තෝමස් ක්‍රීඩකයෝ රාජකීයයන් පරදවා Mustang කුසලානයට හිමිකම් කියති

101

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 47 වැනි වරට පැවැත්වුණු Mustang’s කුසලානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පෙරේදා (16 වැනිදා) සමත් වූයේය.

කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වුණු එම තරගයේදී රාජකීය විද්‍යාලය පරදවා ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ අතර ඒ අනුව වසර 6 කට එනම් 2018 වසරට පසුව ඵමිඒබට කුසලානට හිමිකම් කීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් නායක මහිත් පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව තෝමසුවන් නියමිත පන්දු වාර 50 තුළ ලකුණු 256ක් එක් කිරීමට සමත් වුණු අතර රාජකීය විද්‍යාලයේ සියලු ක්‍රීඩකයෝ පන්දු වාර 48.1කදී ලකුණු 226 කට දැවී ගියහ.

ජයග්‍රාහී ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සදෙව් සොයිසා සහ තිසේන් ඇහැලියගොඩ දෙදෙනා සමත් වූහ. සදෙව් ලකුණු 65 ක් සහ තිසේන් ලකුණු 61 ක් ලැබූහ.

සාන්ත තෝමස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ සදෙව් සොයිසා සහ අවිනාශ් ප්‍රනාන්දු අතරේ ලකුණු 75ක සබඳතාවක් ගොඩනැඟුණු අතර, අවිනාශ්ගේ ඉනිම ලකුණු 37කට සීමා වූයේය. නායක මහිත් ලකුණු 27කින් සහ ආකාශ් ප්‍රනාන්දු ඉක්මන් ලකුණු 30කින් ද ඉනිමට සිය දායකත්වය ලබා දුන්හ.

සාන්ත තෝමස් කණ්ඩායමට එරෙහිව රාජකීය විද්‍යාලයේ රනුක මලවිආරච්චි ලකුණු 53 කට කඩුලු 4ක් දවා ගත්තේය.

තෝමසුවන් විසින් ලබා දුන් ලකුණු 257 ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි රාජකීය කණ්ඩායම වෙනුවෙන් ශේන් අබේරත්න ලකුණු 56 ක් රැස් කළේය. තවද ආරම්භක පිතිකරු ඉසුල ගීගනගේ ලකුණු 37කින් කණ්ඩායමට දායකත්වය දුන් අතර අංක හතර පිතිකරු අනූශ් පොලොන්නෝවිට ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුවද රාජකීය විද්‍යාලයට ජයග්‍රහණයක් කරා යෑමට නොහැකි වූයේය.

තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නාතන් කල්දේරා සහ දිනෙන් ගුණවර්ධන කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර අනුක් දේවනාරායන විසින් කඩුලු 2ක් බිඳහෙළන ලදී.

තරගයේ වීරයා සම්මානය සහ හොඳම නවක ක්‍රීඩකයා සම්මානයද සාන්ත තෝමස් විද්‍යාලයේ සදෙව් සොයිසා දිනා ගත්තේය.

ලකුණු සාරාංශය

සාන්ත තෝමස් කණ්ඩායම

256/8(50)

තිසේන් ඇහැලියගොඩ 61, සදෙව් සොයිසා 65, අවිනාශ් ප්‍රනාන්දු 37, මහිත් පෙරේරා 27, ආකාශ් ප්‍රනාන්දු 30

පන්දු යැවීම

රනුක මලවිආරච්චි 53/4

රාජකීය කණ්ඩායම

226/10 (48.1)

ශේන් අබේරත්න 56, ඉසුල ගීගනගේ 37, අනූශ් පොලොන්නෝවිට 31

පන්දු යැවීම

නාතන් කල්දේරා 45/3, දිනෙන් ගුණවර්ධන 37/3 අනුක් දේවනාරායන 29/2
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment