අස්වැසුමේ අවුල ලිහෙයි ද ?

389

කොරෝනා වසංගත තත්ත්වය සහ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දීම හමුවේ රටේ දුප්පත්කම වැඩි වී ඇත. එනම් අලුතින් විශාල පිරිසක් ද දුප්පත්කමට ඇද වැටී ඇති බවයි. මේ නිසා වෙනදාට වඩා වැඩි පිරිසකට දිළිඳු සහන සැලසීමට සිදුවෙන බව ද රහසක් නොවේ. එහෙත් සහන ලැබිය යුතු නිසි සුදුස්සන්ට මිස නුසුදුසු අයට අස්වැසුම කියා හෝ වෙනත් නමකින් හෝ මහජන බදු මුදල් බෙදා දීමෙන් රටේ දුප්පත්කම පිටු දැකිය හැකි නොවේ. මෙතෙක් ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහන වෙනුවට අස්වැසුම නමින් අලුතින් දිළිඳු සහන ලබාදීමට රජය සැලසුම් කර ඇත. එනම් අස්වැසුම යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නවතම සමාජ ආරක්ෂණ වැඩසටහනයි. ඒ සඳහා අයදුම්පත් කැඳවා සුදුස්සන් පිරිසක් ද මේ වනවිට තෝරාගෙන ඇත. එම නාමලේඛනය රජය විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු රට පුරා ගම් මට්ටමින් බොහෝ විරෝධතා ඇති විය. එනම් මේ නාම ලේඛනයේ තිබෙන නම් අතර නුසුදුස්සන් සිටින බවටත් සැබෑ දුප්පතුන් බොහෝ දෙනෙක් මේ වැඩසටහනට තේරී නැති බවටත්ය.

අස්වැසුම නව වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අනුගමනය කළ නිර්ණායක ගැන බොහෝ විවේචන ඉදිරිපත්ව ඇත. මේ හමුවේ ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන්ගෙන් පවා මේ වැඩසටහන ගැන බොහෝ විරෝධතා ඉදිරිපත්ව තිබේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටපුරා නොයෙකුත් විරෝධතා රැසක් ඇතිවූ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරෝධතා ඉදිරිපත් කර තිබිණි. මේ ගැන නිරන්තරයෙන්ම මාධ්‍ය තුළ පුවත් වාර්තා විය. මේ නිසා දිළිඳු ජනයාට සහන සැලසීමට හඳුන්වාදුන් අස්වැසුම වැඩසටහන ආරම්භයේ සිට ම එය ඉමහත් කතාබහට ලක් විය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ බී. විජේරත්න මහතායි. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන බී.විජේරත්න මහතා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානියා ලෙසට ද මීට පෙර කටයුතු කර තිබේ. කෙසේ හෝ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඔහුගේ ක්‍රියාකලාපය ගැන ද බොහෝ විවේචන ඇතිව තිබෙන අතර අදාළ ප්‍රතිලාභීන්ගේ අභියාචනා ක්‍රියාවලියේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති රැස්වීම්වල දී බොහෝ වාදවිවාද ඇතිව තිබෙන බව පැවසේ. මේ නිසා ඇතැම් අය පවසනුයේ විජේරත්න මහතා අස්වැසුම වැඩසටහන ගැන කටයුතු කිරීමේ දී අනෙකුත් අදහස්වලට එතරම් සවන් දීමක් නොකර තනි මතයටම කටයුතු කිරීමට උත්සාහ ගත් බවයි. කෙසේ හෝ විජේරත්න මහතා මාධ්‍යයට පවසා තිබුණේ අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීම සඳහා පසුගිය මාස කිහිපය තුළ තමා වෙහෙසී රාජකාරිය සිදුකළ බවත්, එහි අවසන් වැඩ කොටස සිදුකිරීමට නොහැකිවීම ගැන තමා කනගාටු වන බවත්ය.

මේ ගැටලුකාරී පසුබිම තුළ අවසානයේ බී. විජේරත්න මහතාට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට ද පිටපතක් සහිතව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ ලියුම්කරු කළ විමසුමකට පිළිතුරු දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජේරත්න මහතා ප්‍රකාශ කළේ පුද්ගලික හේතු මත තමා මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගත් බවයි. ඔහු ඉල්ලා අස්වීමට හේතුව ලෙස පුද්ගලික හේතු ලෙස සඳහන් කළත් අපට දැන ගැනීමට ඇත්තේ රජයේම ඉහළ මට්ටමින් ඉල්ලා අස්වන ලෙස ඔහුට කළ දැනුම් දීමක් හමුවේ මෙසේ බී. විජේරත්න මහතා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් හදිසියේ ඉල්ලා වූ බවයි. එසේ ඉල්ලා අස් වූ ඒ මහතා රජයේ වෙනත් තනතුරකට පත්කෙරෙනු ඇති බවද පැවසේ. මේ අතර ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපති ධුරයට ජයන්ත විජේරත්නගේ නම නිර්දේශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දන්වා තිබේ. ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජේරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව මත මෙම දැනුම් දීම සිදුකර ඇති අතර ජයන්ත විජේරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

‘සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන්නේ ද යන්න ගැන අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය, සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විතයි. හිටපු සභාපති බී. විජේරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා නව සභාපතිවරයා ලෙස විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන ජයන්ත විජේරත්න මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව වෙත නිර්දේශ කර තිබෙනවා. අස්වැසුම විරෝධතා සහ අභියාචනා සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට හෝ බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභ ගෙවීමටත් එය කිසිදු බාධාවක් වන්නේ නැහැ. තව දුරටත් බැංකු ගිණුම් ආරම්භ කර නොමැති සුදුසුකම්ලාභීන් කඩිනමින් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනවා.’

අප නම් කියන්නේ මේ අස්වැසුම වැඩසටහනේ බලවත් අවුල ඉතා ඉක්මනින් විසඳා ගතයුතු බවයි. එසේ නැතහොත් දිළිඳු සහන කියා ලබාදෙන මුදල් ඇතැම් නුසුදුස්සන්ට ලැබීමට මෙන්ම සුදුස්සන්ට නොලැබීමට ද ඉඩ තිබේ. එසේ වීමෙන් අස්වැසුම වැඩසටහනේ අරමුණු නිසි ලෙස ඉටු කර ගැනීමට ද නොහැකි වනු ඇත. මේ නිසා නව සභාපතිවරයා යටතේ හෝ මේ වැඩසටහනේ ඇති ගැටලු කඩිනමින් විසඳා ගෙන නියම සුදුස්සන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේ නොවීමෙන් වන්නේ මහජන මුදල් නාස්ති වීමයි. මේ අස්වැසුම ප්‍රතිලාභ මුදල් ගෙවීමට ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලැබෙන බව සත්‍යයකි. එහෙත් එය ද ණය මුදලක් බව අප අමතක නොකළ යුතුය. ඒවා රජය විසින් අනාගතයේ දී පොලී මුදල් ද සමග නැවත ගෙවිය යුතු වේ. එසේ නම් මේ සුබසාධක ප්‍රතිලාභ ගෙවන මුදල්වල බර දරනේ අන් කිසිවෙක් නොව මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර මහජනතාවයි.

ිස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඉකුත් අගෝස්තු 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක්. සමෘද්ධි සහනාධාරය ලැබූ නමුත් අස්වැසුම වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 කගේ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන කටයුතු සිදුවෙමින් තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙනවා. ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම’ සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000ට ම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ දීමනාවක් හිමිවෙනවා.’

මේ තීරණය සම්බන්ධයෙන් සමෘද්ධි දීමනාව ලබමින් සිටින පිරිස් බොහෝ සතුටට පත්ව සිටිනවා විය හැකිය. එහෙත් ඇමතිවරයාගේ මේ ප්‍රකාශය අනුව මතුවන ගැටලුවක් තිබේ. එනම් අස්වැසුම අභියාචනා සහ විරෝධතා යළි විමර්ශනය කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය නිසා රජය කඩිනමින් ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ තීරණය ගනු ලැබුවත් මේ නිසා නුසුදුස්සන් පිරිසකට ද ප්‍රතිලාභ ගෙවීමට සිදු විය හැකි වීමයි. එනම් අභියාචනා ක්‍රියාවලියේ දී ද ප්‍රතිලාභ ලැබීම සඳහා නොතේරෙන දැනට සමෘද්ධි දීමනාව ලබන පිරිසක් වේ නම් ඔවුන්ට ද රජයට මුදල් ගෙවීමට සිදුවීමයි. ඒ නිසා නාස්ති වන්නේ මහජන මුදල්ය. හැමෝම ජීවත් වන්නේ ඉතා අමාරුවෙනි. ජනයා බොහෝ දෙනෙක් මේ වනවිට අධික බදු බරකට ද යටත්ව සිටින බව රහසක් නොවේ. එවන් පසුබිමක් තුළ බදු ගෙවන ජනයාගේ මුදල් එක රුපියලක් හෝ නුසුදුසු අයට ප්‍රතිලාභ ගෙවීමට වියදම් කිරීම සුදුසු දෙයක් නොවේ. යම් නුසුදුස්සන් පිරිසකට ප්‍රතිලාභ ගෙවීම නිසා වන්නේ රජයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීමට අමතරව බදු ගෙවන ජනයා මත ද වැඩි බරක් පැටවීමයි.

දිළිඳුකම පිටු දැකීමේ වැඩසටහනක දී සිදුවිය යුත්තේ යම් පිරිසක් සවි බල ගැන්වී එම වැඩසටහනෙන් ඉවත් වනවිට අලුතින් දිළිඳුභාවයට ඇදවැටෙන පිරිසට අලුතින් ප්‍රතිලාභ ලබාදිය යුතු වීමයි. ඒ සඳහා හැමදාම එකම පිරිසකට කිසියම් සමාජ ආරක්ෂණ වැඩසටහනකින් ප්‍රතිලාභ ගෙවිය යුතු නොවේ. මේ නිසා ම හැමදාම එකම පිරිසකට සමෘද්ධි දීමනා පමණක් නොව අනාගතයේ අස්වැසුම දීමනා ද ලබාදිය යුතු නොවේ. එම සුබසාධක ප්‍රතිලාභ ලබන නාමලේඛනය කලින් කලට යාවත් කාලීන විය යුතු වේ. එසේම සමාජ ආරක්ෂණ වැඩසටහනක් තුළ සමාජ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක් ද අනිවාර්යෙන්ම තිබිය යුතු වේ. දිළිඳු ජනයා දිළිඳුභාවයෙන් අත් මිදෙන්නේ එවැනි දෙයක් ඇත්නම්ය. ඒ සමගම ඒ අය වැඩසටහනෙන් ඉවත්ව යනවිට රජයේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් අලුතින් දුප්පත්කමට ඇදවැටෙන පිරිසකට ලබාදිය හැකි වේ. සමෘද්ධි ව්‍යාපාරයේ අතීතය ගැන අපි දනිමු. දේශපාලනීකරණය සම්බන්ධයෙන් එම වැඩසටහනට බොහෝ චෝදනා තිබේ. එනම් සහනාධාර ලැබීමට සුදුසු බොහෝ අය සිටිය දී නුසුදුසු අයට ප්‍රතිලාභ ලබා දී ඇති බවයි. ඒ බව නොයෙක්වර අනාවරණය වී ඒ සඳහා පිළියම් ලෙස නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ද අනුගමනය කර ඇත. ඒ නිසා අප නම් සිතන්නේ අලුතින්ම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා සුදුස්සන් තෝරාගැනීම් දී සමෘද්ධි වැඩසටහනේ පැවැති මේ වැරදි ද නිවැරදි කරගත යුතු බවයි. එහෙත් එය කළ යුතු වන්නේ නිවැරදි සහ නිසි නිර්ණායක මත පදනම්වය. මෙහිදී අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට සුදුස්සන් තෝරාගැනීමේ දී අනුගමනය කළ නිර්ණායක වැරදි බවට බොහෝ චෝදනා ඉදිරිපත්ව ඇත. ඒ නිසා ඒ ගැන ද යළි පසුවිපරමක් කිරීම සුදුසු වනු ඇත.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා යළි සලකා බැලීමේ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් තිබේ. එම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එහෙත් එහි ද බලවත් ප්‍රමාදයක් තිබේ. මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති පසුගිය සාකච්ජාවල දී ඔවුන් නොයෙකුත් ගැටලු ඉදිරිපත් කර ඇත. ඊට හේතු වී ඇත්තේ එම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නිසි ක්‍රියාපටිපාටියක් සහ මාර්ගෝපදේශයක් නොමැති වීමයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජේරත්න මහතා සිටි රැස්වීම්වල දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මේ බව පෙන්වා දී ඇති බව ද අපට දැනගන්නට ඇත. ඔවුන් ඉල්ලා සිට ඇත්තේ ඒ සඳහා වන ක්‍රියාපටිපාටියක් සහ මාර්ගෝපදේශයක් සකසා ඔවුන් වෙත ලබාදෙන ලෙසයි. මේ අභියාචනා ක්‍රියාවලිය සඳහා මේ වනවිට දින 45 ක් ද ඉක්මවා ගොස් තිබේ. මේ ප්‍රමාදය සිදුව ඇත්තේ අදාළ අස්වැසුම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නිසි ක්‍රියාපටිපාටියක් සහ මාර්ගෝපදේශයක් මෙතක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී නොමැති නිසා බව අපට දැනගන්නට ලැබී ඇති දෙයයි. එය නව සභාපතිවරයා යටතේ හෝ විසඳුනහොත් ‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවනු ඇති බව අපට කිව හැකිය. මේ අනුව අදාළ කටයුතු අවසන් වූ වහාම 2024 වර්ෂය සඳහා වූ නව අයදුම්පත් භාර ගැනීම ද ආරම්භ කිරීමට ද හැකිවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment