ වනවිට මුළු මිනිස් ජීවිතයම කඩා වැටිලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවලා තියෙනව තව මාස එකහමාරක් යනවිට ලංකාවේ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් ඇතිවෙනව කියලා. ඒ කියන්නෙ රෝහල්වල ඇඳේ මිනිසුන් මැරෙනවා. ලෙඩ වෙච්ච කෙනා ඉස්පිරිතාලෙට ගෙනියන්නෙ නැතිව ගෙදර මැරෙන දවස වැඩි ඈතක නෑ. ඉතින් කෝ මේ පාලකයන්ට මේවට විසඳුමක්.

තෙල් පෝලිම්වල ඉඳල මේ වනවිට 15 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒගොල්ලො මොන අපරාදයක් කළාටද එහෙම මැරිලා වැටුණේ පෝලිම්වල. ඒගොල්ලො ඩොලර් හොරකම් කරලද, ඒගොල්ලො රට පාලනය කරලද, ආර්ථික සැලසුම් හදලද, මේ කිසිවක් නෙවෙයි, අපේ තරුණ තරුණියන්ගෙ අම්මල තාත්තලගෙ කාලය දවස් දෙක තුන තෙල් පෝලිමේ. ජනතාව විශාල මානසික ආතතියකට ඇවිල්ල තියෙනව. තෙල් පෝලිමත් සමග ආතතියට පත්වී ගැටුම්කාරී සමාජයක් නිර්මානය වෙමින් තිබෙනවා. ඒ නිසා අපි ඉස්සරහ තියෙන්නෙ ඉතාමත් බිහිසුණු භයානක චිත්‍රයක්. මේක දවසින් දවස උග්‍ර වෙමින් යනවා. නමුත් ආණ්ඩුව චූන් එකේ ඉන්නවා.

අපේ රටේ මව්බිමේ කිසිදූ මිනිස් ජීවිතයක් නිස්කාරනේ මිය නොයා යුතුයි. ඒ නිසා අපි හැම දෙනාම මේ දූෂ්ට පාලනයට එරෙහිව මේ විනාශ කරන ආර්ථිකය හසුරවන පාලකයින්ට එරෙහිව ජනතාව හැම නගරෙකම පාරට බැහැල මේ පාලකයන් එළවන සැලැස්ම දියත් කරන්න ඕනි.

මත්තල දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment