අසල්වැසියෝ අවසන් පූර්ව සටනට එති

107

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග වරම් හිමිකර ගැනීමට ඉන්දියාව සහ පාකිසතානය ඊයේ (06 වෙනිදා) සමත් විය.

ඊයේ පැවති තරගවලදී ඉන්දියාව සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ද, පාකිස්තානය බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ද අවසන් පූර්ව වටයට පිවිසීමට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්තේය.

ඒ අනුව දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 8ක් හිමි කරගෙන එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත් කණ්ඩායම ලෙස ඉන්දියාවද ප්‍රසාද ලකුණු 6ක් හිමිකරගෙන පකිස්තානය එම කාණ්ඩයේ දෙවැනියා ලෙසත් අවසන් පූර්ව තරග වරම් හිමිකර ගත්තේය.

ඉන්දියාව සුපිරි 12 වටය යටතේ දකුණු අප්‍රිකාව හමුවේ පමණක් පරාජය වූ අතර තරග හතරක් ජය ගැනීමට සමත් විය.

පාකිස්තානය ඉන්දියාවට සහ සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ අතර බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරග ජය ගැනීමට සමත් වූයේය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩය යටතේ පළමු ස්ථානය හිමිකරගත් නවසීලන්තය දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගත් පාකිස්තානය සමගත්, දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කරගත් ඉන්දියාව පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගත් එංගලන්තය සමගත් අවසන් පූර්ව තරගවලදී තරග වැදීමට නියමිතය.

ඊයේ පැවැති පකිසතානය සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් පාකිස්තානය හිමිකරගත් අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගයෙන් ලකුණු 71ක ජයග්‍රහණයක් ඉන්දියාවට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment